වසංගතයට පසු එළැඹි සංක්‍රාන්ති සමය

    0
    7

    කොරෝනා වසංගතය ව්‍යාප්ත වන්නට පළමුව, එනම් පසුගිය වසරේ දෙසැම්බර් මාසයට පෙර මිනිසා ජීවත් වූ ආකාරය මුළුමනින්ම දැන් වෙනස් වී ඇත. මිනිසාගේ ගමන් බිමන්, රැකී රක්ෂා කටයුතු, අධ්‍යාපනය, ඥාතී-මිත්‍ර සබඳතා, ආහාරපාන රටා ආදි සෑම සියලු දෙයක්ම එසේ වෙනස් වූ අංග අතර තිබේ. කෙටියෙන් කිව හොත් කොරෝනා වසංගතය නිසා මිනිසා මහත් විපත්තිදායක සහ සීමාකාරී තැනෙකට තල්ලු වී සිටීයි.

     

    එන්නත් නිෂ්පාදන

    කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වන්නට පටන් ගත් මුල්ම දිනයේ සිටම මිනිසා යුහුසුලු වූයේ එම වසංගතයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීමටය. ඖෂධ නිෂ්පාදන සමාගම්, පර්යේෂකයෝ මෙන්ම විශ්වවිද්‍යාල විද්වත්හු සහ සෞඛ්‍ය බලධාරීහු ඒ සඳහා දිගින් දිගටම උත්සාහ දැරූහ. එහි ප්‍රතිඵලයක් ලෙස එන්නත් කිහියක් නිර්මාණය කරගන්නටත් ඒවායේ සායනික පරීක්ෂාවන් සිදු කරන්නටත් විද්‍යාඥයෝ අද මේ වන විට සමත්ව සිටිති. එම එන්නත්වලින් බිලියන ගණනක් ඖෂධ මාත්‍රා නිපදවා ගැනීම සම්බන්ධයෙනුත්, ඒවා මිලදී ගැනීම සම්බන්ධයෙනුත්, පළමුවෙන්ම එම එන්නත් ලබා දිය යුත්තේ සමාජයේ කවර පිරිසක් වෙත ද යන්න සම්බන්ධයෙනුත් දැන් දැන් ඉතා පුළුල් වශයෙන් සාකච්ඡා කෙරේ.

    දැනට සැලසුම් කර ඇති ආකාරයට එන්නත් නිෂ්පාදනය කර, ලෝකයේ ඒ ඒ රටවල් වෙත බෙදා හැර, අදාළ සමාජ ස්තරවල ජීවත් වන පුද්ගලයන් එන්නත් කිරීම සාර්ථකව ආරම්භ වූ පසු ලෝකය කවර තැනෙකට ළඟා වේ ද? මිනිසාගේ ක්‍රියාකාරීත්වය එවිට පළමුව තිබූ තත්ත්වයෙන්ම ආරම්භ කිරීමට හැකි වනු ඇත් ද? මේ පිළිබඳ විද්වත් අදහස් දැක්වීමක් බ්‍රිතාන්‍යයේ දී පසුගිය දා සිදු කෙරිණ. එහි සාකච්ඡාවට බඳුන් වූ කරුණු බ්‍රිතාන්‍යට සාපේක්ෂ වුවත් අනෙකුත් රටවල් සම්බන්ධයෙන් ද ඒවා ඉතා වැදගත් ය.

     

    පුද්ගල දූරස්ථභාවය

    පළමුව කී ගැටලුවලට එහිදී පිළිතුරු සැපයූ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සඳහන් කළේ එන්නතට පමණක් තනිව එවැනි තත්ත්වයක් ඇති කළ නොහැකි බවයි. ප්‍රජාව අතර ව්‍යාප්ත වී යන කොරෝනා වසංගතය ඉතා පහළ මට්ටටමකට රැගෙන ඒමට නම් අදාළ ප්‍රජාවෙන් 50%කටවත් එන්නත දීම සහ පුද්ගල දුරස්ථභාවය තව දුරටත් ආරක්ෂා කර ගැනීම වැදගත් බව ඔවුහු පෙන්වා දුන්හ. ප්‍රජාවක වෙසෙන ජනයා එන්නත් කිරීම ආරම්භ කළ පමණින් ඔවුන්ට මුඛ ආවරණ පැලඳීම අත් හැරීමට නොහැකි බව ද ඔවුන්ගේ මතයයි. එක්සත් රාජධානිය වැනි රටක නම් දැනට ක්‍රියාත්මක සීමා කිරීම් තව දුරටත් පවත්වාගෙන යෑමට සිදු වනු ඇති බව ද විද්වත්හු සඳහන් කළහ. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට සහ වැඩිම අවදානමකට මුහුණ දී සිටින පුද්ගලයන්ට එන්නත් දීමෙන් පමණක් පවත්නා ගැටලු විසඳා ගත නොහැකි බව විද්වතුන්ගේ මේ කතාවලින් තහවුරු වේ.

