විශේෂ අවශ්‍යතා ඇති අයගේ බලාපොරොත්තුවත් යහපත් හෙට දවසක්

    0
    8

    ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා පොදුජන සහකම්පන සංවිධානයේ සභාපති, ප්‍රසන්න වීරසිංහ

    ලංකාවට ගෙන්වන බ්‍රේල් සහ DASIY තාක්ෂණික  උපකරණවල මිල සඳහන් වන්නේ ලක්ෂ ගණන්වලින්. රජය මැදිහත් වීමෙන් මෙම උපකරණ සඳහා වන බදු ඉවත් කර දිය හැකිනම් වටිනවා. එමගින් ආබාධිත ප්‍රජා වට සිය අධ්‍යාපන කටයුතු සහ සංනිවේදනය පහසුවෙන් කර ගැනීමේ හැකියාව  සැලසෙනවා.

    තුන් හැවිරිදි වියේදී මුහුණ දෙන්න සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් දෑසම අන්ධ භාවයට පත් වූ ලුවී බ්‍රේල්, ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දෘශ්‍යාබාධිත ජනතාව වෙනුවෙන් සිදු කරන ලද අනර්ඝතම සොයා ගැනීම හෙවත් තිත් හයේ භාෂාව භාෂාව බ්‍රේල් ක්‍රමය ලෙස ලොව පුරා ප්‍රචලිත ය. ලුවී බ්‍රේල්ට ගෞරවයක් ලෙස ලෙස මෙම අධ්‍යාපනික සහ සන්නිවේදන මාධ්‍යය බ්‍රේල් ක්‍රමය ලෙසින් හඳුන්වන අතර සෑම වසරකම ලුවී බ්‍රේල් ගේ ජන්ම දිනය යෙදෙන ජනවාරි 4 වනදා ‘බ්‍රේල් දිනය’ ලෙස නම් කර තිබේ. බ්‍රේල් දිනයට සමගාමීව ශ්‍රී ලාංකික දෘශ්‍යාබාධිත ජනතාව මුහුණ දෙන විවිධ ගැටලු පිළිබඳව ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සම්මේලනයේ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා පොදුජන සහකම්පන සංවිධානයේ සභාපති, ප්‍රසන්න වීරසිංහ මහතා සමඟ කරන ලද සංවාදය.

     

    සෞභාග්‍යයේ දැක්ම 27 වන පිටුවෙහි ආබාධිත ප්‍රජාව වෙනුවෙන්  වෙන් වූ කොටස මේ වන විටත්  ක්‍රියාත්මක වෙමින් පවතිනවා.  රටේ උද්ගත වී ඇති තත්ත්වය මධ්‍යයේ වුවත් යම්තාක් දුරට එම කොටස සාක්ෂාත් වීම මඟින් ආබාධිත ජනතාවගේ ඉදිරිය යහපත් වනු ඇතැයි කියන සුබවාදී  බලාපොරොත්තුව අප තුළ තිබෙනවා.

    l ශ්‍රී ලාංකික දෘශ්‍යාබාධිත ජනතාවට බ්‍රේල් ක්‍රමය භාවිතා කිරීමට ඇති පහසුකම් ප්‍රමාණවත් ද?

    ශ්‍රී ලංකාවට විශේෂ අධ්‍යාපන ක්‍රමය පැමිණෙන්නේ 1912 වසරේ දී. එය ආරම්භ වන්නේ රත්මලාන අන්ධ විද්‍යාලය පදනම් කරගෙන. පසුකාලීනව ලංකාව පුරා දෘශ්‍යාබාධිත දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා බිහි වූ විශේෂ පාසල් පද්ධතියකුත් රට තුළ තිබෙනවා. මේ සෑම තැනකම පාහේ අධ්‍යාපනය ලබාදෙන්නේ බ්‍රේල් ක්‍රමය හරහා. බ්‍රේල් ක්‍රමය ලෙස හඳුන්වන්නේ දෘශ්‍යාබාධිත ප්‍රජාවට සන්නිවේදනය සඳහා තිබෙන ප්‍රධානම සාක්ෂරතා මාධ්‍යය.

