පොලිසිය මහජන මිත්‍රශීලි තැනක් බවට පත් කිරීම තමයි අපේ ඉලක්කය

    0
    8

    ජාතික පොලිස් කොමිසමේ  සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු

    අපේ රටේ මහජනතාවට,  ව්‍යවස්ථාදායකයට,  පොලිසියට දැනෙන්න යමක් කළ යුතුයි

    සුළු පැමිණිලි අංශයේ  නම පවා වෙනස් කරන්න වෙනවා

    සමහර අය පොලිසියට යන්න බයයි.  ගහයි… අවනම්බු  කරයි කියලා

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යභාරය, හා එහි වගකීම නිසි පරිදි ඉටුවන්නේ ද, ඒ සඳහා නව වැඩපිළිවෙළක් තිබේද, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සමඟ කළ සාකච්ඡාවකි.

    l ජාතික පොලිස් කොමිසමේ ආරම්භය පිළිබඳව පැහැදිලි කිරීමක් කළ හැකිද?

    ඔව්. අනූව දශකයේ අගභාගයේදී අපේ රට තුළ සමාජ දේශපාලන වාතාවරණය ඇතුළේ රාජ්‍ය පරිපාලනයට ස්වාධීන කොමිෂන් සභා කීහිපයක් බලගැන්විය යුතුයි කියන කතිකාවක් මතු වුණා. ඒ සමඟින් 2001 වසරේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 17 වැනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් පිහිටෙව්වා. ඒ අනුව 2002 නොවැම්බර් 25 වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාව ඇරඹුණා. 2002 පිහිටු වූ පොලිස් කොමිසමෙහි මුල්ම සභාපති ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරියයි. අනතුරුව 2006 වසරේදී ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය ද, 2015 වසරේදී සිරි හෙට්ටිගේ ද, 2017දී පී.එච්. මනතුංග සහ 2018 දී කේ. ඩබ්ලිව්.ඊ. කරලියැද්ද යන මහත්වරු පත් වුණා.

     

    l ජාතික පොලිස් කොමිෂන් සභාව ආරම්භ කිරීමේදී පැවරුණු වගකීම් මොනවා ද?

    පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලනයේදී එවකට සිටි පොලිස්පතිවරයාට පැවරී තිබූ රාජකාරි ගණනාවක් ඔහුගෙන් ඉවත් කොට කොමිසමට පැවරුණා. පොලිස්පතිවරයා විසින් සිදු කළ පත් කිරීම්, උසස්වීම්, මාරු කිරීම්, විනයානුකූල ක්‍රියාකිරීම් ඇතුළු තවත් පරිබාහිර කාර්යයන් රැසක්ම කොමිසමට පැවරුණා.

     

    l මේ අන්දමට ජාතික පොලිස් කොමිසමට බලතල පැවැරීම නිසා පොලිසියේ පරිපාලනය භාර ප්‍රධානියා හා කොමිසම අතර මත ගැටුම් ප්‍රශ්න ඇති වුණා නේ ද?

    ඔව්. නමුත් මේ අයුරින් ජාතික පොලිස් කොමිසමත්, පොලිස්පතිවරයා ප්‍රමුඛ පරිපාලන අංශයත් ගැටුමකට යෑම එතරම් හොඳ දෙයක් නොවෙයි. ඒ අනුව 2009 වසරේ දී සිදු වූ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවත වතාවක් පොලිසියේ පරිපාලනයේ වගකීම් පොලිස්පතිවරයාට පැවරුණා. පොලිස් කොමිසමට මහජන පැමිණිලි පිළිබඳව පමණක් කටයුතු කිරීමට සිදු වුණා.

     

    l is 2015දී සිදු වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූයේ කුමක් ද?‍

    එහිදී නැවත වතාවක් පොලිස්පතිවරයා සතු අභ්‍යන්තර බලතල ඇතුළු මහජන පැමිණිලි විභාගයන් ද පොලිස් කොමිසමට පැවරීම සිදු වුණා.

     

    l මේ ආකාරයට බලය අතකින් අතකට දෝලනය වෙමින් ගැටුම්, ප්‍රශ්න සමඟ ඉදිරියට ආ පොලිස් කොමිසමත්, පොලිසියේ පරිපාලනය භාර අයත් අතර, යම් එකඟතාවයක් ඇතිව ස්වාධීනව, නිදහස්ව මේ සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතුයි නේ ද?

