ධම්මික පැණියට අනුමැතිය දුන්නේ සායනිකව පරීක්ෂා කිරීමට මිසක් භාවිතයට නොවෙයි!

0
36

කොරෝනා මර්දනය සඳහා ධම්මික බණ්ඩාර නමැත්තා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා පැණියට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමි වූයේ, එය සායනික පරීක්ෂාවන්ට භාජනය කිරීම සඳහා පමණක් බව කොවිඩ්-19 ආසාදනයට එරෙහිව ශ්‍රී ලංකාවේ ආයුර්වේද සහ සම්ප්‍රදායික ඖෂධ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති, විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා අවධාරණය කරන්නේ, එම පැණිය සායනිකව භාවිතා කිරීම සඳහා අනුමැතිය ආචාර ධර්ම කමිටුව ලබා නොදුන් බවය.

තව ද එම පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු, එය පිළිබඳව පර්යේෂණය කිරීමට පත් කළ විශේෂඥ කමිටුව විසින් සකසක් කරන ලද පර්යේෂණ යෝජනාව, කොන්දේසි සහිතව රජරට විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨ පර්යේෂණ ආචාර ධර්ම සමාලෝචන කමිටුව විසින් අනුමත කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, ඊට අදාළ සායනික අධ්‍යයනයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මත හැකි ඉක්මනින් සිදු කර, එහි ප්‍රතිඵල පිළිබඳව මහ ජනතාව දැනුවත් කරන බව විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා පවසයි.

මෙම සායනික අධ්‍යයනය මගින් කොරෝනා පැණියෙහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂාකාරී බව පිළිබඳව මූලික තොරතුරු ලබා ගෙන, එම ප්‍රතිඵල මත අවශ්‍ය නම් වැඩිදුර අධ්‍යයනයන් සිදු කෙරෙනු ඇති බව ඒ මහතා සඳහන් කරයි.

එමෙන් ම, මෙම අධ්‍යයනයට සූදානම් වීමේ ක්‍රියාවලියේදී එම විශේෂඥ කමිටුව සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබා ගන්නා අත්දැකීම් අනාගත පර්යේෂකයන්ට කොවිඩ්-19 සහ වෙනත් රෝගාබාධ සඳහා දේශීය ඖෂධ පරීක්ෂා කිරීමට උපකාරී වනු ඇති බව ද විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

අදාළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here