පළාත් සභාව කිසිවකුට රස්සා හදන තැනක් නොවේ රාජ්‍ය අමැති විදුර වික්‍රමනායක

0
36

රටට බරක් නම් පවත්වාගෙන යෑම වැඩක් නෑ

පළාත් සභාව කිසිවකුට රස්සාවල් හදන තැනක් නොවිය යුතු බවත් රටට බරක් නම් පළාත් සභාව පවත්වාගෙන යාම වැඩක් නැති බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල කොටුව සංරක්ෂණ කටයුතු පරීක්ෂා කිරීමත්, කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමත් සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

කොටුවට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පළමුවෙන්ම ගාලු උරුමය පදනමේ කාර්යාලයේදී ගාලු උරුමය පදනමේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ, කොටුව සංරක්ෂණ ව්‍යාපෘතියේ සහ නගර සභා නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත් වූ අතර, ඉන් පසුව අමාත්‍යවරයා ගාලු කොටුවේ සංරක්ෂණ කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කළේය.

මෙහිදී මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේද කිය. පළාත් සභාව මේ රටට අවශ්‍යද නැද්ද කියා බැලිය යුතුයි. උතුරු නැඟෙනහිර ගැටලුවට දුන් පළාත් සභාවෙන් එම ප්‍රදේශයේ ජනතාව සතුටට පත් වුණාද? ගැටලුව විසඳුණාද? පළාත් සභාව ජනතා ප්‍රශ්න විසඳපු එකක් ද? අවුල් කරපු එකක් ද? පළාත් සභාව අනවශ්‍ය මුදල් නාස්තියක් ද? මේ පිළිබඳ පුළුල් කතිකාවක් අවශ්‍යයි. අනවශ්‍ය බර ජනතාවට පටවන්න බැහැ.

ඒ වගේ ආයනයක් පිහිටුවන විට නීති හදන්න බලයක් තිබිය යුතුයි. නීති හදන්න පුළුවන් පාර්ලිමේන්තුවට පමණයි. එහෙනම් නීති හදන්න බලයක් නැත්නම් වැඩක් නැහැ. මේවාට දුන්නේ මධ්‍යම රජයට තිබුණ බලතලයි. ආණ්ඩුවට ඒ බලතල පවරා ගන්න පුළුවනි. පළාත් පාලන ආයතන ශක්තිමත් කර ඒ බලතල දෙපැත්තට බෙදල දෙන්න පුළුවනි. එවිට පළාත් සභාවේ අවශ්‍යතාවක් තිබේ ද? කියා ගැටලුවක් තියෙනවා. රටට බරක් නම් නීති හදන්න බලයක්ද නැතිනම් පළාත් සභා පවත්වාගෙන යෑම වැඩක් නැහැ. ඒ වගේම කාටවත් රස්සාවල් හදන තැනක් නිර්මාණය කරන්නත් ඕනෑ නැහැ.

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ මාධ්‍යවේදින් විමසූ විට අමාත්‍යවරයා මෙසේ පැවසීය. දේශපාලන වශයෙන් යම් යම් අය ජනප්‍රියවීමට කටයුතු කරනවා. මිය යන අයට ගෞරවය දිය යුතුයි. ඒ වගේම ජීවත්ව සිටින ජනතාව දෙස බැලිය යුතුයි.

මේ ගැන අප මොනවද දන්නේ. අප විශේෂඥයන් නොවෙයි. රෝග කාරක ගැන අප මොනවද දන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදි තිරණ ගනිවි, යැයි කීවේය.

පොහොර නිෂ්පාදන හා කෘමි නාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක, ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ යන මහත්වරු ද අමැතිවරයා සමඟ මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.

එස් දීයගහගේ

දකුණු පළාත් සංචාරක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here