ඇඟිලිතුඩට ඇස් දුන් ලුවී බ්‍රේල්

    0
    7

    ලෝකය දෙනෙතින් දකින්නට වාසනාව අහිමි වූවන් එම අඩුව ළඟ තම ජීවිතයෙහි සියල්ල නවත්වන්නට ඉඩ නොදී ඉදිරියට පවත්වාගෙන යන්නට නම් අධ්‍යාපනයෙහි උපකාරය ලබා ගත යුතුය. ශ්‍රවණය සහ ස්පර්ශය මගින් තම දැනුම පුළුල් කර ගැනීම විනා ලොව දකින්නට ඔවුන්ට අවකාශයක් නොමැති වීම හේතුවෙන් ‍අධ්‍යාපනය ලැබීමේ දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලුවලට පිළියමක් අත්‍යවශ්‍යය. දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් එවන් විශිෂ්ට සොයා ගැනීමක් සිදු කළේ 1809 වසරේ ජනවාරි 4වැනිදා ප්‍රංසයේ උපත ලද ලුවී බ්‍රේල් විසිනි.

    වයස අවුරුදු තුනේදී තමා විසින්ම සිදුකර ගත් අනතුරකින් එක් ඇසක් අහිමි වූ ලුවී බ්‍රේල්ට සිම්පතටික් ඔප්තැල්මීයා නම් රෝගය නිසා අනෙක් ඇසද අහිමිවීම හේතුවෙන් ඔහු පූර්ණ අන්ධභාවයට පත්විය.

    වයස අවුරුදු දහයක් වන විට පැරීසියේ පැවති අන්ධ පුද්ගලයන් සඳහා වන රාජ්‍ය අධ්‍යාපන ආයතනයකින් පිරිනමන ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට වාසනාවන්ත වූ බ්‍රේල්, විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද සිය දස්කම් ඔප් නංවා ගන්නට හැකි වූ දක්ෂයෙක් බවට පත් විය. ඕගන් සහ සෙලෝ වාදකයකු ලෙස දස්කම් පෙන්වූ ඔහු කියවීම සහ ලිවීම ඉගෙන ගැනීම සඳහා වැඩි වෙහෙසක් දැරුවේය.

    ඔහු ඉගෙන ගත් පාසලෙහි ප්‍රධානියා වූ වැලන්ටින් හෝයි විසින් සොයාගත් කියැවීමේ සහ ලිවීමේ ක්‍රමයක් පාසල තුළ අනුගමනය කළ නමුත් එහි ප්‍රායෝගික නොවන ලක්ෂණ රාශියක් පැවැති බැවින් ඒ ක්‍රමය සාර්ථක වූයේ නැත.

    වර්ෂ එක්දහස් අටසිය විසි එකේදි එවක ප්‍රංස හමුදා ප්‍රධානියා වන චාර්ල්ස් බාබියර්, බ්‍රේල් ඉගෙනුම ලැබූ පාසලේ සංචාරයක නිරත වූ අතර ඔහු විසින් රාත්‍රී කාලයෙහි ලැබෙන රහස් පණිවුඩ ද කියවා තේරුම් ගැනීම සඳහා තම හමුදාව වෙත හඳුන්වා දී තිබූ තිත් 12ක් සහිත ලිවීමේ ක්‍රමය මෙම පාසලට හඳුන්වා දෙනු ලැබීය.

    මෙම තිත් දොළහේ ක්‍රමය පසුකාලීනව තිත් හයක් දක්වා අඩුකර වඩා සරල කියැවීමේ ක්‍රමයක් නිපදවන්නට ලුවී බ්‍රේල් සමත් විය. මෙම තිත් හයේ භාෂාව දෘශ්‍යාබාධිත පුද්ගලයින් අද භාවිතා කරන බ්‍රේල් ක්‍රමය යි. ජනවාරි 4වැනිදාට ලුවී බ්‍රේල් ගේ ජන්ම දිනය යෙදෙන බැවින් එදින බ්‍රේල් දිනය ලෙස හදුන්වන අතර ඔහුට ගෞරවයක් ලෙස තිත් හයේ ක්‍රමය ඔහුගේ නමින් හඳුන්වන්නට ද කටයුතු කර තිබේ.

    1827 දී නිකුත් වූ මෙතඩ් ඔෆ් රයිටිං වර්ඩ්ස්, මියුසික්, ඇන්ඩ් ප්ලේන් සෝන්ග්ස් බයි මීනිස් ඔෆ් ඩොට්ස්, ෆෝ යුස් බයි ද බ්ලයින්ඞ් ඇන්ඩ් ඇරේන්ඩ් ෆෝ දෙම් නම් කෘතිය බ්‍රේල් ක්‍රමය පිළිබඳව සඳහන් කොට ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද පළමු කෘතිය ලෙස සඳහන් වේ.

    පසු කාලීනව තම පාසලේම ගුරුවරයකු බවට පත් වූ ලුවී බ්‍රේල් 1852 වසරේදී ක්ෂය රෝගයට ගොදුරු විය. වයස අවුරුදු 43 ක් වැනි වයසකදී ජීවිතයෙන් සමුගැනීමට ලුවී බ්‍රේල්ට සිදු වුවත් ඔහු ජීවත්ව සිටි සමයේ දී ඔහු විසින් සොයාගත් බ්‍රේල් ක්‍රමය කියවීම සහ ලිවීම සඳහා භාවිතා වී නැති බව ද කියැවේ.

    ඔහුගේ මරණයෙන් දෙවසරකට පසු එනම් 1854 වර්ෂයේ දී ප්‍රංසය ඔහුගේ බ්‍රේල් ක්‍රමය පිළිගත් අතර මේ වන විට ලොව පුරා දෘශ්‍යාබාධිත ජනතාවට ලුවී බ්‍රේල් විසින් සොයාගත් බ්‍රේල් ක්‍රමය මගින් අතිමහත් සේවයක් සැලසෙයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here