පශ්චාද් සත්‍ය යුගයෙහි සන්නිවේදනය සහ මාධ්‍ය ක්‍රියාවලිය

    0
    8

    වර්තමාන පශ්චාත් ගෝලීයකරණ සමාජ කාරණාව තුළ සන්නිවේදනය සහ මාධ්‍ය ක්‍රියාවලිය සමස්ත මානව ද්‍රව්‍යයේම ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කොට තිබේ. මානව ද්‍රව්‍ය සැකසීමේ මූලික සමාජ කාරකය වන්නේ සන්නිවේදනයයි. සන්නිවේදනය සත්ව සංහතියෙහි ප්‍රබලතම කාරණාවයි. සන්නිවේදනයෙන් තොර කිසිවක් ගොඩනොනැඟෙනු ඇත. සෑම පුද්ගල සහ සමාජ කාරණාවක් තුළම සන්නිවේදනය ප්‍රබල වේ. ඒ අනුව සන්නිවේදනයට සහ විඥානයට කිසි දින ස්වාධීනත්වයක් ලැබේ ද යනු ගැටලුවකි.

    සන්නිවේදනය භාෂාව හා සම්බන්ධ වන විට එය දෘෂ්ටිවාදී පාලනයකට ද යටත් වේ. පුද්ගල සහ සමාජ දෘෂ්ටිවාදයෙන් තොර සන්නිවේදන හෝ මාධ්‍ය ක්‍රියාවලියක් තිබිය නොහැකිය. අනෙක් අතට සන්නිවේදනය යනු මිනිසා තමා අවට ලෝකය සක්‍රිය ලෙස පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් පමණක් නොව එය අන්‍යයන්ට පරාවර්තනය කිරීමේ ද ක්‍රියාවලියයි. වර්තමානයේදී සන්නිවේදනයෙහි මාධ්‍ය ක්‍රියාවලිය අතිශය ප්‍රබල වී තිබේ. වර්තමාන මාධ්‍යයෙහි ස්වරූප අනුව සන්නිවේදනය හැඩගැසෙන ආකාරය ද දැක ගත හැකිය. එසේම මාධ්‍ය හැඩ ගැසෙන්නේ ආර්ථිකයට අනුකූලවය. ඒ අනුව මාධ්‍ය තුළ නිෂ්පාදනය කරන සමාජ සංස්කෘතික ස්වරූප ආර්ථිකයට අනුගත වේ. ආර්ථිකයට අනුව හැඩ නොගැසෙන මාධ්‍යයට වර්තමාන නව ලිබරල් ධනවාදී ආකෘති මත පැවැත්මක් ද නැත. ඒ අනුව මාධ්‍ය විසින් ඉටුකරන්නේ ද ආර්ථිකයේ සමාජ කාරණාවයි. එය සංවර්ධනයට මඟ පෙන්වන ආර්ථික ක්‍රියාවලිය ද නොවේ.

    දේශපාලනඥයාට ද මෙම ආකෘති තුළින් නිදහස් විය නොහැකිය. ඒ අනුව දේශපාලන මතවාද සහ දෘෂ්ටිවාද ද මාධ්‍ය විසින් සමාජ සතු කරනු ලබයි. මාධ්‍යයට ආර්ථික මෙන්ම දේශපාලන දෘෂ්ටිවාදයෙන් ද නිදහස් විය නොහැකිය. එම නිසා එය සමාන්‍ය සමාජයට වේගයෙන් සම්ප්‍රේෂණය වීමේ කාර්යය ද සිදු වේ. වර්තමාන දේශපාලනඥයා දේශපාලනයෙහි ද විශේෂඥයකු නොවන නිසා දේශපාලනය සහ සමාජ සංවර්ධන පිළිබඳ විශේෂඥ අදහස් ඔවුන් මඟින් ද සමාජගත නොවනු ඇත. සමස්ත සමාජ සංවර්ධන ක්‍රියාවලිය ද දේශපාලන ක්‍රියාවලිය මත පදනම් වී තිබේ. ඒ අනුව දේශපාලන‚ සමාජ සංවර්ධන සහ ආර්ථික සංවර්ධනයට අදාළ සන්නිවේදන ක්‍රියාවලිය ගොඩනොනැඟෙන බව පැහැදිලිය. ප්‍රතිපත්ති සහ සැලසුම් සහගත ආර්ථික‚ දේශපාලන සහ සමාජ සංවර්ධනයට අදාළ විද්‍යාත්මකව පදනම් වූ කරුණු අන්තර්ගත නොවන බව පැහැදිලිය. ඒ අනුව එය තීරණාත්මකව සමාජ සංවර්ධනයෙහි විරෝධී සාධක බවට පත්ව තිබේ.