    අනිවාර්යෙන්ම සිදු විය යුත්තේ එය තමයි. පසුගියදා බලගැන්වුණු 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවතත් පොලිස් සේවයේ අභ්‍යන්තර පරිපාලනයට අත පෙවීමට පොලිස් කොමිසමට තිබූ බලතල ඉවත් කළා. මහජන පැමිණිලි පිළිබඳව පමණක් කටයුතු කිරීමට කොමිසමට බලය පැවරී තිබෙනවා.

     

    l ඔබතුමා මේ කොමිස‍ෙම් හත්වැනි සභාපතිවරයා ලෙස පත්වීම් ලැබ තිබෙනවා. මේ අවස්ථාවේ ඔබට පැවරී ඇති වගකීම ඉතා ඉහළින්, සුවිශේෂී අයුරින් ඉටු කරයි කියා හැමෝම බලා සිටිනවා……

    ඇත්තටම පොලිසිය පිළිබඳ අත්දැකීම්ලත් පුද්ගලයකු සභාපතිවරයා ලෙස පත්වීම මම දකින්නෙ අත්‍යවශ්‍යම දෙයක් විදිහටයි. මේ තනතුරට පත්වුණේ දක්ෂ පරිපාලකයන්, නීතිඥයන් වැනි පිරිස්. එහෙත් අවාසනාවකට වගේ ඔවුන්ට පොලිසිය කියන ආයතනය පිළිබඳව නිශ්චිත අවබෝධයක් තිබුණේ නෑ.

     

    l එවැනි අවබෝධයක් නැති අවස්ථාවල සිදු වූයේ කුමක් ද?

    එවැනි විවිධ අවස්ථාවල පොලිස්පතිවරු සහ පොලිස් කොමිසම අතර ගැටුම් ඇති වුණා. හිටපු පොලිස්පති ඉන්ද්‍රා සිල්වාත් පොලිස් කොමිසමත් සමඟ විවෘතවම ගැටුමක් ඇති වුණා.

     

    l ඉන්පසුව පොලිස්පති ධුරයට පත්වුණේ ඔබයි. ඔබ එවැනි ගැටුමක් ඇති නොවීමට වගබලා ගත්තා ද?

    මම පොලිස්පති වූ මොහොතේත් විශාල බියක් ඇති වුණා. පොලිස් කොමිසමත් සමඟ වැඩ කිරීමේදී ගැටුම් ඇති කර ගැනීමට මටත් සිදුවෙයි කියා. එදා පොලිස් කොමිසමේ සභාපතිව සිටි මුල්ම සභාපති වූ ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතා හමුවීමට මම ගියා. හමුවෙලා මං කිව්වා, ඔබතුමා ළඟාවීමට තැත් කරන ඉලක්කයත් මා ළඟා වීමට තැත්කරන ඉලක්කයත් එකයි. ඒ නිසා මගේ අතින් යම් වරදක් වෙනවා නම් පෙන්වා දෙන්න කියා.

     

    l ඔබ සිතන විදිහට පොලිසියේ ඉහළ තනතුරක් දැරුවකු පොලිස් කොමිසමේ සභාපති ධුරයට පත් නොකළේ මන්ද?

    පොලිස් නිලධාරියකු සභාපතිවරයා ජාතික පොලිස් කොමිසමට පත් නොකළේ පොලිසියට පක්ෂපාතීව කටයුතු කරයි යන බිය නිසා විය හැකියි. හැබැයි ඒක වැරැදි මතයක්.

     

    l එය වැරදි යැයි ඔබට සිතිය හැකියි. එවැන්නක් සිදුවුණා නම් පොලිස් කොමිසමට ලැබෙන විශේෂ වාසි මොනවා ද?

    පොලිස් කොමිසමට පොලිස්පතිවරයකු හෝ පොලිස් නිලධාරියකු හෝ සභාපති ලෙස පත්කිරීමෙන් කොමිසමට වඩාත් පහසුවක් ලැබෙනවා. ඒ මොකද එම සභාපතිවරයාට පොලිසිය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබෙන නිසා.

    l දැන් එම අවස්ථාව ඔබට උදාවී තිබෙනවා. එම නිසා කොමිසමේ කටයුතු පොලිසියේ පරිපාලන කටයුතු ස්වාධීනව අපක්ෂපාතීව මහජන මිත්‍රශීලීව ඉදිරියට කරගෙන යෑමට හැකි යැයි ඔබට සහතික විය හැකි ද?

