මඩුවන්ගේ පියාසැරිය

    0
    10

    විද්‍යා ප්‍රබන්ධය

    එක්තරා තරුවක් වටා පරිභ්‍රමණය වන ග්‍රහලෝක කිහිපයක් තිබුණා. ඉන් එකක්, හරියටම කිව්වොත් තුන්වැනි එක, සුදු පාටයි. අඳුරු සුදු පාට නිරන්තර හිම කුණාටුවෙන් වැසුණු එකක්. කාටවත් හිතාගන්න අමාරුයි, මාස කිහිපයක්, විශ්වීය මානයන් එක්ක බලද්දි ක්ෂණයක් වගේ කාලයක දී නිල් පාට ලෝකයක් සුදු පාටින් වැහිලා ගිය හැටි.

    මේ හිම සහ වලාවෙන් නිර්මිත වායු තටාකයේ ඉස්ගෙඩි වගේ පුංචි සත්තු වර්ගයක් ජීවත් වුණා. කිමිදි කිමිදී, ගොඩක් වෙලාවට එකම තැන මළාක් වගේ වැතිරිලා. මඩුවන්ගේ තටාකය, ඒ ලෝකය එහෙම හඳුන්වන එක තමා වඩා නිවැ‍රැදි. හිමෙන් වැසුණු පාෂාණ පෘෂ්ඨය නිකම්ම නිකම් තටාකයේ පතුල විතරයි. ලෝකය කියන්නේ මේ ශීතල වා සමුද්‍රයට.

    ආගමනයේ ඉඳලම උන් ළඟ තිබුණේ අමුතු කුසීතකමක්. එවක ලෝකේ කිසිම බලවේගයකට හැකියාවක් තිබුණේ නෑ, මඩුවෙක් කූද්දන්න, යාන්තම්වත් ප්‍රතිචාරයක් ගන්න. උන් ඔහේ පියෑඹුවා, එච්චරයි. උන් තාම පියාඹනවා. උන්ගේ සමුද්‍රයේ කිමිදෙනවා. ඒ වගේ උදාසීනකමක්!

    හිතන්න. අන්න එහෙම තනියම ගන වලාවක් අතරින් පාවෙලා යන මඩුවෙක් තිගැස්සිලා හැරෙන්න, හැරිලා ගමන වෙනස් කරන්න, සුපුරුදු ගමන තරමක් වේගවත් කරන්න පුළුවන් මොන වගේ බලවේගයකට ද? දෙවියන්ගේ ප්‍රාතිහාර්යයක්වත් වුණොත්?

    නෑ. රූපට් ජයසිංහ තිගැස්සිලා නින්දෙන් ඇහැරුණා. ඒ වේගෙන්ම ඇක්සලේටරයට කකුල තිබ්බා. හිම විදගෙන වාහනේ වේගෙට පැන්නා. මඩුවො හැරිල බැලුවා.

    වාහනේ වේගෙට කැට් පෙරළිලා ගිහින් අසුනක යකඩ බාර් එකක හැප්පුණා. ඇයට කෑ ගැස්සුණා. ඒ එක්කම අතින් කට වහගත්තා. ඇහුණවත් ද?

    එහෙම නැතුව ඇති. මොකද වාහනේ වේගය අඩු වුණේ නෑ. ගැස්සිලි පැද්දිලි වැඩියි. සමහර විට පාරෙන් පිට කොහේ හරි යනවා වෙන්න පුළුවන්. මේ සන්නාමයක් හරි හැටි කියාගන්න නොහැකි වන තරමට එකලස් කරපු SUV එකක් වගේ රථය තව මොහොතකින් කැඩී බිඳී යන්නට ඉඩ තියෙන බව කැට්ට නොහැඟුණා නෙවෙයි.

    කිසිම හේතුවක් නැතුව ආයෙත් වාහනේ ස්ථාවර, නමුත් වේගවත් ගමනක් පටන් ගත්තා. ප්ලාස්කුවේ ඉතිරි වෙලා තිබුණු තේ උගුරට හලාගන්න ගමන් ඇය ඔළුව උස්සලා බැලුවා. තාමත් ජනේලෙන් පේන්නේ ගස්. ඒත් හිම බිඳගෙන යකා නටන එංජිමේ සද්දෙට අමතරව ටිකෙන් ටික ගැම්ම ගන්න පහත් හ්ම්ම් හඬ ඇයට වෙන්කර හඳුනාගන්න පුළුවන්.

    රූපට් පැති කණ්ණාඩියෙන් බලාගෙන හිටියා.

    හිම තලය හූරගෙන එන යකඩ තිත පසුබිම් කරගත් වලා දුමාරය කැලතෙන්න ගත්තා. ඡායාවක් වගේ වලා තුනී තැන් අතරින් මතු වෙවී අතුරුදන් වෙන්න ගත්තා. මඩුවෙක්! යෝධ සෙවනැල්ලක්. වාහනයට ඉහළ අහසේ කිමිදෙමින්.

    වේලාව? තව පැය බාගෙකට අඩුයි. රූපට් ඇක්සලරේටරය තද කළා. වේගය පැයට කිලෝමීටර් 102යි. නෑ තවම නෑ. මේ හිමේ ඒ තරම් වේගයක් කොහොම ද?

