කසළ ප්‍රශ්නයට මූල්‍ය වටිනාකමක්

    0
    10

    කසළ  කළමනාකරණය සඳහා අප වැනි රටකට යා හැකි හොඳම විසඳුම කසළ කළමනාකරණය  සේවාවක් බවට පත් නොකර එය මුදල්  ඉපයිය හැකි  ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමය. කසළ එකතු කිරීමේ තැන සිට සෑම පියවරකටම මුල්‍යමය වටිනාකමක් දීමෙන් එහි අගය  වැඩි කිරීමෙන් කසළ සඳහා වටිනාකමක්  ආරෝපණය වේ.

    මානව සංහතිය අති නවීන තාක්ෂණය විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයන්ගෙන් කෙළ පැමිණ දියුණුවේ හිණිමං පෙත්තටම ළඟා වී ඇති මුත් අදටත් විසඳා ගත නොහැකිව ශේෂව ඇති ප්‍රශ්න අතර කසළ අර්බුදය ඉදිරියෙන්ම තිබේ. දියුණු වුව ද නොදියුණු වුව ද කසළ ප්‍රශ්නයට තිරසර විසඳුමක් සොයා ගැනීමට අසමත් වු කසළ කළමනාකරණය නමැති මාතෘකාව පෙරමුණෙහි තබා ගෙන එම අභියෝගය සාර්ථක ලෙස ජය ගත් රටවල් ද බොහෝය. අප මේ ගණයෙන් කොතැනක සිටින්නේ ද අපට හිමි තැන කෙබඳු ද යන්න නිසියාකාරව හඳුනාගෙන කසළ කළමනාකරණය විධිමත් වූත් අත්‍යවශ්‍ය වුත් ජාතික කර්තව්‍යයක් සේ සලකා ක්‍රියා කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ.

    සංවර්ධනයේ අභියෝග ජය ගෙන ඉදිරියට යමින් සිටින මොහොතක කුණු ප්‍රශ්නය පැත්තකින් තබා ඉදිරියට යෑමට උත්සාහ දරන්නේ නම් ඒ ගමන කිසියම් හෝ මොහොතක ආපස්සට හැරෙනු නියතය. එවැනි සිද්ධි ඉතිහාසය පුරාම ඇති මුත් කසළ ප්‍රශ්නයෙන් පැන නැගුණු බරපතළ ඛේදවාචකය 2016 වසරේ සිදු වු මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමය. එය එසේ එදා සිදු වුවද මේ වන තුරුත් කසළ කළමනාකරණයට විධිමත් ප්‍රවේශයක් සඳහා යොමු වීම සිදු වී නොමැති බවක් දක්නට ලැබෙයි. මේ නිසා කසළ ප්‍රශ්නය මීටත් වඩා ඔඩු දුවන්නට පෙර තිරසර වැඩපිළිවෙළකට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය වී තිබේ.

     

    කසළ යනු සම්පතක් ද?

    කසළ යනු මිනිසා විසින් භාවිතයට ගෙන ඉවතලන කිසිදු වටිනාකමක් නොමැතිව ඉවතලන දෑ යනුවෙන් කළ නිර්වචනය ආදි කාලයේ මේ සඳහා දුන් අර්ථ දැක්වීමක් මුත් අද එය කිසිසේත්ම වලංගු නොවේ. වර්තමානයේ පිළිගන්නේ කසළ යනු මිනිසාගේ යහපතට පෙරළා ප්‍රයෝජනයට ගත හැකි වටිනාම සම්පතක් ලෙසයි. එහෙත් කසළ වැරදි කාලයක, වැරදි තැනක, වැරදි ආකාරයට පවතින තාක් එය සම්පතක් බවට පත් නොවෙයි. එහෙත් නිසි තැනක නිසි ලෙස නිසි වේලාවට පවතින්නේ නම් කසළ යනු මිල කළ නොහැකි ධනයකි.

