වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට නව ජීවයක් දීම අපේ අරමුණයි රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක

0
40

වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්තකරුවන් නඟා සිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ, පෑතිස් රඹෑව ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලුවලට සවන් දෙමිනි.

“ගම සමඟ පිළිසඳරක් වැඩ සමඟ යළි ගමට” තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෑතිස්රඹෑව ගම්මානයේ ග්‍රාමීය කමිටු රැස්වීමේදී මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මාන වෙත ගොස් ගැමි ජනතාව මුහුණපා සිටින, දිගු කලක් නොවිසඳී ඇති ගැටලු නිවැරදිව හඳුනාගැනීම, එම ගැටලු නිලධාරීන්ට සෘජුව ඉදිරිපත් කොට විසඳුම් දීමේ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගම්මානයේ ජනතාවගෙන්ම යෝජනා ලබා ගැනීම ආදී ඉදිරිපත් වූ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර පෑතිස් රඹෑව ගම්මානය වෙත ගොස් කුඹල් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් දිසානායක මහතා එහිදී අවධානය යොමු කළේය.

එම ගම්මානයේ පවුල් 200ක් පමණ ජීවත් වන අතර, ඉන් පවුල් 150කගේ පමණ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ කුඹල් කර්මාන්තයයි. කුඹල්කරුවන්ට දැන් මෙම කුඹල් කර්මාන්තය එපා වී ඇත්තේ රජයෙන් ඔවුන්ට නිසි සැලකිල්ලක් නොමැති නිසාවෙන් බවට ඔවුහු මැසිවිලි නඟති. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා වෙත අදහස් දැක්වූ ගම්වැසියන් කියා සිටියේ, “පණ්ඩිත රඹෑවේ අපට වැව් 03ක් දීලා තියෙනවා. ඒ වැව් තුනෙන්ම අපට මැටි ගන්න රජයෙන් අවසර දී තියෙනවා. මැටි මෝලට පොයින්ට් එකකට රුපියල් 100ක් වගේ දෙනවා. අඹරා ගත්ත මැටි සකපෝරුවෙන් වළං හදනවා. අපට රජයෙන් විදුලි සකපෝරු ලබා දීලා තියෙනවා. අපට අඩුවක් වෙලා තියෙන්නේ වැහි කාලයට වළං හදලා තියාගන්න මඩුවක්. වළං නමා ගන්න පෝරණු අඩුපාඩු තියෙනවා. තවත් පවුල් කීපයක් ඉන්නවා විදුලි සකපෝරු නැතිව. ඒ අඩුපාඩු සපයලා දෙනවා නම් මේ කර්මාන්තය අපට පහසුවෙන් කරගෙන යා හැකියි.

ඒ වගේම තමයි අපේ මහන්සියට හොඳ වෙළෙඳපොළක් ලැබෙන්‌නේ නෑ. වළං සඳහා පාලන මිලක් වගේ දෙයක් ලැබුණොත් මේ කර්මාන්තය ඉදිරියට ගෙන යා හැකියි.” යැයි කියාය.

ඒ අනුව රජරට කුඹල් කර්මාන්තය නඟා සිටුවීම සඳහා මෙම ගම්වැසියන්ට මැටි කර්මාන්තයේ නිරතවන ශිල්පීන් සඳහා නව තාක්ෂණික දැනුම ලබා දීමටත්, මැටි ඇඹරුම් යන්ත්‍රයක් ගම්මානය වෙත ලබා දීමටත්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් හා සම්බන්ධ වී වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නඟා සිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් දුමින්ද දිසානායක මහතා පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here