හිමිදිරි පෙදෙස

    0
    6

    නොබැඳුණු හිත්

     

    නීතියෙන් බැඳුණු 

    දෑඟිලි මත 

    සෙනෙහස  ලියලන්නට 

    කුමක් කෙසේ 

    කොතැනකදී 

    නිවැරැදි විය යුතු ද?

     

    කෞශල්‍යයා ගුණසිංහ 

    කැලණිය විශ්වවිද්‍යාලය

     

     

    සඳ ආයෙමත් ඇවිදින්

     

    සඳ ආයෙමත් ඇවිදින්

    නැත ඉපිලෙන්න පැතුමන්

    හිත නැවතිලා හිඳිමින්

    බලයි හිමිහිට

    අමාවක කොහෙදැයි…

    ඔබ දුන්නු පැතුමන් හිත පුරා රහසින්

    විඳගත්තෙ මං තනිවෙලා හිඳ හොරැහින්

    සළු පිළි ඇඳන් ආ ආදරය මනරම්

    තරු ගැන්න අපි සඳ හිනැහුණා හොරැහින්…

     

    පාට තැවරූ සිහිනය නිම්නයක සඟවා

    රැයක් මැද හිඳි සඳක් සැඟවීලා

    සඳ එන්නෙපා ආයෙත්

    තරු නිදයි සුව නින්දක්

    ඝනඳුරට පෙම් බඳිමින්

    හිත සොයයි අමාවක අහසක්.

     

    වජිර කුමාරසිංහ

     

     

     

     

    නෙළුම් මල සහ විල් දිය

     

    කියයි නෙළුම් මල උජාරුවෙන් 

    මඩ තවරා නොගන්නා බව

    කිසිවිටෙකවත් 

    මුමුණා කියයි විල් දිය 

    තමා විසින් තැවරෙන මඩ

    සෝදා හරින බව

    නිමේෂයකින් 

    මලේ පිවිතුරු බව සුරකින්නට

     

    දම්මිණි ප්‍රේමචන්ද්‍ර ෆොන්සේකා

    සත්ත්ව විද්‍යා මහාචාර්ය-විද්‍යා පීඨය

    රුහුණ විශ්වවිද්‍යාලය

     

     

     

    සිනාව

     

    කියා ගනු බැරි            වදන්

    දරා ගනු බැරි            හිතින්

    අඩා වැලපෙන්නට ඉඩ  නැතත්

    සිනාසෙන්නට හැකිය  සැමටත්

     

    මුව වසා යන සිනහවේ

    තිබේ බොහො දේ        මුළා වී

    කඳුළක් හෙළනු බැරි    තැනේ

    සිනහව වසාගයි            මුවේ

     

    විඳින විඳවන ජීවන  නැවේ

    සැඩ රළට හසුවේ නොසිතූ  ලෙසේ

    දරාගනු බැරි තැන මෙසේ

    වසාගයි සිනහව සිත් අහිමියකු  සේ

     

    ඩිල්ෂා හර්ෂනී 

    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

     

     

     

     

     

     

    ජීවිතය

     

    කිරිල්ලියේ උස අත්තක එහෙ මෙහෙ බල බල

    ආලවඩන කුරුලු ගෙයක් හැදුවා මතකද

    හදිස්සියේ මම පාරේ ගියමුත් එදවස

    බැලුවා නැවතී නුඹලගෙ ප්‍රේමයෙ හැඩවැඩ

     

    එක දවසක් එනකොට ඔහු අතු අග පැන පැන

    සුමිහිරි ගීයක් ගයනා අයුරු දුටිමි මම

    මොහොතක් නැවතී බැලුවෙමි කාරණාව කිම

    නැළවිලි ගීයක් ඇහුණා නුඹෙ මුවගින් එන

     