    ඉදිරියෙන් වාතය කැලතෙන්න අරගෙන. ඒකාකාරීව ඇද වැටෙමින් තිබුණු හිම කැරකෙන්න අරගෙන. කැට් ජනෙල් වීදුරුවෙන් අහස පේන තරමට වාහනේ බඳට තද වුණා. ඇයට විශ්වාසයි ඒ එක මඩුවෙක් නොවන බව.

    අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඒ වන විට කිසිවෙකු හෝ ජීවතුන් අතර සිටියා නම් දැකගන්න ඉඩ තිබුණා, ඉන්දීය සාගරයට ඉහළින් පණ ගහගෙන එන දැවැන්ත කුණාටුව. ඒ කුණාටුවෙ ඇහැ තිබුණේ හරියටම ලංකාවට ඉහළින්.

    මඩුවො පියාසරන්න අරගෙන. රිද්මෙට. වාමාවර්ත පථයක, කෙමෙන් කෙමෙන් කේන්ද්‍රය දිහාට ළං වෙමින්.

    හිම පොරවගෙන මිය ඇදිලා හිටිය දැවැන්ත ගස් ඇටසැකිලි සුළඟට ගැස්සිලා දෙදරලා කිරි කිරි ගෑවා. මුලින්ම අතු රිකිල්ලක් දෙකක් කුණාටුවට දීලා බැලුවා, ඊළඟට අත්තක් දෙකක්. අන්තිමට මුලෙන් ම ගැලවිලා අහසට නැඟුණා.

    කැට් දැනගෙන හිටියේ නෑ ඉදිරියෙන් නැගෙන ගෙරවුම මොකද්ද කියල. හැබැයි එක දෙයක් විශ්වාසයි, මේ මනුස්ස ලෝකෙන් අවසන් වන ගමනක් නොවන බව. යකඩ කඳක් අල්ලගෙන ඉන්න, වාහනය හෝ දෛවය ඔබ රැගෙන යාවි.

    වාහනය මතට ඇද වැටෙන හිම කැටවලින් බර වුණ සුළං පහර භයානක බව හිතෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට කිලෝමීටර් කිහිපයක් ඉදිරියෙන් ලෝකය ඒ වචනවල විස්තර කිරීමේ හැකියාවෙන් එහාට ගිහින්. සුක්කානමට බර වෙලා ඉදිරි ක්ෂිතිජය දිහා බලන රූපට් දැක්කා, අහස යාන්තම් එළිය වේ‍ෙගන එන බව. ඒ වගේ ම ක්ෂිතිජය පුරා වලාකුළු ඇඹරෙමින් ගොඩගැහෙන බව. ඒ අතර බිම කැරකෙන හිම, අතු, ගස්, තහඩු, ලෑලි, එකින් එක. හරියට තමන්ගේ රංගනය ඉදිරිපත් කර යන්නට යන නළුවන් පිරිසක් වගේ.

    කැට් සියලු කලබල අස්සේ තමන්ගේ අත දිහා බැලුවා. හිරිගඬු පිපිලා. සීතලට ද බයට ද? ඇය කොණ්ඩේ අතගාලා බැලුවා. කොණ්ඩේ අමුතුයි. කොණ්ඩේ අල්ලන්න හදනකොට යාන්තමට ප්‍රතික්ෂේප කරනවා. ස්ථිති විද්‍යුත් ආරෝපණ! ප්ලාස්ටික් කැබැල්ලක් රෙදි කැබැල්ලකින් ඇතිල්ලුවම වෙන දේ. ඒත් ඇතිල්ලෙන්නේ මොනව ද? කොහොම ද?

    රූපට් දැක්කා ක්ෂිතිජයේ ඇඹරෙන වලා ගුල්මයේ ඡායාව එක පාරම නිලෙන් බබළනවා. අකුණු!

    ඔහු වේග මානය දිහා බැලුවා. පැයට කිලෝමීටර් හැත්තෑව පන්නන කටුව. මේ එරෙන හිමේ?

    රූපට් පාර දිහා බැලුවා. පාර වහගත්ත හිම ටික ටික තුනී වේගන යනවා. කුණාටුව හිම හූරගෙන අහසට වීසි කර කර යනවා.

    වැඩි වේලාවක් ඉතිරි වෙලා නෑ. ඔහු ඇක්සලේටරය අතෑරියේ නෑ.

    කැට් වීදුරුවෙන් යාන්තමට පේන අහස දිහා බලාගෙන හිටියා. ඒකාකාර රිද්මයට චලනය වන ඡායා. මඩුවෝ. උන් පියාසරන්න අරගෙන. උන් වටේ වාතයත් ඇදගෙන. එකෙක් නෙවෙයි දහස් ගණන්.

    රූපට් ආයෙ ආයෙත් කළා. ඔහු හිතපු විදිය හරි. ඔහු හිතන්න ගත්තේ මඩුවො මේ කියන්න හදන්නේ මොනවද කියන තැනින්. උන් දැන් පාර පෙන්නන්නවා කොහෙට හරි. හිතාගන්න බෑ හරියට. ඒත් සැකයක් නෑ. වේගය පැයට කිලෝමීටර් 102යි. ඔවුන් මාර්ගය පිරිසිදු කරනවා. හිම අඩු වෙන්න, අඩු වෙන්න වේගය වැඩිවෙනවා. ඒත් මඩුවෝ මේ කියන්න හදන්නේ මොනව ද?

     

    මතු සම්බන්ධයි

     

    තාරක කල්දේරා

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here