    ගෝලීයකරණය තුළ ද මාධ්‍යයෙහි සහ සන්නිවේදනයෙහි ස්වරූප වෙනස් කොට ගෙන තිබේ. වර්තමානයෙහිදීත් ගෝලීයකරණය පිළිබඳ මාධ්‍ය තුළ විවිධ අදහස් හා මතවාද දැක ගත හැකි වේ. ගෝලීයකරණය පිළිබඳ ගොඩනැඟෙන මෙම මතුපිට අදහස් එහි හරය සහ යථාර්ථය අනාවරණය නොකරන බව පැහැදිලිය. එය රටේ පොදු ජනතාවට පමණක් නොව විවිධ ක්ෂේත්‍ර තුළ සිටින විද්වතුන්ට ද අවබෝධ කර ගැනීම අසීරු සහ සංකීර්ණ තත්ත්වයකි. ඒ පිළිබඳ විවිධ අදහස් සහ මතවාද තුළින් ඒ බව සනාථ වේ. එහෙත් මෙම විවිධ අදහස් සහ මතවාද ගොඩනැඟෙන්නේ එහි සංකීර්ණ බව නිසාම නොවේ. වර්තමානයෙහි පවතින්නේ පශ්චාත් ගෝලීයකරණ අවස්ථාවකි. මෙය ද නිවැරදිව තවම තේරුම් නොගෙන ඇති බව පැහැදිලිය. ගෝලීයකරණය සහ පශ්චාත් ගෝලීයකරණය පිළිබඳ නිවැරදි තේරුම් ගැනීම අවශ්‍ය වන්නේ එය පෘථිවියෙහි ජීවත්වන සෑම පුද්ගලයකුගේම‚ ජාතියකගේම‚ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරයකම‚ විද්‍යාව‚ තාක්ෂණය‚ අධ්‍යාපනය‚ මතවාද හා ශික්ෂණ රටාවන්‚ විලාසිතා‚ ඇඳුම් පැලඳුම්‚ ක්‍රීඩා‚ සිතන පතන ආකාරය ආදී මානව සහ සමාජ චර්යා පද්ධති සියල්ලක්ම මේ හා තදින්ම බැඳී ඇති බැවිනි.

    මෙය ලෝක ජාතීන් ඒකීය ප්‍රජාවක් ලෙස ඒකරාශි කරන ප්‍රයත්නයක් නොවන බව ද පැහැදිලිය. මෙහි ඇත්තේ ලෝක ආධිපත්‍යය සඳහා උත්සාහ දරන බටහිර බලවතුන්ගේ ක්‍රියාකාරිත්වයයි. සමස්ත ලෝක ආර්ථිකය මේ තුළ හැඩ ගසා ඇත්තේ බහු ජාතික සමාගම් විසිනි. මෙහි තව ලක්ෂණයක් ප්‍රබල වේ. එනම් දියුණු වෙමින් පවතින රටවල සංස්කෘතිය අමෙරිකානුකරණය හෙවත් බටහිරකරණය කිරීමයි. සංස්කෘතික අධිරාජ්‍යවාදය‚ තොරතුරු අධිරාජ්‍යවාදය යන සංකල්ප ද පෙරදිගින් ගොඩනැඟුනු ඒවා නොවේ. ඒවාහි උත්පත්තිය බටහිරය. මෙය මානවවාදී සමාජ ප්‍රගමන කාරණාවට වඩා බටහිර රටවල ජීවන අවශ්‍යතාවක් බවට පත් වී තිබේ. වර්තමානයෙහි මෙම අධිරාජ්‍යවාදී ක්‍රමවේදය විද්යුත් අධිරාජ්‍යවාදය (Electronic imperialism) මඟින් ආවරණය කරනු ලබයි.

    එහෙත් වර්තමානයේ මේ තුළ දැකිය හැකි ප්‍රබල කරුණක් වන්නේ ගෝලීයකරණය හෝ ගෝලීය මාධ්‍ය යනු ගෝලීය ස්වභාවය ඉස්මතු කරන්නක් නොවන බවයි. ඒ අනුව ගෝලීය මාධ්‍ය යනු ගෝලීය ස්වභාවය ඉස්මතු කරන මාධ්‍යයක් නොව බටහිර සමාජ සංස්කෘතික ආර්ථික සහ දේශපාලන රුචි මෙන්ම බල ව්‍යාප්තිකරණයෙහි අසීමාන්තික චින්තනය ලෝක සමාජය වෙත මුදාහරින බල කේන්ද්‍රයයි.

    එහෙත් වර්තමානයේ දැකිය හැකි වන්නේ පශ්චාත් ගෝලීයකරණ ක්‍රියාවලියකි. පශ්චාත් ගෝලීයකරණ ක්‍රියාවලියෙහි බලය බටහිර කේන්ද්‍රීය නොවන අතර, එය කලාප කේන්ද්‍රය ලෙස ගොඩනැඟෙනු ඇත. ඒ අනුව ආසියාවේ බලය අනාගතයේ ප්‍රබල වනු ඇත. එවිට ආසියාවේ මිනිසුන් සිටී ද යන ගැටලුවට මුහුණ දීමට සිදුවේ. එසේම වර්තමානයේ දැකිය හැකි තවත් ප්‍රබල කරුණක් වන්නේ පශ්චාත් සත්‍ය යුගයක නිර්මාණයයි. ඒ අනුව සත්‍ය යැයි ඉදිරිපත් කරන දේ තුළ සත්‍යය නැති බව පැහැදිලි කරගත යුතුය. මෙය මානව සහ සමාජ සංවර්ධනය සඳහා බලපාන ප්‍රබල ගැටලුවකි. පශ්චාත් සත්‍යය යුගයෙහි රාජ්‍යය බිඳ දමන්නේ ද රාජ්‍ය විසින්මය. ආයතන බිඳ දමන්නේ ද ආයතන විසින්මය. ඒ අසත්‍යය සහ ව්‍යාජත්වය පදනම් කර ගනිමිනි. පාලක පන්තියට ද එය තේරුම් ගැනීම අපහසු වනු ඇත.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here