බවුන් වඩන සඟරුවනගේ තෝතැන්න වතුරවිල වන සෙනසුන

    0
    4

    ගාල්ල වතුරුවිල ශ්‍යාමෝපාලි නිකායේ වනවාසී පාර්ශ්වයේ මූලස්ථානය වන වතුරවිල ආරණ්‍ය සේනාසනය ඉමහත් ගෞරවයට පාත්‍රව ඇති පූජනීය පුණ්‍ය භූමියකි. ඇල්පිටිය නගරයේ සිට පිටුවල කහදූව වතුරවිල යන ගම් පසුකරමින් තිබ්බොටුවාව ගම් පියසට පැමිණි පසු යථෝක්ත වන සෙනසුන හමුවේ.

    මහ වන මැද මනස්කාන්ත දසුන්වලින් සමන්විත නිහඩ පරිසරයක පිහිටා ඇති මෙම ස්ථානය බවුන් වඩන වනවාසී භික්ෂූන් වහන්සේලාට සුවිශේෂී ආගමික ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

    දර්ශනීය තොරණකින් සහ සිසිල් තුරු සෙවනින් යුත් ශාන්ත රමණීය තපෝ භූමියට පිවිසෙත්ම ඉදිරියෙන් ඇත්තේ පියගැට පෙළකි. එම පිය ගැටපෙළ පසු කරමින් තුරු ලතා අතරින් මඳ දුරක් ගියවිට සෙනසුන් බිමට පැමිණිය හැකිය.

    වතුරවිල ආරණ්‍යවාසී සේනාසනය ආරම්භ කරනු ලැබුවේ බෝධිසත්ව ගුණෝපේත වතුරවිල ශ්‍රී ඤානාන්දාභිධාන වනවාසී මහා නාහිමියන් විසින් 1953 වර්ෂයේදීය. උන්වහන්සේ ඉතාමත් දුෂ්කර කම්කටොළු මධ්‍යයේ රුදුරු වන සතුන්ගෙන් පිරි මහ වනයේ වතුරවිල ගුලන කන්ද පාමුල පිහිටි ගල් ලෙනක් සිය කුටිය කරගනිමින් වනවාසී භික්ෂූන් වහන්සේ නමක් ලෙස සිය භාවනා කටයුතු ආරම්භ කරනු ලැබුවේ සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකා ධරණී තලයේ ස්ථාපනය කිරීම පිණිස මෙන්ම මහා කාශ්‍යප හිමිපාණන්ගෙන් පසුව වනවාසී සඟ පරපුර යළි දිවයිනේ ස්ථාපනය කිරීමේ පවිත්‍ර අභිලාසයෙනි.

    උන්වහන්සේ තුළ තිබූ අධිෂ්ඨාන මහිමයෙන් වතුරවිල වනවාසී භික්ෂූන් වහන්සේලාගේ සංඝ මූලස්ථානය බවට මෙම ස්ථානය පත්විය. අනතුරුව ක්‍රමයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල වනවාසී භික්ෂූන් වහන්සේලා මෙන්ම ආරණ්‍ය සේනාසන 156ක් පමණ මේ වනවිට ස්ථාපිතව පවතින අතර ඒවායේ වැඩ වෙසෙන අල්පේච්ඡ ජීවිත ගතකරන සංඝයා වහන්සේලා විසින් ඒ ඒ ප්‍රදේශවල බෞද්ධ ජනතාවට ආගමික සේවාවන් කරනු ඇත.

    මෙම වනවාසී සංඝ මූලස්ථානය බිහි කළ අති පූජ්‍ය වතුරවිල ඤාණානන්ද මහා නාහිමියන් 1953 වසරේ සිට උන්වහන්සේ අපවත්වීම දක්වා වසර 33 ක කාලයක් මෙම පින් බිම ආරණ්‍යයක් ලෙස අවශ්‍ය බුද්ධ මන්දිරය, ධාතු මන්දිරය, ධර්ම ශාලාව, බෝධීන් වහන්සේ, චෛත්‍යය, උපෝසථාගාරය, භික්ෂූන් වහන්සේලා සඳහා කුටි, භාවනා කුටි, සක්මන් මළු, පිරිවෙන, දාන ශාලාව, විශ්‍රාම ශාලාව වැනි ගොඩනැඟිලිවලින් පරිපූර්ණ කිරීමට සමත් විය. මෙම ගොඩනැඟිලි පිං බිමට දායාද කරනු ලැබුවේ වසර 60 ක කාලයක් තිස්සේ මෙම පුද බිම වන්දනා කිරීමට හා දානමාන ආදී කටයුතු සඳහා පැමිණි බැතිමතුන් විසිනි.

    වර්තමානයේ මෙම ආරණ්‍ය සේනාසනයේ සංඝ මූලස්ථානාධිපති පදවිය උසුලනු ලබන්නේ වනවාසී නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී සංඝ මූලස්ථානාධිපති අති ගෞරවනීය මහකන්දේ රතනාලාභිධාන නායක නාහිමියන් වහන්සේ විසිනි.

    උන්වහන්සේගේ සසුන් මෙහෙවර තුළදී ද වනවාසී සංඝ මූලස්ථානයටත් නිකායටත් අනුස්මරණීය සේවයක් මේ වන විටත් සිදුවී හමාරය.