    අනාගතයේ දී බ්‍රිතාන්‍යයේ උද්ගත විය හැකි තත්ත්වය කෙබඳු ද යන්න පැහැදිලි කරමින් සෞඛ්‍ය සහ ඝර්ම කලාපීය ඖෂධ පිළිබඳ ලන්ඩන් පාසලේ මහාචාර්ය ස්ටීවන්ස් එවන්ස් පැවසුවේ මෙවැන්නකි.

    “… වයිරසය සංසරණය වීම ඉතාම පහළ මට්ටමකට පැමිණවිය යුතුයි… ජනගහනයෙන් 50%ක් පමණ එන්නත් කළත් එන්නත් කිරීමෙන් පමණක් අපට ඒ තත්ත්වය උදා කරගන්න බැහැ. සීමා කිරීම්, වෛද්‍යමය නොවන මැදිහත්වීම ආදිය ඒ සඳහා අවශ්‍ය වන බව මා විශ්වාස කරනවා. මිනිස්සු පවත්නා තත්ත්වය තේරුම් ගතහොත් ආර්ථික කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න හැකි වේවි. ඒත්, වෛද්‍යමය නොවන මැදිහත්වීම් දිගින් දිගටම වැදගත් බව ඔවුන් වටහා ගත යුතුයි…”

     

    එන්නත් අනුමැතිය

    බ්‍රිතාන්‍යයේ මේ වන විට පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදහස් පළ කළ ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ මහාචාර්ය පීටර් ඔපෙන්ෂෝ සඳහන් කළේ කොරෝනා එන්නත් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයා දැනුවත් කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වී ඇති බවකි. කොරෝනා සඳහා එන්නත් කිහිපයක් මේ වනවිට අත්හදා බැලෙමින් තිබේ. එම එන්නත් කිහිපය සම්බන්ධයෙන් මහජනයා අතර විවිධ මත පවතින බව ඔහු පැවසුවේය. එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ කොරෝනා එන්නත් පිළිබඳ නිවැ‍රැදි තොරතුරු ජනතාවට සමීප නොවීම හේතුවෙන් බව ඔහු මතය විණ. බයෝඑන්ටෙක් සහ ෆයිසර් සමාගම් එකතු වී නිපදවන ලද එන්නත සහ මොඩර්නා නැමැති එන්නත ඉතා ඉහළ කාර්යක්ෂමතාවන්ගෙන් යුක්ත යැයි බොහෝ දෙනෙක් විශ්වාසය තබා සිටිති. බ්‍රිතාන්‍යයේ ජනයාගෙන් වැඩි පිරිසක් මේ වන විට විශ්වාසය තබා තිබෙන්නේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත කෙරෙහිය. එම එන්නත අනුමැතිය සඳහා මේ වන විට ඉදිරිපත් කර තිබේ.

    ඔක්ස්ෆර්ඩ් එන්නත යන නමින් ප්‍රකටව ඇති එය අනෙක් රෝග ලක්ෂණ වළක්වා ගැනීමට එතරම් හොඳ නොවිය හැකි බවට සමහරු තර්ක කරති. එන්නත කවරක් වූවත් කිසියම් ප්‍රජාවක ව්‍යාප්ත වන කොරෝනා වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිකරණය වර්ධනය වන්නේ ප්‍රජාවෙන් කොපමණ පිරිසකට අදාළ එන්නත දීමෙන් පසුව ද යන්න සම්බන්ධ අවබෝධයක් විද්‍යාඥයන් සතුව තවම නැත. කොරෝනා වසංගතය පැතිර යෑම අඩු කිරීමට ඒ ඒ එන්නත සමත් වන්නේ කෙසේ ද යන්න ගැන තහවුරුවක් ද විද්‍යාඥයන් සතුව නැත.

    මේ අනුව කොරෝනාවට එන්නතක් නිපදවා ගත්ත ද එම එන්නත භාවිතයට ගෙන වසංගතය ආසාදනය වීම පාලනය කිරීම සම්බන්ධයෙන් විධිමත් අවබෝධයක් විද්වතුන්ට තවමත් නැති බව පෙනී යයි.

     මංජුලා විජයරත්න

    BBC ඇසුරෙනි 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here