    ඒ අර්ථයෙන් ගත්තාම මගේ පත්වීම යම් ආකාරයක පර්යේෂණාත්මක තත්ත්වයක්. ඒ තත්ත්වය සාර්ථක වුණොත් ඉදිරියේදී පොලිස් කොමිසමට සභාපතිවරුන් ලෙස පොලිසිය පිළිබඳව අවබෝධයක් තිබෙන අයට පත්වීමට ලැබෙන ඉඩ ප්‍රස්ථාව වැඩි වෙනවා. ඒකට මගෙන් විශාල කර්තව්‍යයක් වෙන්න තියෙනවා. ඒ කාර්යය මම කරනවා. එය අනිවාර්යයෙන්ම මා කළ යුත්තක්.

     

    l මෙහිදි නව සභාපතිවරයා ලෙස ඔබ ඉදිරියට යන්නෙ කොහොම ද?

    මෙහිදි විශේෂයෙන් මම අපේ රටේ මහජනතාවට, ව්‍යවස්ථාදායකයට, පොලිසියට දැනෙන්න යමක් කළ යුතුයි. ඒ සෑම දෙයක්ම කළ යුත්තේ පොලිසිය මුල් කරගෙනයි. මහජනතාවයි පොලිසියයි යන දෙපාර්ශ්වය සමඟම සමඟි සම්පන්නව කටයුතු කරමින් දෙපාර්ශවයේම ප්‍රශ්නයන්ට විසඳුම් දෙන මැදිහත්කරුවකු වෙමින් සභාපතිවරයා ලෙස මම කටයුතු කළ යුතුයි.

     

    l මහජන පැමිණිලි පිළිබඳව වැඩි අවධානයක් යොමු කර කටයුතු කිරීමට ඔබතුමා සූදානම් ද?

    ඔව්. මෙහිදි අප බලාපොරොත්තු වන්නේ මහජන පැමිණිලි විමර්ශනය කිරීමට පමණක් නොවේ. විශේෂයෙන් පොලිසියේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවල මහජනතාවට සිදුවන ප්‍රමාදයන් පිළිබඳව අප කොමිසමට පැමිණිලි ගලා එනවා. ඒ වගේම පොලිසියට මහජන පැමිණිලි නිතරම එනවා. ජාතික පොලිස් කොමිසම වශයෙන් අපි පොලිසියට එරෙහිව ඉදිරිපත් වන මහජන පැමිණිලි විමර්ශනය කිරීම වගේම පොලිසිය වෙත ගලා එන මහජන පැමිණිලි වැළැක්වීමටත් ක්‍රියා කරනවා.

     

    l ඊට අමතරව විශේෂ රාජකාරියක් ඉටුකිරීමට බලාපොරොත්තුවක් නැද්ද?

    අපි තවත් සේවා ඉටුකිරීමට සූදානම්. එහිදි පොලිසියට යම් උපදෙසක් අවශ්‍ය වුව හොත් එය සපයා දීමටත්, පොලිසියේ පරිපාලනයේදී මතුවන ගැටලුවලට යම් විසඳුමක් දීමටත් අපි කිසිම බැඳීමකින් තොරව සහාය දෙන්නත් ඉදිරිපත් වෙනවා. එසේම අපට අවශ්‍ය නන් විධ පැමිණිලි සඳහා හෝ සේවයක් ගැනීමට පොලිසියට පැමිණෙන මහජනයාට හෝ පොලිස් දෙපාර්තමේන්තුවට හෝ මිත්‍රශීලිව මෙන්ම සුහදශීලී සේවාවක් සපයන ස්ථානයක් බවට ජාතික පොලිස් කොමිසම පත් කිරීමයි.

     

    l වර්තමානයේ මහජනතාව පොලිසිය ප්‍රියතාවක් නැති ස්ථානයක් ලෙස සලකනවා නේ ද?

    මෙහෙමයි. සමහර අය පොලිසියට යන්න බයයි. ගහයි… අවනම්බු කරයි කියා. කාන්තාවක් නම් පොලිසියට යන්න කැමැත්තක් දක්වන්නේම නැත්තෙ අහන ප්‍රශ්න නිසා. එවැනි තත්ත්වයන්ට විසඳුම් සෙවීමට මම සැලැසුම් හදනවා.

     

    l අද වන විට ළමා හා කාන්තා කාර්යාංශයේ ක්‍රියාකාරකම් පෙරට වඩා ඉදිරියට පැමිණ තිබෙනවා. එය වඩාත් ප්‍රගතිශීලී ක්‍රියාදාමයක් නමුත්! තවමත් අපේ රටේ ළමයින්ට, කාන්තාවන්ට අත්විඳීමට සිදු වන විවිධ අකරතැබ්බ. තාඩන පීඩන අඩුවී නැහැ. මේ තත්ත්වයන් වැළැක්වීමට ඔබ ක්‍රියා කරන්නේ කොහොම ද?

