ළමා ලෝකයෙන් දුරස් වූ නූතන රොබෝ පරම්පරාව

    0
    13

    මේ ලියවිල්ල ලියන මමත් ළමා ලෝකෙන් දුරස්වෙන්න ඔන්න මෙන්න කියන පරම්පරාවට අයිති උන නමුත් වාසනාවකට අම්මා අප්පච්චිගෙන් ලැබුණ පුංචි පුංචි සුන්දර අත්ඳැකීම් උරුමකරගත්ත ළමා ලෝකයේ සුන්දර තැන් මහ හුඟක් අහිමි වුණ දැරිවියන්ගෙන් කෙනෙක්. ළමා ලෝකය හරිම සුන්දර තැනක්. ඇත්තටම මවාගත්ත හීන ලෝකයක්. ළමයින් හිතන්නෙ අලුත් විදියට. කරන්නෙ අලුත් අලුත් දේ. ළමයින්ට හැමවෙලාවෙම ඕන ඔවුන්ටම ආවේණික වුන අරමුණු. සීමා නෑ ළමා ලෝකය තුල. අවිඥානිකව ඔවුන් විසින්ම ගොඩනගාගන්නා පිළිවෙළක් නැති හීන , බලාපොරොත්තු සහ අරමුණුවලින් තමයි දවසක මහා පෞරුෂයක් හිමි වැඩිහිටියෙක් ගොඩනැගෙන්නේ.

    සොබාදහම එක්ක ගැටෙන පරිසරයක් කෝ අද පුංචිත්තන්ට. මඩ අනන්න, ගහකොළ එක්ක කතාකරන්න, ළමා ලෝකෙටම ආවේණික සෙල්ලම් කරන්න, නිදහසේ හිතන්න, කතාකරන්න කෝ වෙලාවක් ?කෝ පරිසරයක්? දරාගන්න බැරිතරමට පුරවලා තියෙන විෂයන් ඔක්කොගෙම බර කරට අරන් උදේ නැගිටලා යනවා ඉස්කෝලෙට. ඉතින් පාසල් කාලයෙන් පසුවට ටියුෂන් පන්තියට. රෑ දෙගොඩ හරියක් වෙලා ඔලුව වෙහෙසලා එන දරුවට එන ආතතිය තරඟකාරී රටාව එක්ක දුවන සමහරක් දෙමව්පියන්ට නොපෙනෙන එක නිසාව නිසාමයි ඔළුගෙඩි පිරුණු හදවත මැරුණු ළමුන් පිරිසක් සමාජගතවෙන්නෙ. ඉතින් කොහෙද ළමයට හුස්මක්ගන්නවත් වෙලාවක්. අපි දැනටත් පරක්කු නෑ. අදටත් සොභාදහම එක්ක ගැටිලා ජීවිතය ඉගෙනගන්න තමන්ගෙ දරුවන් හුරු කරන ඕනි තරම් දෙමව්පියෝ ඉන්නවා. ඒ අතර වදෙන් පොරෙන් බේරිලා ඉල්ලන ඉල්ලන දේ අරන් දීලා පන්තියේ පලවෙනියා කරන්න , වැඩිම ලකුණු ගන්න, හොඳම යාළුවට වඩා ප්‍රථිපල ගන්න අල්ලස් දෙමින් ළමා ලෝකයෙන් දරුවන් දුරස් කරන ආත්මාර්ථකාමී විදියට බලපෑම් කරන මව්පියන් ඊටත් වඩා ඉන්නවා.

    එකම එක අවස්ථාවක් දීලා බලන්න. නිදහසේ හුස්මගන්න මැරිලා තියෙන හදවතට ආයෙම පනක් දෙන්න දෙමව්පියන් දුවන්නන් වාලේ ඔහේ දුවමින් ජීවන අරගලය මැද මුදල් ඉපයීම ප්‍රධානතම වගකීම කරගැනීමට වඩා දවසින් වැඩිවේලාවක් මේ පුංචි හිත් වෙනුවෙන් වැය කරලා ඇහුම්කන්දීලා තම පරිසය තුළින්ම ආදරණීය දරුවෙකු සමාජයට තිළිණ කරන්න උත්සාහ කලා නම් දරුවන් හෙම්බත්වෙලා ඉන්න මේ පීඩාකාරී අධ්‍යාපන රටාවට තිත තබා අලුතින් පරිච්ඡේදයක් ලිවීමට හැකිවනු නොඅනුමානය.

