කාලය නැවැත්විය හැකි නම්?

    0
    6

    කාලය යනු එක් මොහොතකට හෝ නොනවතින, අඛණ්ඩව ගමන් කරන්නා වූ සංසිද්ධියකි. කාලය එක් මොහොතකට හෝ එක තැන නැවැත්වීම කිසි විටෙක කළ නොහැක්කක් වන්නේ එය තාක්ෂණික වශයෙන් ළඟා කර ගත නොහැකි අරමුණක් නිසා නොව භෞතික විද්‍යාත්මක හා ස්වභාව විද්‍යාවේ න්‍යාය අනුව කිසිසේත්ම කළ නොහැක්කක් ද වන නිසාය. කාලය රන් හා වටිනා බව අප කියන්නේ ද එනිසාය. කාලය නැවැත්වීය හැකි නම් අපට බොහෝ දේවල් වීම වළක්වාගත හැකිවා සේම, කිසිවකුට අපව කවර දෙයක් වුව ද කිරීමෙන් වළක්වාලීමට ද නොහැකි වනු ඇත. කොටින්ම වියපත් වීමක් ගැන සිතීමටවත් අවශ්‍ය නොවනු ඇත. ඔබ වටා වන ලෝකය මුළුමනින්ම එනම් සෑම පරමාණුවක්ම, සෑම අණුවක්ම මිදී, අක්‍රීය වනු ඇත. සුළඟ හැමීම නතරව, ජලය ගලා යෑම ද නැවතී, පෘථීවියේ භ්‍රමණය පවා ක්ෂණිකව නැවතෙනු ඇත. එහෙත් කාලය නැවැත්වීම ඔබ සිතන පතන ආකාරයේ විනෝදකාමි අත්දැකීමක් නොවනු ඇත. ඔබ වටා වන ලෝකය නතර වූවාක් මෙන් ඒ සැණින් ඔබ ද අක්‍රීය තත්ත්වයට පත් වනු ඇත්තේ අඳ, බිහිරි එකදු ඇඟිල්ලක් හෝ සෙලවීමට නොහැකි වන පරිදිය.

    එපමණක් ද නොව ඔබට හුස්ම ගැනීමට හෝ නොහැකි වනු ඇත්තේ ඔබ වටා වන වාතය තව දුරටත් චලනය නොවන නිසාය. සැකෙවින් කිවහොත් කාලය නැවැත්වීම යනු ක්ෂණික මරණය කැඳවන්නකි. මේ නිසා භෞතික විද්‍යාඥයන්ට අනුව, කාලය නැවැත්වීමෙන් පසු ලෝකයට කුමක් වේදැයි සොයා බැලීමට නම්, කාලය නැවතීම නැමැති සංසිද්ධිය ඔබට කිසිදු බලපෑමක් නොකරන බවට උපකල්පනය කළ යුතුය. එසේම කාලය නැවැත්වීම මඟින් සොබාදහමේ නීතිවලට බලපෑමක් නොවන බවට ද වන උපකල්පනයේ පිහිටා සෙසු නිගමවලට එළැඹීමට සිදු වනු ඇත.

     

    මිදුණ ලොව

    මිදුණු ලෝකයක පළමු පියවර තබන්නට පය ඔසවන්නට තනත්ම එසේ කළ නොහැකි බව ඔබට දැනෙනු ඇත. ඒ ඔබ අවට වන වායුගෝලය මුළුමනින්ම මිදී ඇති නිසාය. ඔබ වටා වන සෑම සියලු අණුවක් හා පරමාණුවක්ම මිදී ඇති නිසා ඔබට හුස්ම ගැනීමට පවා නොහැකි වනු ඇත. උදව් පතා කෑ ගැසීමට ඔබට අවශ්‍ය වුව ද ඉන් පලක් නොවනු ඇත්තේ මිදුණු වායුගෝලයක් හරහා ශබ්ද තරංගවලට ගමන් කිරීමට නොහැකි බැවිනි. මිදුණ ලොවක තාප තරංගවලට ද ගමන් කිරිමේ හැකියාවක් නොමැති නිසා ඔබ මරණයට පත්වීම නොවැළැක්විය හැකි වනු ඇත. මේ නිසා කාලය නැවතුණු ලොවක ලැබිය හැකි සෙසු අත්දැකීම් ගැන විමසා බැලීමට නම්, වායුගෝලය හා තාප තරංග හා ආලෝක තරංග ද ඇතුළත් වන සමස්ථ විද්‍යුත් චුම්බක වර්ණාවලියම කාලය නැවැතීම නැමැති සංසිද්ධියේ බලපෑමකට නතු නොවූ බවට උපකල්පනය කළ යුතුය. මේ නිසා ඔබට ආශ්වාස ප්‍රශ්වාස කිරිමට සේම චලනය විමේ හැකියාව ද තව දුරටත් පවතිනු ඇත. ආලෝක ෆෝටෝන ද තව දුරටත් චලනය වන නිසා ඔබට අවට දැකීමේ හැකියාව ද එසේම පවතිනු ඇත.