    කසළ ප්‍රශ්නය බරපතළ අර්බුදයක් බවට පත්ව ඇත්තේ එය දිනෙන් දින ප්‍රමාණයෙන් වැඩි වන දෙයක් නිසාය. එහෙත් පරිහරණයෙන් පසු ඉවතලන දේවල් අවම කිරීමට ක්‍රමවේදයක් සොයනවාට වඩා ඉවතලන දේ ප්‍රශ්නයක් නොවන ලෙස කළමනාකරණයට කටයුතු කිරීමට හැකියාවක් ඇත. මෙහිදි කසළ ප්‍රශ්නය ජය ගත් සහ ජය ගැනීමට අසමත් වූ රටවල් දෙස බලන විට පැහැදිළිව පෙනෙන්නට ඇති යමක් වෙයි ද එය ඒ ඒ රටවල්වල ජනතාවගේ චර්යාව පිළිබඳ ප්‍රශ්නයක් නිසා මතු වු අර්බුදයක් බව පෙනෙයි. කසළ ගැන කතා කරන විට ජනප්‍රියතම උදාහරණය ජපානයයි. ඔවුන් හඳුන්වා දුන් එස් පහ සංකල්පය හරහා ඔවුන්ට ලැබුණු විශිෂ්ට ජයග්‍රහණය කසළ අර්බුදයට තිත තැබීමය. එය ඔවුන් අත් කර ගත්තේ අන් කිසිවක් නිසා නොව ජපන් ජාතීන්ගේ උපතින්ම එන චර්යාමය හැඩ ගැස්ම නිසයි. එය උපතින්ම ලැබුණු දෙයක් යැයි කීමෙන් එය ජානවලින් ලැබුණු දෙයක් යන අදහස නොව නිරන්තරයෙන් ක්‍රියාවට නැංවිම තුළින් ප්‍රගුණ කර ගත් සහ හුරු කර ගත් වටිනාකමකි. එහෙත් ඒ තැන අප නැත. ඒ මන්ද ජාතියක් වශයෙන් ඒ චර්යාමය හැඩ ගැස්ම අපි ලබා ගෙන නොමැති වීමය. චර්යාව දැනුමින් ඔපමට්ටම් කර ගත හැකි මුත් දැනුම තිබු පමණින් යහපත් චර්යාවන් මතු නොවෙයි. චර්යාව සහ දැනුම අතර විශාල පරතරයක් තිබේ. අද අපේ රටේ ජනතාවගේ සාක්ෂරතාව සියයට 98කි. එනම් සෑම පුරවැසියකුම යමක් ග්‍රහණය කර ගැනීමේ දැනුමින් සන්නද්ධය. එහෙත් චර්යාමය වෙනස්කම් ඊට සාපේක්ෂව වැඩි දියුණු වී නැත. තමන් භාවිතයට ගෙන ඉවතලන දේ මහ මඟ දමා යෑම සහ නිවෙසේ කුණු ටික පාරට දැමීම අප නවත්වා ගෙන නැත්තේ දැනුම තිබුණ ද චර්යාමය වෙනසක් අත් කර ගෙන නොමැති බැවිනි. කසළ කළමනාකරණයට අප අවතීර්ණ විය යුත්තේ මිනිසුන්ගේ හැසිරීම වෙනස් කරන වැඩපිළිවෙළත් සමඟය.

     

    රජයේ කාර්යභාරයක්

    තමන්ගේ වගකීම නොසලකන වැඩි පිරිසක් සිතන්නේ කසළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම බලයට පත්වන රජයට පැවරි ඇති කාර්යයක් බවයි. එය රජය විසින් ඉටු කළ යුතු ජනතා සේවාවක් ලෙස අර්ථ ගැන්වීමෙන් මේ ප්‍රශ්නය වැරැදි ලෙස ග්‍රහණය කර ගෙන ඇත. එය රජයේ එක් කාර්යභාරයක් විය යුතු වුවත් රජයකට එය කළ හැක්කේ මහජනතාවගේ මැදිහත්වීම සියයට සියයක්ම ලැබුණ හොත් පමණි.

