නව වසරට අගමැති කාර්යාලය වැඩ අරඹයි

0
35

ප්‍රතිසංස්කරණය කළ  අග්‍රාමාත්‍ය මහජන  සම්බන්ධතා අංශය ළඟදීම ජනතා සේවයට

අග්‍රාමාත්‍ය ලේකම්  ගාමිණී සෙනරත්

දෙදහස් විසි එක නව වසර සඳහා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය රාජකාරී කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ජාතික ධජය එසවීමෙන් අනතුරුව නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ හමුව ඇරඹිණි.

මෙම සමස්ත වැඩසටහන දුරස්ථභාවය රැක ගැනීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සංවිධාන කර තිබිණි.

පළමුවෙන්ම රණවිරුවන් ඇතුළු දේශය වෙනුවෙන් දිවි කැප කළ සියලුදෙනා සිහිපත් කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක යෙදුණු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය පසුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව හඬනඟා කීවේය.

නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ දී අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය කොවිඩ්-19 වයිරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීම උදෙසා එක් එක් පුද්ගලයන් සතු වගකීම අවධාරණය කර ගැනීම සිදුවිය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා දිලෝෂිණී රණසිංහ මිය ඒ සම්බන්ධයෙන් කෙටි දෙසුමක් පැවැත්වූවාය.

මුව ආවරණය පැලඳීම, නිරන්තරයෙන් අත් සේදීමේ වැදගත්කම මෙන්ම කාර්යාලවල ආහාර ගැනීමේදී කණ්ඩායම් වශයෙන් ආහාර ගැනීමට යාමෙන් ඇතිවිය හැකි කොවිඩ්-19 පැතිරීමේ අවදානම ගැන ද ඇය සිය දේශනයේදී පැහැදිලි කළාය.

අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්, ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක් සහ ගුණගරුක සමාජයක් බිහි කිරීමට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගෙන් ලැබිය යුතු දායකත්වය මැයෙන් දෙසුමක් පැවැත්වීය.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා මෙසේ ද කීවේය.

කොවිඩ් අර්බුදය හමුවේ වූවද 2020 වසරේදී අප අග්‍රාමාත්‍ය කාර්යාලයේ නව ප්‍රතිසංවිධාන කටයුතු රැසක් ක්‍රියාත්මක කළා. අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළා.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා අංශය ලබන සදුදා අපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කරනවා. ඒ වගේම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු මාස දෙකක වගේ කාලයක් තුළ සම්පූර්ණයෙන්ම නිම කරන්න හැකිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

සෞභාග්‍ය යේ දැක්ම අනුව රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු මේ රටේ අනෙකුත් කාර්යාලවලට ආදර්ශයක් වන පරිදි ඩිජිටල්ගත කිරීමේ ක්‍රියාවලියේ මූලික අවස්ථාවට අප පැමිණ තිබෙනවා. එය හැකි ඉක්මනින් ඉටු කරන්න අප බලාපොරොත්තු වනවා.

රාජ්‍යය සේවයේ වැදගත්ම අංගයක් තමයි කණ්ඩායමක් විධියට වැඩ කිරීම, කණ්ඩායමක් විධියට වැඩ කිරීමෙන් අපට ළඟා කරගත හැකි ඉලක්ක අප අත්දැක තිබෙනවා. මහජන සම්බන්ධතා අංශයට ලැබුණු ලිපි 12000ක පමණ කටයුතු අපට නිම කරන්න හැකි වුණේ කණ්ඩායමක් ලෙස කටයුතු කළ නිසයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලුම අංශවල ඉහළම නිලධාරියාගේ සිට සුළු සේවකයන් දක්වා ඔවුන්ගේ කැප කිරීම් සම්බන්ධයෙන් මාගේ ස්තුතිය පළ කරනවා.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here