මහවැලිය ආරම්භ වී දශක පහක් ගත වූවත් අපේක්ෂිත අරමුණු ලැබී නෑ රාජ්‍ය අැමැති සිරිපාල ගම්ලත්

0
44

මහවැලිය ආරම්භ වී දශක පහක් ගත වී ඇතත් එහි අපේක්ෂිත අරමුණු ළඟා කර ගැනීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව අක­ැමැත්තෙන් හෝ පිළිගත යුතුව ඇතැයි, මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, සිරිපාල ගම්ලත් මහතා පවසයි.

රටේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක් මහවැලි කලාප දහයට අයත් වූව ද, එහි නිසි ප්‍රයෝජන රටට ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සිරිපාල ගම්ලත් මහතා මේ බව කියා සිටියේ පසුගියදා (31) අම්පාර මහවැලි රඹකැන් ඔය සහ මහවැලි ඊ යන කලාප දෙකට අයත් නිලධාරීන් කැඳවා පැවැති විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගි වෙමිනි.

මහඔය මහවැලි පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති මෙම වැඩසටහන ආරම්භ කරමින් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා,

”කොවිඩ්-19 වසන්ගතය නිසා ලෝකය වගේම ශ්‍රී ලාංකික අපිත් අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. දැන් අපට සිදුවෙලා තිබෙනවා මේ වසන්ගතය සමඟ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න. අනාගතයේ විශාල ආහාර හිඟයකට ලෝකයම මුහුණ දීමට සූදානම් වී සිටිනවා. අපටද එහි බලපෑම නිරන්තරයෙන් එල්ල වෙනවා. අපි රජයක් ලෙස ඊට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහවැලි කලාප දහය වැඩ බිමක් බවට පත් කිරීම අපගේ අභිලාෂය වී තිබෙනවා පමණක් නොව ඒ සඳහා අවශ්‍ය ඉලක්ක වෙත ගමන් කරමින් සිටිනවා.

මහවැලි ව්‍යාපාරය ආරම්භ වෙලා වසර පනහක් ගත වී තිබෙනවා. ඒත් මහවැලි ජනපදිකයන් ගේ බොහොමයක් ජීවිත වර්ණවත් වී නොමැති බව නොරහසක්. එපමණක් ද නොවෙයි, එහි අයහපත් බලපෑම හමුවේ මහවැලි ව්‍යාපාරය තුළින් රට අපේක්ෂා කළ ඉලක්ක වෙත ගමන් ගැනීමට ද අසීරු වී තිබෙනවා.

මහවැලි සේවකයන් විදිහට ඔබ ද ඊට වගකිව යුතුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මට වගකීමක් පවරා තිබෙනවා. ඒ මහවැලි ජනපදිකයන් ගේ ජීවිත නඟා සිටුවීම අතර තුර, ජාතික වශයෙන් ද මහවැලි කලාප තුළින් අවශ්‍ය දායකත්වය ලබා දීම. 2021 වසර උදාව සමඟ අපි අලුත් ඉලක්ක වෙත ගමන් ගැනීම අත්‍යාවශ්‍ය යි. ඔබ හෙට ම, මහවැලි ගොවි ජනතාව ගේ දෙපා ළඟට ගොස් ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සංවේදීව අවධානය යොමුකළ යුතුයි. බහුතරයක් වන ගොවි ජනතාවට, ඉලක්කයක් ලබා දිය යුතුයි. කෘෂිකර්මාන්තය තුළින් වැඩි අස්වැන්නක් ලබා ගන්නේ කොහොමද යන්න ඔවුන් දැනුවත් කළ යුතුයි. වතුර ටික, පොහොර ටික, ඉඩම රජයෙන් දෙනවනම්, ගොවි ජනතාවටත් වගකීමක් තියෙනවා ඉහළ අස්වැන්නක් රටට ලබා දෙන්න. මහවැලි නිලධාරීන් ලෙස ඔබ ඔවුන් ට අවශ්‍ය මඟ පෙන්වීම කළ යුතුයි. එලෙස ජනතාව ගේ ජීවිත නඟා සිටුවීම සඳහා කැපකිරීම් නොකරන නිලධාරීන් ට එරෙහිව දැඩිව කටයුතු කරනවා. ඔවුන්ට දඬුවම් ස්ථානමාරුවීම් ලැබෙන්නෙ නැහැ, ඒ වෙනුවට ඔවුන් ගෙදර යැවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා”. යැයි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here