    ශ්‍රී ලංකාවේ දෙකෝටියකට ආසන්න ජනගහනයෙන් දිනකට ජනනය වන කසළ ප්‍රමාණය ටොන් 9600ක් පමණ වෙයි. එය තවදුරටත් සරලව පැහැදිලි කර ගන්නේ නම් නාගරික පුද්ගලයකු දිනකට ග්‍රෑම් 900ක් ද ග්‍රාමීය පුද්ගලයකු දිනකට ග්‍රෑම් 600ක් ද කසළ ජනනය කරයි. මෙම දිනකට එකතු වන කසළ ප්‍රමාණයෙන් කසළ කළමනාකරණය පිළිබඳ වගකීම දරන පළාත් පාලන ආයතන 337 ක් විසින් එකතු කරන්නේ දිනකට කසළ ටොන් 3600ක් පමණය. ඒ අනුව ජනනය වන මුළු කසළ ප්‍රමාණයෙන් සියයට හැටක්ම අවිධිමත් ලෙස විවෘත පරිසරයට එක් වේ. මේ නිසාම අද කසළ ප්‍රශ්නය පාරිසරික අර්බුදයක් බවට පත්ව ඇති අතර, පරිසර දුෂණය, ලෙඩ රෝග පැතිර යෑම, සතුන්ට ජීවිත තර්ජන මතු වීම වැනි දම්වැලක පුරුක් මෙන් එකිනෙකට පෑහුණු ප්‍රශ්නාවලියක් අද අපි මත පැට වී ඇත.

    කසළ ජනනය සහ කසළ එකතු කිරීම අතර පරතරය වැඩි වීම නිසා අද මතු වි ඇති කසළ අර්බුදයට ස්ථීර පිළියමක් සෙවීමට පාර්ශ්ව ගණනාවක් මැදිහත්කරුවන් ලෙස සිටිති. මෙහි ඉදිරියෙන්ම සිටිය යුත්තේ අප මුලින් සඳහන් කළ චර්යාමය වෙනස තුළින් තම වගකීම ඉටු කරන මහජනතාවය. එහෙත් මහ ජනතාව මේ කාර්යය ඉටු නොකරන්නේ නම් රජයට මේ වගකීම තනිවම දැරීමට සිදු වේ. මෙහිදි රජය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන, පරිසර අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය ආදි ආයතන ඒකාබද්ධව ජාතික මට්ටමේ මෙහෙයුම් කමිටුවක් ක්‍රියාත්මක වීම වසර ගණනාවක සිට මතු වු දැඩි අවශ්‍යතාවකි. මෙවැනි මෙහෙයුම් කමිටුවක් මීට වසර කිහිපයකට පෙර පත් කර තිබුණ ද එය 2012 වසරේ සිට ක්‍රියාත්මක වී නොමැත. වත්මන් රජය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය ප්‍රකාශයට සමාගාමීව රට තුළ විප්ලවීය වෙනසක් ඇති කිරිමට දරන ප්‍රයත්නයට සමගාමීව මෙම මෙහෙයුම් කමිටුව නැවත බල ගැන්වීම අත්‍යවශ්‍යයෙන් සිදු විය යුතු බවට අපි අවධාරණය කරමු.

     

    ප්‍රතිපත්ති මාලාවක්

    මෙහෙයුම් කමිටුවකින් අපේක්ෂා කරන්නේ කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති මාලාවක් සකසා එයට කැබිනට් අනුමැතිය ගෙන එය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහාය සපයා දිමය.