    සමාජ අන්තර්කරණය ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රඥප්ති තුළ ආබාධ සහිත පුද්ගලයන් ද අනිත් සෑම පුද්ගලයකු සේ ම සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවට සඳහන් වනවා. නමුත් අධ්‍යාපනය වැනි ක්‍රියාවලියකදී එයට යම් යම් දුෂ්කරතා මතු වනවා. පාසල් පෙළපොත් සපයා දීමේ කටයුත්තේ දී නම් බොහෝවිට බ්‍රේල් මාධ්‍යයට සකස් වන පෙළපොත් සපයාදීම සිදු වෙනවා. එහෙත් බ්‍රේල් ක්‍රමය භාවිතා කරමින් පොත් පත් කියවන දෘශ්‍යාබාධිත ප්‍රජාවට ප්‍රයෝජනයට ගත හැකි පුස්තකාල පහසුකම් නම් ඉතාම අවමයි.

    බ්‍රේල් ක්‍රමයට පොත් සකස් කිරීමේ දී අකුරු විශාල වීම සහ අනෙකුත් තාක්ෂණික ක්‍රම නිසා වැඩි පිරිවැයක් දරන්නට වන නිසා හෝ පොත පත බ්‍රේල් ක්‍රමයට සකස් කරන්න ප්‍රවණතාව ඉතාම අවමයි.

     

    l දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා භාවිතා කරන්නට හැකි නවතම තාක්ෂණික සන්නිවේදන ක්‍රමය පිළිබඳවත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    DAISY එහෙමත් නැත්නම් Digital accessible information system ලෙස හඳුන්වන මේ ක්‍රමයෙන් සිදු කරන්නේ දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට පොත් පටිගත කර ලබා දීමයි. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පවතින දෘශ්‍යාබාධ පුනරුත්ථාපන භාර අරමුදල සහ තවත් සංවිධාන කීපයක් එකතු වී සෑම වසරකම දෘශ්‍යාබාධිත ප්‍රජාවට අවශ්‍ය කරන පොත් පටිගතකර ලබාදීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වනවා.

     

    l දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට හිමි වන උසස් අධ්‍යාපන අවස්ථා සහ පහසුකම් ප්‍රමාණවත් ද?

    ආබාධ සහිත පුද්ගලයන්ගෙන් කථන සහ ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන්ට සාපේක්ෂව උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක් දෘශ්‍යාබාධිත ප්‍රජාවට හිමි වෙනවා. නමුත් උසස් අධ්‍යාපනය වෙත යෑමේදී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටලු කිහිපයක්ම තිබෙනවා. උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය වෙන, පරිශීලනය කළ යුතුද පොතපත ද ඉතාම අවම මට්ටමකින් තමයි තිබෙන්නේ. බ්‍රේල් ක්‍රමයට හෝ DAISY ක්‍රමයට සකස් වූ එවැනි පොතපත සොයා ගැනීම ඉතාම අසීරුයි. දෘශ්‍යාබාධිත ප්‍රජාව ගේ ප්‍රධානම බලාපොරොත්තුව අවම වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම එක් පුස්තකාලයක හෝ බ්‍රේල් අංශයක් බිහිවීම. ඒ මගින් උසස් අධ්‍යාපනයට අවශ්‍ය කරන අමතර පොතපත පරිශීලනය කරන්නට අවස්ථාව සකස් කර දීම. අන්තර්කරණ සමාජය තුළ ආබාධ සහිත පුද්ගලයකුට අනිත් සාමාන්‍ය පුරවැසියන්ට හිමිවන අයිතිවාසිකම් සහ වරප්‍රසාදවලට හිමිකමි ලැබිය යුතු බවට ලිඛිතව හා වාචිකව යම් යම් තැන්වල කතිකාවක් ගොඩ නැගී තිබෙනවා. ප්‍රඥප්ති සකස් වී තිබෙනවා. ඒ අනුව අවශ්‍ය කරන වටපිටාව සකස් කර දීම සිදුකළ යුතුයි. රාජ්‍ය මැදිහත් වීමකින් බ්‍රේල් ක්‍රමය සහ DAISY තාක්ෂණයෙන් සැකසුණු පොතපත දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට වෙත ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