    ජීවිතයක් නෑ දැන්නම් තිස්සෙම හරි වැඩ

    කුරුළු පැටව් දෙන්නාට ම ඉස්කෝලේ වැඩ

    කාසි පනම් වලට ගෙවා දවස ම ඔහු දඩ

    කිරිල්ලියේ තියෙනවා ද සන්තෝසෙට ඉඩ

     

    හිටිහැටියෙම පියුම් මාමා ආවා පිඹගෙන

    දමා ගියා සන්දේශය බැංකුවකින් එන

    ගෙවා නොදැමුවොත් නම් මේ අරගත් ණයකර

    දිය කරන්න වෙනවා ඉනි දියඹට පාකර

     

    ජීවිතය ම අතට අරන් වියූ මකුළු දැල්

    කිරිල්ලියක් උණත් ගැහැනු හිතක් ය මනකල්

    හීන නෙළා පසෙක තබා පරවී යනකල්

    කිරිල්ලියේ ගැහැනු පිනට පිපෙන්නෙ නෑ මල්

     

    අසන්ති කරුණානායක

     

     

     

    එය අලුත් පිටුවක්

     

    මනඃකල්පිත ලෝකයෙන් මීදී

    පාවෙමු අපි අපේම ලෝකයක

    සතුට රජයන

     

    සුසුම් පද වැල් නොක්කාඩු

    කවට කම් පා කර සිතිජයේ පුරා

    හසරැල් සලමු නිවුණු මදහසින්

    ලෝකයා අබියස

     

    පා වෙලා යන අරුතක් නොවූ

    ජීවිත පාරුවේ

    අලුත් නදියකින් එතෙර වෙමූ

    අපි අපිටම වූ අනත්ත සන්ධ්‍යාවක

     

    එය අලුත් පිටුවක් වේවී.

    හිරු බැසී යන හැම

    සන්ධ්‍යාවකම

     

    අනූෂාංගනි පෙරේරා ගුණවර්ධන

     

     

     

     

     

    සෙනෙහසින්

     

    අයිලයෙන් හමා ආ

    මඳ නලෙන් විමසුවා

    දුයිෂෙන් ගුරුතුමනි

    ඔබ කොයිද යන වග

     

    කුරිරු යුද්ධය නිසා

    ඔබත් මිය ඇදුනු බව

    නෙත් කඳුළු පුරවාගෙන

    පැවසුවා සියළු දන

     

    කාලයේ වැලි තලෙන්

    වැසෙන කල අතීතය

    මා සිටියේ කඩ ඉමක

    දිවියේ නැවතුම් තිතක

     

    සුවඳවත් කරමි මම

    අයිලයම ඔබේ නමින්

    ලබා දුන් නැණ නුවණ

    පතුරමින් – සෙනෙහසින්

     

    නිලක්ෂි බණ්ඩාර

     

     

     

     

    දිවුල්ගනේ එක්කම ඔබ බැඳීලා

     

    ඩොංකා වෙරළු නාරං ගැට ඉදුණු අඹ

    වමතේ ගුලි කරන් සඟවා වහන් කොට

    ඔබ එන මග තනි රැක්කා බැම්ම උඩ

    ඔබ නම් ආවා අරව තාම බැම්ම යට

     

    සොයමින් පරණ පිටු ගළපා නොයෙක් වැකි

    දිවුල්ගනේගේ සින්දුව  ඇහුව හැටි

    නොකා නොබී ලියුවත් ඔබ වෙතම කවී

    තාමත් ඒවා අල්මාරියේ යටම ඇති

     

    නොතිබුණ නමුත් හයියක් ඔබ වෙත එන්න

    සිත බැඳි පෙමින් මා නිවිච්ච බව ඇත්ත

    දන්නා නමුත් අද ඔබ ඉන්නා පැත්ත

    එන්නේ කෝම අරුන්දැ ගන්නවා කැත්ත

     

    පියුමි මධුභාෂිනි

    දේවි බාලිකා විද්‍යාලය

     

     

     

     

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here