    බෙදාහදාගැනීමට, සත්‍ය පැවසීමට, අන් අයට උදව් කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීමට, තවත් කෙනෙකුට නොරිදන්නට, සතා සිව්පාවට ආදරේ කරන්න, ගහකොළ මලට ආදරේ කරන්න, ආරක්ෂා කරන්න, සමානාත්මතාවයෙන් හිතන්න, හදවතට එකඟව ජීවත්වෙන්න ආදී බොහෝ දෑ දරුවාට හුරු කල යුත්තේ ඔබයි.

    ඉස්සර පිහාටු හොයන්න කැලේ ඇවිද්ද අපි, මදටිය ඇට අනෝදා ඇට එකතු කරලා යෝගට් කප් පුරවපු අපි, පොල්කුඩු පාට කරලා හරි පරිස්සමෙන් බෝතල් පුරවපු අපි, ක්ලේ වෙනුවට මැටි බබාලා, පලතුරු, පිළිම හදලා අහිංසක සතුටක් වින්ද අපිට ලැබුණ තරමින්වත් ඒ නිදහස මේ පොඩ්ඩන්නට ලැබෙනවද? මඩ අනන්න බෑ කඩේට ගිහින් ක්ලේ උස්සන් ඇවිදින් අනන්න දෙනවා. පිහාටු හොයන්න කැලේට තියා වත්තටවත් යන්න නොදී කඩේට එක්ක ගිහින් පිහාටු පැකට් අරන් දෙන්න උන කාලෙක ඇත්තටම සල්ලිවලට යට ගිය ඒ සුන්දරත්වය කෝ.

    අද කාලේ අම්මලා ළමයි නිදි කරවන්න කරන ලේසිම දේ තොටිල්ලක දාලා කූඩු කරනවා. අම්මගෙ වැඩ ඔක්කොම ඉවරවෙනකල් බබා තොටිල්ලේ. එහෙම නෙමෙයි තමන්ගේ ලේ නහර වලින් උපන්න දරුවා පපුවට තුරුල් කරන් නළවන්න ඇයි බැරි.ඇවිදින ගමන් කතාකරන්න ඇයි අපිට බැරි. ඒ උණුසුම එක්ක නිදාගන්න දරුවට දැනෙන සනීපය ජීවිත කාලය පුරාවටම ආස්වාදය කරන්න පුළුවන්.ගහකොළ එක්ක කතාකරන්න දරුවා හුරුකරන්න, සතා සිව්පාවට කන්දෙන්න දරුවව හුරුකරන්න.පුළුවන් තරම් වචනවලින් දරුවාගේ හදවත පෝෂණය කරන්න.දරුවාගෙ වචන මාලාව පෝෂණය කරන්න.ඒ විතරක් නෙමෙයි සරුංගල් හදන්න , වෙසක් කූඩු බදින්න ඔය දේවල් වලට කුඩාකාලයේ ඉඩක් දෙන්න අත හුරුකරන්න. සතියේ දවස් හතම ටියුෂන් වලට වෙන් නොකර ළමා කාලයේ ඒ සුන්දරත්වය විඳින්න අවස්ථාව හොයලා දෙන්න.ඒ පරිසරය නිර්මාණය කරන්න. ළමයා සොභාදහමේ නිර්මාණයක් මිසක නූතන තාක්ෂණය හා මුසුකොට තැනූ රොබෝ කෙනෙක් නොවෙන වග හිතට ගන්න.

    අනාගත දරුවා හදවතින් පෝෂණය වූ ආදරණීය දරුවෙකු ලෙස නිර්මාණය කරනවාද එසේත් නොමැති නම් තරඟකාරී රටාව එක්ක තාක්ෂණයෙන් මොළය පමණක් පෝෂණය වූ රොබෝ කෙනකු ලෙස නිර්මාණය කරනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබයි. ආදරණීය ඔබම පමණයි.

     

     යශෝදරා උඩංගමුව

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here