    තමා නියෝජනය කරන ප්‍රදේශයේ පුස්තකාලයට ගොස්බ්‍රේල් ක්‍රමයට හෝ DAISY ක්‍රමයට සකස් වූ සකස් කරන ලද පොතක් ලබාගන්නට දෘශ්‍යාබාධ සහිත පුද්ගලයකුට හැකියාවක් නැත්නම් එය ඉතාම කනගාටුදායක කාරණයක්. සාමාන්‍ය පුද්ගලයකුට ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය එයින් උල්ලංඝනය වෙනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට උසස් අධ්‍යාපන ආයතන තුළදී තමන් හදාරන විෂය අධ්‍යයනය කිරීම තුළින් නිබන්ධන සකස් කර දීම වැනි පැවරුම් සිදු කරන අවස්ථාවල ඔවුන්ට ඒ සඳහා පරිශීලනය කිරීමට අවශ්‍ය කරන පොතපත බ්‍රේල් ක්‍රමයට හෝ DAISY ක්‍රමයට සකස් වී නොදැති වීම ගැටලුවක්.

     

    l දෘශ්‍යාබාධ සහිත උපාධිදාරීන් රැකියාගත කිරීමේ ක්‍රමවේදය හරහා දෘශ්‍යාබාධ සහිත සෙසු පුද්ගලයන්ට යම්කිසි සහනයක් ලබාගැනීමට හැකියාවක් තිබෙනවාද?

    සංස්කෘතික විවිධත්වය හේතුවෙන් මේ වන විට විවිධ ජාතීන් විවිධ භාෂාවලින් තමා අවශ්‍යතා සන්නිවේදනය කරගන්නවා. එවැනි අවස්ථාවක තමන්ට අනන්‍ය වූ භාෂාවෙන් යම්කිසි ආයතනයකට ලිපියක් ඉදිරිපත් කළොත්, එයට ඔහුට පිළිතුරු ලැබෙන්නේ එම අනන්‍ය භාෂාවෙනුයි. නමුත් දෘශ්‍යාබාධිත පුද්ගලයන් බ්‍රේල් ක්‍රමය යටතේ ලිපියක් ඉදිරිපත් කළ විට නැවත ඔහුට ලැබෙන පිළිතුර බ්‍රේල් ක්‍රමයෙන් සකස් වී නැහැ. දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් බොහෝ දෙනෙක් රජයේ විවිධ රැකියාවල නිරත වෙනවා. මා පෙර සඳහන් කළ කාරණා වැනි අවස්ථාවල එවැනි පුද්ගලයන්ගේ සේවය ලබාගෙන බ්‍රේල් තාක්ෂණයට අනුව නැවත පිළිතුරු සපයන්නට හැකියාව තිබෙනවා නම් එයින් දෘශ්‍යාබාධිත ජනතාවට වැඩි පහසුවක් සැලසෙනවා. දෘශ්‍යාබාධිත උපාධිධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි ආයතනවලට අනුයුක්තව සේවය කරනවා. නිසි කළමනාකාරීත්වයක් නොමැති වීම හේතුවෙන් හෝ ඇතැම් අවස්ථාවල ඔවුන්ට නිශ්චිත රාජකාරියක් පැවරී නොමැති අවස්ථාත් ඇති. ඇතැම් විට එම ආයතනවල නිලධාරීන්ට ඔවුන්ගෙන් ලබාගත හැකි නිශ්චිත වැඩ කොටසක් පිළිබඳ වැටහීමක් නැති වෙන්නත් පුළුවන්. පුස්ථකාලවල බ්‍රේල් අංශ ආරම්භ කර ඒවා පවත්වාගෙන යෑම වැනි කටයුතු සඳහා දෘශ්‍යාබාධිත නිලධාරීන් අනුයුක්ත කරන්නට හැකිනම් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට විශාල උපකාරයක් වනු ඇති.