    වනවාසී භික්ෂූ ප්‍රතිපදාව ආරක්ෂා වන පරිදි ලියාපදිංචියකින් තොරව වනවාසි පිරිවෙන පවත්වාගෙන යෑම සඳහා හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැති රිචඩ් පතිරණ මහතාගේ සහයෝගය මත කොන්දේසි විරහිතව වසරකට රුපියල් ලක්ෂ 05ක මුදලක් රජයෙන් ලබා ගැනීමට හැකි වී ඇත. සෙනසුනට ඇතුළු වන ස්ථානයේදීම දකුණු පැත්තෙන් තිබෙන තෙමහල් විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල ද රුපියල් ලක්ෂ 28ක් වැය කොට මූලස්ථානාධිපති හිමියන්ගේ උපදෙස් මත ඉදිකර ඇත.

    එසේම මෙම සෙනසුනට ඉතාමත් අලංකාරවත් ගාම්භීරත්වය කියා පාන කායෝත්සර්ග අභය මුද්‍රාව පිළිඹිබු වන අඩි 42ක් උසැති දැවැන්ත ශෛලමය හිටි පිළිමයක් උන්වහන්සේගේ මඟ පෙන්වීම හා උපදෙස් මත සිදුකර ඇත.

    මෙම බුද්ධ ප්‍රතිමාව පිළිබඳ අති පූජ්‍ය මහකන්දේ රතනපාල නාහිමියෝ මෙසේ පැවසූහ. “මෙම ගල් පර්වතය අඩි 30ක් පමණ ඇතුළට කඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළා. අඩි 42ක් පමණ උස මෙම ශෛලමය පිළිම වහන්සේ අසල මල් ආසනය නෙළුම් මල නිර්මාණය කිරීම විශේෂ දෙයක්. ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට සලපතළ මළු 02ක් රජ දවස මෙන් කොරවක් ගල්, සඳකඩ පහණක්, පඩි පෙළවල්, පුන්කලස්, ස්ථම්භ ආදී සියලු දේ කළු ගලින් නෙළා තිබෙනවා. ප්‍රතිමා වහන්සේ ඉදිරිපස පිහිටි ගල් පර්වතය බුදුරජාණන් වහන්සේගේ දකුණු පතුල අඩි 06 ක් දිග අඩි 03 ක් පළලට කළු ගලින් නෙළා තිබෙනවා. ඒ අසල ගලක් මත සොලොස්මහේ ශෛලමය පහණක් නිර්මාණය කළා. තව ශෛලමය ප්‍රාකාර 05 ක් විශාල කළුගල් යොදා සකස් කළා. චෛත්‍ය මළුවේ සිට අඩි 55ක් පමණ ගමන් කර ප්‍රථම මළුවට පැමිණීමට හැකියි. ඒ අතර සිංහ රූප 2ක්, ගජසිංහ රූප 02 ක් යාපහුවේ සිංහ රූපයක් නිර්මාණය කර තිබෙනවා.”

    සෙනසුනේ වාසය කරන වනවාසී භික්ෂූන් වහන්සේලාට දන් පිරිනැමීම සඳහා වසරේ දින 365 සඳහාම දිවයිනේ නන් දෙසින් දායකයින් සම්බන්ධ වී තිබේ. මෙම සෙනසුනේ තවත් විශේෂත්වයක් වනුයේ ශ්‍රී ඤානානන්ද නාහිමියන් මුලින්ම වැඩ විසූ ගල් ගුහාව සංරක්ෂණය කර තිබීමය. එම ගුහාව තුළ උන්වහන්සේ ජීවමානව සිටින අයුරු පිළිමයක් ඉදිකර ඇති අතර උන්වහන්සේ සැතපුන ගල් ඇඳ ද දක්නට ඇත.

    එසේම වතුරවිල සංඝ මූලස්ථානය ආරම්භ වීමට ප්‍රථම මෙම දැනට මෙම සෙනසුන අධීක්ෂණය යටතේ තිබෙන ගාල්ල දිස්ත්‍රික්කයට නුදුරු මදුනාගල සෙනසුන ගැන ද යමක් සඳහන් කළ යුතුමය. 1946 වර්ෂයේ දී ගිහි වාසයක් නැති අලි කොටි වග වලසුන්ගෙන් ගහන මෙම ස්ථානය භික්ෂු පරිභෝජනයට සුදුසු ආරණ්‍යයක් බවට පත්කිරීමට වතුරවිල මහා නායක හිමියන්ට හැකිවිය. එසේම දැනට මදුනාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උපුල්වල ශාසන සුමන ස්වාමීන් වහන්සේගේ කැපවීමෙන් රුපියල් ලක්ෂ 20 ක් පමණ මුදලක් වැය කර අභිනවයෙන් ඉදි කළ ධාතු මන්දිරය වතුරවිල සෙනසුනට යන එන ඕනෑම බැතිමතකුට වැඳ පුදා ගැනීමට අවස්ථාව හිමිව ඇත.

    මෙවන් පුදබිමක් පිහිටීම ගාල්ල දිස්ත්‍රික්කයට අභිමානයක් වන බැවින් එම පුදබිම රැකබලා ගැනීම හා දියුණු කිරීම සමස්ත බෞද්ධ ජනතාවගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන බැවින් අනාගත පරපුරට මෙම පුදබිම රැක දීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ලැබිය යුතු වන්නේය.

     

    ප්‍රභාත් විතානාච්චි

    දකුණු පළාත් විශේෂ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here