    කුඩා ළමයින් පිළිබඳව විශාල ගැටලු තියෙනවා. ළමයා කියන කෙනාව විවිධ අණ පනත් ඔස්සේ විවිධ වයස් කාණ්ඩයන්ගෙන් වර්ග කර තිබෙනවා. අපේ බලාපොරොත්තුව ළමා කාර්යාංශය හා එක්ව ළමයා පිළිබඳව එකම නිර්වචනයකට ඒමටයි. එසේම ළමයා අපරාධ වින්දිතයෙක් සේම අපරාධකරුවෙක් වුව හොත් වැඩිහිටි අපරාධකාරයන්ට වඩා වෙනස් පටිපාටියකින් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

     

    l බොහෝ දෙනෙක් පොලිසියේ සේවය ගැනීම සඳහා පැමිණීමට මැළිකමක් දක්වනවා. පොලිසියෙන් ඉටු වන සේවාව ගැන ජනතාවගේ සිත්වල තෘප්තියක් නැහැ. එම තත්ත්වයෙන් පොලිසිය මුදා ගත යුතුයි නේ ද?

    පොලිසිය කියන්නෙ නිකම්ම වැටුපක් ගෙන රැකියාවක් කරන තැනකට. එය සේවාවක් සපයන වෘත්තියක් බව පොලිස් දෙපාර්තමේන්තු‍වේ සේවය කරන හැමෝම තේරුම් ගත යුතුයි. ඉපදුණු දවසේ සිට මරණය දක්වා හැමෝටම අවශ්‍ය සේවය සපයන ආයතනයක් ලෙස පොලිසිය නම් කළ හැකියි. අපි ඒ ගෞරවනීය සේවා ස්ථානය මහජන මිත්‍රශීලී තැනක් බවට නැවත පත් කළ යුතුයි. එය අභියෝගයක්. එය ජය ගැනීම තමා අපගේ ඉලක්කය

     

    l පොලිසියට වැඩිපුරම මහජනයා පැමිණෙන සුවිශේෂම අංශයක් වන්නෙ සුළු පැමිණිලි අංශයයි. මෙහි යම් වැඩි දියුණුවක් කළ යුතුයි නේ ද?

    ඔබ කිව්වා හරි. පොලිසියට වැඩිපුරම පැමිණෙන මහජනතාව පළමුව යොමු කරන්නෙ සුළු පැමිණිලි අංශයටයි. සුළු පැමිණිලි අංශය කියා කියූ සැණින් එහි ස්වභාවය පහළ යනවා. මේ නිසා මම නම් සිතන්නෙ සුළු පැමිණිලි අංශයේ නම පවා වෙනස් කළ යුතුයි. අද වන විට ඒ සඳහා විවිධ පැමිණිලි අංශය යැයි කියනවා. එහෙත් එයට ගැළපෙන නම නම් මහජන පැමිණිලි අංශය බවයි මගේ හැඟීම. අපි මෙහිදි කිසිම පැමිණිල්ලක් සුළු කොට නොතකා ජනතාවගේ ප්‍රශ්නයට ගැටලුවට විසඳුමක් දීමට මැදිහත් විය යුතුයි.

     

    l මෙවැනි සංශෝධන සිදු කිරීමට ඔබ කඩිනමින් ක්‍රියා කරනවා ද?

    ඔව්. මෙම අංශයේ නම පවා වෙනස් කරමින් මහජන පැමිණිලි අංශය ලෙස එය වෙනස් කිරීමට අප කටයුතු කරනවා. එපමණකින් නොනැවතී එම අංශයට සුදුසුකම්ලත් අත්දැකීම් බහුල මනා දැනුමකින් යුත් නිලධාරීන් රාජකාරියට යෙදවීමට පවා ඉදිරියේදී උපදෙස් දෙනවා. එම අංශයට පොලිසියේදී ප්‍රමුඛස්ථානයක් දීමට කටයුතු කරනවා.

     

    l මේ වසරේ ගත වූ මාස 11ක කාලය තුළ පොලිස් කොමිසමේ කටයුතු පිළිබඳව යමක් කිව හැකිද?