    2000 වසරේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයෙන් ශ්‍රි ලංකාව කළ විශේෂ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ කසළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා ජපානයෙන් විශේෂඥ කණ්ඩාමයක් මෙරටට පැමිණ ලංකාවේ තත්ත්වය අධ්‍යයනය කිරීමෙන් පසු යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදි. එහිදි කොළඹ නගරය ඇතුළුව තවත් ද්විතීය නගර 17ක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. අවම වශයෙන් වසර 5ක්වත් මෙය ක්‍රියාත්මක කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ඔවුන් ප්‍රකාශ කළ ද එම යෝජනාව වැඩි කල් යන්නට මත්තෙන් හමස් පෙට්ටියට වැටිණි.

    13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවලට පැවරුණු විශේෂ වගකීමක් ලෙස කසළ කළමනාකරණය සඳහන්ව ඇති මුත් එයින් ද නිසි ප්‍රතිඵලයක් නොලැබිණි. කසළ කළමනාකරණය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ විසඳුම් අසාර්ථක වු විට ඊට හේතු සොයා බැලීමක් සිදු වී නැත. 1996 ආසියානු සංවර්ධන වැඩසටහන මඟින් සපයා දුන් කොම්පෝස්ට් අංගණයට 2000, 2007, 2012 යන වසරවල පිළිවෙළින් රුපියල් මිලියන 190ක්, 35ක් 40ක් ආදි වශයෙන් මුල්‍යමය ආධාර දුන්න ද අදටත් නගර සභා ඇතුළු ආයතන කසළ ටික කළමනාකරණයට අසමත් වී ඇත. පසුගිය රජය ජපානයෙන් කොම්පෝස්ටි යන්ත්‍ර 9ක් ආනයනය කරනු ලැබුයේ ජනාධිපති අරමුදලින් ලැබුණු මිලියන 5000ක් වැය කරමිනි. එහෙත් එම යන්ත්‍ර නවයෙන් සවි කරනු ලැබුයේ හතරක් පමණි. මේ නිසා මිලියන ගණනක් අපතේ ගිය අතර කසළ ප්‍රශ්නයට විසැදුමක් ලැබුණේ ද නැත.

     

    විශේෂඥ දැනුම අවශ්‍යයි

    ලංකාවේ දැනට ක්‍රියාත්මකව අතර මඟ නැවතුණු සහ අසාර්ථක වුණු කසළ ප්‍රතිචක්‍රිකරණ ව්‍යපෘතිවලට එම ඉරණම අත් වීමට බලපෑ ප්‍රධානතම කාරණය වුයේ මෙම විෂය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලත් ප්‍රවීණයන් ඊට සම්බන්ධ නොවීමය. කසළ කළමනාකරණය යනු මුළුමනින්ම සනිපාරක්ෂක ඉංජිනේරු විද්‍යාව පිළිබවද විෂය ක්ෂේත්‍රයකි. එහෙත් ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක මේ විෂයට අදාළ පාඨමාලාවක් නැත. මේ සඳහා විශේෂඥ දැනුම සහිත පිරිසක් බිහි විය යුතුය.

    ලෝකයේ ජීවත් වීමට සුදුසු නගර 10 ලැයිස්තුවට කොළඹ නගරය ද ඇතුළත් වී තිබේ. මේ තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට කසළ කළමනාකරණයෙන් අප තවත් ඉදිරි පියවරක් තැබිය යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය නීතිරීති ප්‍රතිපත්ති අප ළඟ ප්‍රමාණවත් පරිදි ඇති මුත් වුවමනා කරන්නේ ඒවා නිසි කල, නිසි තැන, නිසි ලෙස ක්‍රියාත්මක කිරීමය. ලංකාව වැනි රටකට අපේ මුල්‍ය වත්කම්වලට බරක් නොවන ලෙස කසළ සඳහා විසැඳුමක් දීමට හැකියාවක් ඇත