    කාලය නැවැත්වීම නිසා ගුරුත්වය ද එහි බලපෑමට නතු වනු ඇත. ගුරුත්වයේ ගමන් කිරීමට වේග සීමාවක් නොමැති බැව් අයිසෙක් නිව්ටන් පැවසුව ද, එය සත්‍ය නොවන බැව් මේ වන විට තහවුරුව තිබෙන බැවින් මෙලොව පවතින අන් සියලුම දෑ සේම ගුරුත්වය ද ආලෝකයේ වේගයට නතු වන්නකි. කාලය ද එසේම ආලෝකයේ වේගයට නතු වූවකි. තත්පරයට මීටර 300,000,000ක වේගයකින් ගමන් කරන ආලෝකය, කාලයේ ගමන නැවැතීමත් සමඟ නැවතෙනු ඇත. එවිට ආලෝකයේ වේගය ද ශූන්‍ය බවට පත් වන්නේ නිතැතිනි.

    මේ නිසා කාලය නැවැත්වීමට නම් අනන්තය තරම් වේගයකින් ඔබ ගමන් කළ යුතුය. එහෙත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව අනන්ත වූ ස්කන්ධයක් හා ශක්තියක් ළඟා කර ගැනීමකින් තොරව කිසිවකුටවත් ආලෝකයේ වේගය අබිබවා ගමන් කිරීමට නොහැකිය. මේ නිසා කාලය නැවැත්වීම යනු කළ නොහැකි දෙයක් බව තව දුරටත් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. නමුත් කාලය වඩාත් සෙමෙන් ගමන් කරවීමට සැලැස්වීමට බැරි නැත.

     

    සාපේක්ෂතාවාදය

    අණුක ක්‍රියාකාරීත්වය වඩාත් මන්දගාමී කිරීමෙන් විශ්වය මිදීමට ලක් කිරීම එවැනි එක් ක්‍රමයකි. නමුත් නිරපේක්ෂ ශූන්‍යකට (කෙල්වින් අංශක බන්දුව) ළඟා වීමට මෙතෙක් කිසිවකුත් සමත්ව නැති නිසාත්, එය කිසිසේත්ම කළ නොහැකි දෙයක් නිසාත් විශ්වයේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නැවැත්වීමට හැකි නොවනු ඇත. නිරපේක්ෂ ශූන්‍ය ළඟා කරගත නොහැකි තවත් හේතුවක් වන්නේ තාපය යනු ශක්තියක් බැවින් එය තවත් ස්ථානයකට සංක්‍රමණය කරනවා හැරෙන්නට මුළුමනින්ම අහෝසි කර දැමීමේ හැකියාවක් නොමැති වීමය. විශ්වයේම වෙනත් ස්ථානයකට එය සංක්‍රමණය කරනවා හැරෙන්නට අන් විකල්පයක් ද අපට නැත. මේ නිසා විශ්වය මුළුමනින්ම අක්‍රීය කරවීම කළ නොහැක්කක් බව ස්ථිරය. එහෙත් විශ්වය මන්දගාමී කිරීමෙන් වුව ද කාලය නැවැත්වීමට හා සමාන ප්‍රතිඵල අත් විඳිමට බැරි නැත. එසේම කාලය නැවතීමට උත්සාහ දරනවා වෙනුවට ‘ක්ලොක්ස්ටොපර්‘ චිත්‍රපටයේ කළාක් මෙන් එහි ප්‍රති විරුද්ධය එනම් මිනිසා තැනී ඇති පරමාණු හා අණුවල චලන වේගය වැඩි කිරීමෙන් කාලයේ ගමන වඩාත් මන්දගාමී කිරීමට බැරි නැත. නමුත් එලෙස පරමාණුවල චලන වේගය වැඩි කිරිමේ දී සිරුරේ උෂ්ණත්වය දරා ගැනීමට නොහැකි තරම් ඉහළ යාම ද නොවැළැක්විය හැකි වනු ඇත.

    කාලය න්‍යායාත්මකව නැවැත්විය හැකි තවත් ආකාරයක් වන්නේ, එලෙස කාලයේ බලපෑමෙන් මුදා ගැනීමට අවශ්‍ය වස්තුව හෝ පුද්ගලයාව කළු කුහරයකට පතිත කිරීමය. එලෙස පතිත වූ වස්තුවට දැනෙනු ඇත්තේ තමා කාලය හරහා ශීඝ්‍රයෙන් ගමන් කරනවා කියා වුව ද, එහි අවසන් ඉරණම ගැන ඔබට වග වීමට නොහැකි වනු ඇත.

    කාලය යනු ස්වාධීන වූ යමක් නොව, අප ලෝකය තුළ ක්‍රියාත්මක වන හා ප්‍රතිචාර දක්වන විවිධ ආකාරයන්ගේ පෙළගැස්මක ප්‍රතිඵලයක් බැවින් කාලය සම්බන්ධ මෙවැනි කල්පිතයන් ගොඩැනැඟිම අතිශයින්ම අසීරු, මනස විපරීත කරවන ව්‍යායාමයක් බව කිව යුතුය. කාලය නැවැත්වීම ගැන මේ සා සංකීර්ණ උපකල්පන ගොඩනඟනවාට වඩා කාලය එක් මොහොතකට නැවැත්වීමේ අතිශයින්ම පහසු ක්‍රමයක් අප අබියසම ඇත. වැඩි දෙනකු නොසිතුවාට ඡායාරූපයක් ගැනීම යනු එලෙස කාලය එක් මොහොතකට නැවතෙන අවස්ථාවකි. එහි ප්‍රතිඵලය ද කාලයේ බලපෑමට නතු නොවන්නකි.

     

    What If යූටියුබ් චැනලය ඇසුරෙනි

    රුක්ලන්ති පෙරේරා 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here