එංගලන්ත ක්‍රිකට් පිල මත්තලින් ශ්‍රී ලංකාවට

0
21

ක්ෂණික ප්‍රතිදේහජනක පිරික්සුම් ප්‍රතිඵල  සියල්ල යහපත්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් ඊයේ (3) උදෑසන මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට ගොඩ බසියි. එංගලන්තයේ කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනීමත් සමඟ මත්තල තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ සියලු ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලයට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදු කර ඇති අතර, පසුව ගුවන් තොටුපොළ පර්යන්තයේ සිට බස් රථයට ගොඩවීමට පෙර පීසීආර් පරීක්ෂණයක් ද සිදු කළේය.

එම රැපිඩ් ඇන්ටිජින් පරීක්ෂණ සියල්ල යහපත් බව බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලයේ උපදේශක මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ‘දිනමිණ’ට පැවසීය. “එංගලන්ත පිල පැමිණියේ ජෛව බුබුළක සිට වෙනම විශේෂ යානයකින්. ඒ නිසා පීසීආර් පරීක්ෂණවලින් පැය 24කට පසු ඔවුන්ට පුහුණුවීමට අවසරය ලැබෙනවා. දින තුනකට වරක් සියලු දෙනාට පීසීආර් කරනවා. තරග පටන් ගත් පසු දින 5කට වරක් පීසීආර් පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. ඔවුන් සිටින හෝටලයේ යුද හමුදා වෛද්‍යවරු රැඳී සිටිනවා. ඒ නිසා නිසි පරිදි සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රීයාත්මක වෙනවා” මහාචාර්යවරයා පැවසීය.

අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය උදෙසා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පැමිණියේය. ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිල සමඟ ක්‍රීඩකයන් 22ක් පැමිණි අතර, ඔවුන් හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී හෙට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී එංගලන්ත පිල ශ්‍රී ලංකාවට පැමිණි අතර, පුහුණු තරගයකට එක්ව සිටියදී කොරෝනා වසංගත ව්‍යාප්තිය සිදු වීමෙන් යළි එංගලන්තය බලා පිටත්ව ගියේය. එහෙත් කොරෝනා අර්බුද හමුවේ වුවද ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව තරගාවලිය පැවැත්වීමට දෙරටේ ක්‍රිකට් බලධාරීහු පසුව එකඟ වූහ.

එංගලන්ත කණ්ඩායම හම්බන්තොටදී නිරෝධායනය වී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වලින් අනතුරුව ජනවාරි 14 වැනිදා ආරම්භවන පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ගාල්ලට පැමිණේ. කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමේ පියවරක් ලෙස එංගලන්තය සමඟ ටෙස්ට් තරග දෙකම ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, දෙවැනි ටෙස්ට් තරගය 22 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වේ. එංගලන්තය අවසන් වරට වසර 2018දී ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී 3-0ක් ලෙස එංගලන්තයට ජය හිමි විය.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here