හැකියාව හඳුනා ගත්තොත් අපිත් දිනුම් රටත් දිනුම්

    0
    12

    එක්තරා නගරයක විශාල ආයතනයක් ඉදිරිපස කඩයක් තිබුණා. ඒ කඩේ හදන සමෝසා ගැන නගරය පුරා ම ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තිබුණා. ඊට හේතුවුණේ මුදලාලිගේ ක්‍රියාකලාපය. මුදලාලි  ඒවා හැදුවේ වෙළෙදාම ගැන පමණක් හිතල ම නෙවෙයි. තමන්ගේම වැඩක් කියලා හිතාගෙන බොහොම උනන්දුවෙන්. කම්මැළි නැතිව වෙහෙස වෙලා වැඩ කළ නිසා  මේ කඩය දිනෙන් දින  දියුණු වුණා.

    අර ආයතනයේ ප්‍රධානියත්  නිතර ම මෙම කඩයට ආවේ සමෝසවල රස මෙන් ම ගුණාත්මක භාවය නිසයි. සමෝසා මුදලාලිට පාසල් යන පුතෙක් හිටියා. ඔහු පාසල් ගොස් ඇවිත් පියාට  උදව් කළා. පාසලේ වැඩ වගේ ම කඩේ වැඩත් හොඳින් කළේ පියා ආදර්ශයට අරගෙන.

    දිනක් ආයතන ප්‍රධානියා හා මුදලාලි අතර අපූරු සංවාදයක් ඇතිවුණා. මේ දක්ෂ පුතා කඩේ වැඩ කරනව දුටු අර මහත්තයා පියාගෙන් ඇහුවා ඇයි පුතා කඩේට කොටු කරන්නේ ආයතනයක ලොක්කෙක් වෙනවට අකමැති ද කියලා. මුදලාලිට හිනා ගියා. ආයතනයක ලොක්කෙක් වුණාට නම් කමක්නෑ ඒත් මේ සියලුම දේ තමාගෙන් පස්සෙ පුතාට නිසා කඩේ වැඩ පුරුදු වෙන එක වැදගත් කියලා ඔහු කිව්වා. ඒත් ප්‍රධානියා ඊට එකඟ වුණේ නෑ. කඩේක වැඩ කරලා පලක් නැති බවත් ආයතනයක ප්‍රධානියෙක් වීම වටිනා බවත් පවසමින් ඔහු තර්ක කළා.

     පියා එය අපූරු ලෙස පහදලා දුන්නා. ඔහු ආයතනයේ ප්‍රධානියා මිස ආයතනයේ හිමිකරු නොවන බව පෙන්වා දුන්නා. යම් දවසක ඔහු ඉන් විශ්‍රාම යන විට පියාගේ උරුමයෙන් පුතාට ඒ තනතුර හිමි නොවන බවත් තමන්ගේ කඩේ අයිතිය පුතාට හිමි වන බවත් බොහොම කරුණාවෙන් පෙන්වා දුන්නා. 

    තමන් සිතා සිටි ආකාරය වැරදි බව ඔහුට තේරුණා. මුදලාලිගේ කීම පිළිගෙන ඔහු එතැනින් නික්මුණා.

    මේ කතාව ඇහුව ම ඔබට බොහෝ දේ සිතෙන්න ඇති. බොහෝ මව්පියන් උත්සාහ කරන්නේ තමන්ගේ දරුවන් ආයතනයක ලොක්කෙක් කරන්න. ටයි පැලඳගෙන ඉහළ පුටුවල වාඩි කරවන්න. ඔව් එහෙම හිතන එකේ වරදක් නෑ .

    එහෙම උනා ම ඇති කියලා මව්පියො හිතනව. ඒත් ඒක එහෙම ද? කොහෙත් ම නෑ. උගත්කම කියන්නේ ලොකු ආයතනයක සේවය කිරීම ම නෙවෙයි. ඒත් එසේ කිරීමෙන් ම ලොක්කෙක් හෝ සමාජයේ පිළිගත් කෙනෙක් වෙනවා යැයි හිතන්න හොඳ නෑ. අපට වරදින්නෙත් අන්න එතනදි. තමන්ගේ ව්‍යාපාරයක් කරලා නමක් හදාගෙන රටට ලෝකයට සේවය කරන අය ගැන ඔබ අසා ඇති. එයාලා කාටවත් යටත් නෑ . හැබැයි තව බොහෝ පිරිසකට සේවය සපයනවා. ජීවිත රකිනවා.

    අපි ඉගෙනගෙන උත්සාහ කරන්නේ රජයේ රැකියාවක් ලබාගන්න. ඒ වෙනුවෙන් අරගල කරන්න. හැමෝට ම රජයේ රැකියා ගන්න බෑ. එය නොලැබුණා කියලා අඩුවක් වෙනව ද? තමන්ගේ කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැරි ද? පුළුවන්.

    උගත්කම තිබුණාට බොහෝ අයට වෘත්තිය හැකියාව අඩුයි. රැකියා හිඟකමකට වඩා තියෙන්නේ රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම් නොමැති වීම. ඔබ නිකමට රැකියා ඇබෑර්තු පිළිබඳ සොයා බලන්න. ඕනෑ තරම් තියෙනවා. අධ්‍යාපන සහතික ගොඩ ගහ ගන්න පුරුදු වුණ අයට රැකියාවට සරිලන සුදුසුකම් නෑ. රටක් විදියට ලංකාවට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ.

    මම හිතන්නේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නය තමයි තමන්ගේ හැකියාව හඳුනාගත නොහැකි වීම. එහෙම පුළුවන් නම් මිලමුදල් ඉපයීම අමාරු කාරියක් වෙන්නෑ. රැකියා ප්‍රශ්නයටත් හොඳ විසඳුමක් ලැබෙනවා. මෙම  ඍණාත්මක සිතුවිල්ල වෙනස් කරගත හැකි නම් ඔබට මෙන් ම රටට ද ඉන් සිදුවන යහපත අතිමහත්.  අපි අපේ හැකියාව හඳුනා ගනිමු. එය හොඳින් ප්‍රගුණ කරමු. අන්න එහෙම වුණොත් නිසැකයෙන් ම තමන්ගේ හා රටේ අනාගතය ගොඩක් ලස්සන වේවි.

     

     මනෝජ් ප්‍රසන්න අබේකෝන්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here