    කසළ කළමනාකරණය සඳහා අප වැනි රටකට යා හැකි හොඳම විසැඳුම කසළ කළමනාකරණය සේවාවක් බවට පත් නොකර එය මුදල් ඉපයිය හැකි ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමය. කසළ එකතු කිරීමේ තැන සිට සෑම පියවරකටම මුල්‍යමය වටිනාකමක් දීමෙන් එහි අගය වැඩි කිරීමෙන් කසළ සඳහා වටිනාකමක් ආරෝපණය වේ. එමෙන්ම කසළ එකතු කිරීමේදී වෙන් කිරීම තුළින් හැර ඒ සඳහා ඉහළ මිලක් නොලැබෙන බව ද මතක තබා ගත යුතුය. අද කසළවලට මිලක් නොලැබී ඇත්තේ මෙම කසළ වෙන් කිරීම නිසියාකාරව සිදු නොවීම නිසාය. අප ඉවතලන ප්ලාස්ටික්වල ප්ලාස්ටික් වර්ග 9ක් ඇත. පොලිතින් වර්ග 5ක් ඇත. මේවා හඳුනාගෙන අනතුරුව වෙන් කරන්නේ නම් කසළ එක් රැස් කිරීම සහ ප්‍රතිචක්‍රිකරණය දක්වා සෑම පියවරකටම මිලක් ගත හැකිය.

    තම නිවෙසින් ඉවත් කෙරෙන කසළ ප්‍රමාණය අවම කර ගැනීම සඳහා ග්‍රාමීය ජනතාවට මෙන්ම නාගරික ජනතාවට සිය ශක්ති ප්‍රමාණයෙන් දායක විය හැක. නිවෙසකින් බැහැරලන කසළවලින් සියයට 55-65ක් දිරාපත් වන අපද්‍රව්‍යයි. ඉන් සියයට 50ක් දින හතක් වැනි කෙටි කාලයකින් දිරාපත් වන අතර, තවත් සියයට 5-10ක් දිරාපත් වන මුත් කාලයක් ගත වෙයි. නාගරික නිවෙසකින් එකතු වන කසළ කළමනාකරණය සඳහා වඩාත් ප්‍රශස්තම විසැඳුමක් වන්නේ ජීව ගඩොල් නිර්මාණය කිරීමය. අද ලෝකයේ බොහොමයක් රටවල ජනතාව මීට අවතීර්ණ වී තිබේ. කසළ දහනයෙන් පරිසරය ට විස වායු එකතු වීම අවම කර ගැනීමට හොඳම විසඳුම මෙයයි. මේ සංකල්පවලට ජනතාව පෙළඹවීම සඳහා සහ අප මුලින් සඳහන් කළ චර්යාමය වෙනසක් ඇති කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය හැකිය. ගමට වැඩ කිරීම සඳහා විවිධ තනතුරු දරන රාජ්‍ය නිලධාරීන් 27 දෙනෙක් සිටිති. ඔවුන්ගේ සේවාව මේ සඳහා යොදා ගත හැකිය.

    ජනතාවගේ දායකත්වය වැඩි වන තරමට කසළ කළමනාකරණයට රජයට දැරීමට සිදු වන පිරිවැය අඩු කර ගැනීමට පුළුවන. 2019 වසරේ රජය මගින් කසළ කළමනාකරණය සඳහා ධනාත්මක විසැඳුම් කරා ළඟා විය හැකි ජාතික නව ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන ලදී. එය බලාත්මක කිරීමෙන් ජාතික මටටමේ විසැඳුමකට අවතීර්ණ වීමට හැකි වනු ඇත .මීතොටමුල්ල, බ්ලුමැන්ඩල් වැනි කුණු කඳු ගොඩ ගැසීම වැළැක්වීමට නම් මෙම සියලු පිළියම් සමාන්තරව ක්‍රියාවට නංවමින් තිරසර විසඳුමකට වහ වහා ප්‍රවිෂ්ට විය යුතුය.

    සකුන්තලා ජයසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here