2020 යෞවනයේ ඩයරිය

    0
    12

    දෙසැම්බර් 25

     

    අද නත්තල්. දවසෙම ගෙදර. ලොකූ වැඩක් කියලා එකක් තිබුණෙත් නෑ. කොහොමත් මට ලොකු වැඩක් නෑනෙ. මොකක් හරි කුරුටු ගානවා ඇරෙන්න. නත්තල, වෙසක් කියලා වෙන වෙනම සැමරුවට මොකද මට හිතෙන්නෙම ජේසු සහ බුදුන් කියන්නෙ එක්කෙනෙක් කියලා. හවස් වරුව පාව්ලෝ කොයියෝගෙ  “මිනිත්තු එකොළහෙ කතාව” එක්ක තමයි ජීවත් වුණේ.

     

    දෙසැම්බර් 26

     

    අද ඉස්කෝලේ ආතගෙ දානෙ. සුනාමියට අහුවෙලා එයා නැති වෙලා අදට අවුරුදු 16යි. අන්තිමට එයා වැඩට යද්දි කියලා ගියේ චොපර් බයිසිකලයක් ගෙනහල්ලා දෙනවා කියලා. හැබැයි එයා ආවේ පෙට්ටියක. හරියට මූණ බලන්නවත් බෑ එයාගෙ. එයාගෙ මූණ නරක් වෙලා. නොහිතපු වෙලාවක වුන දෙයක් නිසා එදා කාටවත් ඒ ගැන විශ්වාස කරන්න පුලුවන් කමක් තිබුණෙ නෑ. හැබැයි එයා අපිව දාලා ගියා. ඒක තමයි ඇත්ත. ඒ මතක ඒ විදිහටම අපේ හිත්වලත් තියෙනවා. දෙසැම්බර් 27

     

    අද හරි මහන්සි දවසක්. උදේ ඉඳන් හවස් වෙනකල්  එක දිගට වැඩ.පාරකට කොන්ක්‍රීට් දාන එකත් එසේ මෙසේ වැඩක් නෙවෙයි. හැබැයි  මෙහෙම මහන්සි වෙලා වැඩ කරන එකෙත් පොඩි  ආතල් එකක් තියෙනවා. වැටෙන දාඩියට හරියන්න මිලක් හවස් වෙද්දි ලැබෙනවා කියලා හිතට දැනෙද්දි හිතටත් ෆිට් ඇඟටත් ෆිට්. හැබැයි කොන්ත්‍රාත් එක ගත්තු එකා නම් මරන් කන්න හිතෙනවා. තේ ටිකවත් හරියට වෙලාවට දෙන්නෙ නෑ.

     

    දෙසැම්බර් 28

     

    අදත් ඊයේ කොන්ක්‍රීට් එකේ අවසානය වෙනකල් දැම්මා. ඉවර වෙලා බඩු ටික හෝදලා එද්දි කොහොමත් රෑ එක දෙක වුණා.නාගෙන ගෙට ආව විතරයි කසුන් සර්ගෙන් කෝල් එකක් ආවා. හරියටම රෑ එකහමාරයි. “පුතා ආටිකල් එක අපි දැන් කරමුද? හෙට මම ටිකක් බිසී වෙයි.ඒකයි”.මහන්සිය නොබලා ඒ වැඩෙත් කලා නම් හෙට ටිකක් දවල් වෙනකන් නිදාගන්න තිබුණා. ඒකත් එතකොට හරි.

     

    දෙසැම්බර් 29

     

    අද නැගිටිනකොට දවල් වුණා. වැඩකුත් නැති නිසා පොතක් වෙනුවෙන් දවස කැප කරන්න ඕනෑ කියලා හිතුවා. “චේ” මම ආසම කරන මනුස්සයෙක් ගැන ලියවුණ පොතක්. තමන්ගේ ජීවිතේට වඩා අනුන්ගෙ ජීවිතේට ආදරේ කරපු මනුස්සයෙක්. ලෝකෙටම ආදරේ කියලා දීපු මනුස්සයෙක්. හැබැයි ඒ පාඩම අපි හරියට ඉගෙන ගත්තද කියන එකේ ගැටලුවක් තියෙනවා. කොහොමත් මිනිස්සු ගැන හිතන මිනිස්සුන්ට අසීමිත ආදරේ කරන, දුප්පත් පෝසත් භේදයක් නැතුව මිනිස්සුන්ට උදව් කරන මනුස්සයන්ට සමාජය කැමති නෑ.අපේ මිනිස්සුන්ට කොහොමත් ඕනි හිර වෙලා,යට වෙලා ජීවත් වෙන්න.

     

    දෙසැම්බර් 30

     

    සමහර දේවල් අතාරින්න වෙන්නෙ ඒ දේවල්වලට ආදරේ වැඩි කම නිසාම තමයි. සංජු දැන් පෙම්වතියක්ලු. මගෙ දස අවුරුදු ඒකපාර්ශවික ආදරේ දැං වෙන කෙනෙක්ගෙ ජීවන සහකාරිය. තරංගා එයා ගැන කියනකන් මම දැනන් හිටියෙ නෑ මාව වට්ස්අැප්වලින් බ්ලොක් කරපු හේතුව. හේතුව තමයි දැං එයා පෙම්වතියක්. නැත්නම් මාස දෙක තුනක් යනකන් මාව බ්ලොක් කරන් ඉන්නෙ නෑ. දැං දුකක් දැනෙන දෙයක් වුණත් ඒ දුක  බෙදාගන්න කෙනෙක් ඉන්නවා. ඔව් එයා හොඳින් ඉන්නවා නම් එච්චරයි.

     

    දෙසැම්බර් 31

     

    2020 අවුරුද්දම පොර බැදුවේම කොරෝනා එක්ක. මහ ගෙදර ගමෙත් කොවිඩ් පොසිටිව් උන දෙන්නෙක් හම්බෙලා. කොළඹ රස්සා කරපු කොල්ලො දෙන්නෙක්. පව් ඉතිං. ජීවත් වෙන්නත් ඕනි නිසා උන් ගමේ ඉඳන් කොළඹ යන්නෙ ගමේ ඉඳලා කුඹුරක් කොටාගෙන ජීවිකාව ගොඩ දාගන්න බැරි නිසා. දැං ගමේ මිනිස්සු උන් දෙන්නට බනිනවලු උන් ගමට කොරෝනා ගෙනාවා කියලා. ඒ කොහොම වුණත් අදින් මේ අවුරුද්ද ඉවරයි. 2021 අවුරුද්දත් මේ වසංගතයෙන් මිදුණොත් ඇති.

     

     හෂාන් අනුරාධ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here