    මේ වසරේ ගෙවුණු මාස 11ක කාලය තුළදී පෙර පැවැති පොලිස් කොමිෂන් සභාවට ප්‍රමුඛතාව දිය යුතු මහජන පැමිණිලි 2095ක් ලැබී තිබුණා. ඉන් පැමිණිලි 1057ක් විභාග කොට අවසන් කිරීමට ද එම පොලිස් කොමිසමට හැකි වී තිබුණා.

     

    l ප්‍රධාන වශයෙන් කොමිසමට ලැබී තිබූ මහජන පැමිණිලිවල ස්වභාවය කුමනාකාරද?

    එලෙස කොමිසමට ලැබී තිබූ මහජන පැමිණිලි අතර සියයට 37.14ක් පොලිසිය විසින් පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීමත්, සියයට 24.01ක් පොලිසිය බලය අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙනුත් වුණා. සියයට 19.28ක් පොලිසිය පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම බව අවධාරණය කර තිබුණා.

     

    l මෙවැනි තත්ත්වයන්ගෙන් පොලිසිය බේරා ගැනීමට ඔබ සූදානම් ද?

    පොලිසියෙන් සිදු වන මේ වගේ අකටයුතු දේටයි අපි ප්‍රතිකාර කළ යුත්තේ. ඒ දේවලට ප්‍රතිකාර කිරීමට අපි පොලිසියට සහාය විය යුතුයි. ඒ සඳහා පොලිස් නිලධාරීන්ට නිසි පුහුණුව දිය යුතුයි. ඒ සඳහා දේශීය පමණක් නොව විදේශීය පුහුණුවක් ද දීමට තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කිරීමට පොලිස් කොමිසම ඉදිරියේදී මැදිහත් වෙනවා.

     

    l ඔබතුමාගේ නායකත්වයෙන් ඉදිරියට ජාතික පොලිස් කොමිසම ජනතාවට කුමනාකාරයේ සේවාවක් සපයා දීමට සැලසුම් කොට තිබෙනවා ද?

    බැසිල් රාජපක්ෂයන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “ගම සමඟ පිළිසඳර වැඩ සමඟ යළි ගමට” වැඩසටහනට සමගාමීව පොලිසියට ලැබෙන මහජන පැමිණිලි අඩු කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී මුලින්ම අදාළ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිව දැනුම්වත් කරනවා. ඔහු හරහා පිළිවෙළින් සෙසු පහළ නිලධාරීන්ව දැනුම්වත් කරනවා. අපි දැනුවත් කරන්නෙ නියෝජ්‍ය පොලිස්පති පමණයි. එදිනම අපි ඉදිරියේදීම‍ පොලිස් නිලධාරීන් විසින්ම පිළිවෙළින් පහළ නිලධාරීන් දැනුම්වත් කළ යුතුයි. ඉන් පසුව අත් පත්‍රිකා මඟින් මහජනයා දැනුම්වත් කරනවා. ඒ වගේම පන්සල්, පල්ලි, කෝවිල්වල දායකයන් සමඟ මහජනයාට තිබෙන ප්‍රශ්න කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපි නෙවෙයි කතා කරන්නෙ. අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයායි. මෙහිදි මහජනතාවගේ පැමිණිලි අවම කිරීමට සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ආගමික නායකයින්ගේ ප්‍රජා නායකයන්ගේ සහය ගනිමින් ග්‍රාමීය කමිටු පිහිටුවා නීතිය හා සාමය රැක ගැනීමට ගම් මට්ටමේ වැඩපිළිවෙළක් යෙදීමට බලාපොරොත්තු වෙනවා. මෙය වචනයට පමණක් සීමා නොකොට ක්‍රියාවක් බවට පත්කිරීම තුළින් සාමකාමී සතුට පිරි සමාජයක්, ගමක්, නගරයක් බිහිකිරීමට හැකි වන බවට සැකයක් නැහැ.

    ඒ සමඟ ගමේ ජනතාව පොලිසිය හා එකට එක්ව කටයුතු කරන ආකාරයේ නව වැඩපිළිවෙළක් අප විධිමත්ව ආරම්භ කරනවා. මෙය ගමේ ආරක්ෂාව විනය, සදාචාරය රැක ගැනීමට හැකි වැඩපිළිවෙළක් බවට පත්කරනවා. ඒ තුළ රටේ සමාජයේ නීතියේ අධිපත්‍යය, සාමය ආරක්ෂා කර ගන්න පුළුවන්කම ඇති කරනවා.

    ජයසිරි මුණසිංහ

    ඡායාරූප – රොෂාන් පිටිපන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here