    දෘශ්‍යාබාධිත උපාධිධාරීන් වැඩි වශයෙන් නියැලෙන වෘත්තියක් ලෙස ගුරු වෘත්තියත් දක්නට ලැබෙනවා. සාමාන්‍ය ගුරු වෘත්තිකයකුට වුවත් පන්ති කාමරයක් කළමනාකරනය කර ගැනීමේදී යම් යම් ගැටලු ඇති වෙනවා. ආබාධිත පුද්ගලයකුට එය වඩාත් වැඩිපුර දැනෙන කාරණාවක්. එම නිසා දෘශ්‍යාබාධිත පුද්ගලයින් ගුරු වෘත්තිකයන් ලෙස බඳවා ගන්නා විට ඔවුන්ට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙන්නටද අවශ්‍යයි.

     

    l දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට තොරතුරු තාක්ෂණය සමඟ ගනුදෙනු කිරීමට ඉඩකඩක් තිබෙනවා ද?

    අද වන විට දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට තාක්ෂණය සමඟ ගනුදෙනු කළ හැකි පරිගණක මෘදුකාංග ලෝකයේ නිෂ්පාදනය වී තිබෙනවා. ලංකාවේ දෘශ්‍යාබාධිත පුද්ගලයකුට තොරතුරු තාක්ෂණය අත්පත් කරගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා පුහුණුවක් ලැබීමට අගනුවර වෙත පැමිණිය යුතුයි. අගනුවර ආශ්‍රිත යම් යම් සංවිධාන කිහිපයක් මගින් පමණයි තොරතුරු තාක්ෂණය පිළිබඳ පාඨමාලා පවත් වන්නේ. ඉතාම දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයකුට තොරතුරු තාක්ෂණය පිළිබඳව යම් හැදෑරීමක් කරන්න අවශ්‍යතාවයක් තිබුණත් එයට අවශ්‍ය පහසුකම් තම දිස්ත්‍රික්ක තුළ නැහැ. මෙයත් දෘශ්‍යාබාධිත ප්‍රජාව මුහුනදෙන ඉතාම කනගාටුදායක තත්ත්වයක්.

     

    l රට තුළ බ්‍රේල් හෝ DAISY තාක්ෂණික උපකරණ ප්‍රමාණවත් ද? ‍

    එම උපකරණ ඉතාමත් ඉහළ මිලකින් යුක්තයි. ඒ වගේම එම උපකරණ ලංකාවේ නිෂ්පාදනය වන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම වෙනත් රටකින් ආනයනය කළ යුතුයි. ලංකාවට ගෙන්වන උපකරණවල මිල සඳහන් වන්නේ ලක්ෂ ගණන්වලින්. දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් අසීරුවෙන් හෝ මෙම උපකරණයක් මිලදී ගැනීම සිදු කළත් හදිසියේ හෝ එම උපකරණයෙහි යම් තාක්ෂණික දෝශයක් ඇති වුවහොත් එය නැවත පිළිසකර කර ගැනීමේදී බොහෝ ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒවා නැවත පිළිසකර කර හැකි පිරිස් ඉතාම සුළු වශයෙන් සිටියත් ඔවුන් සිටින්නේ කොළඹ නගරය කේන්ද්‍රගත කරගෙන. එතැනදීත් ඈත දුෂ්කර ප්‍රදේශයක පුද්ගලයන්ට තම අවශ්‍යතාව ඉටුකර ගැනීම අතිශයින් දුෂ්කර වෙනවා. රජය මැදිහත් වීමෙන් මෙම උපකරණ සඳහා වන බදු ඉවත් කර දිය හැකිනම් වටිනවා. එමගින් ආබාධිත ප්‍රජාවට සිය අධ්‍යාපන කටයුතු සහ සංනිවේදනය පහසුවෙන් කර ගැනීමේ හැකියාව සැලසෙනවා. එසේම ඇතැම් රැකියා අතිරික්ත ප්‍රමාණයක් රට තුළ තිබෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. නමුත් දෘශ්‍යාබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ආබාධිත ප්‍රජාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අදාළ රැකියා පුහුණු ලැබූ පිරිස් සිටින්නේ අතළොස්සක් පමණයි. විශේෂයෙන්ම දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට අවශ්‍ය කරන තාක්ෂණික උපකරණ නිර්මාණය සහ ඒවා පිළිසකර කිරීම වැනි අංශ සඳහා පිරිස් පුහුණු කළ යුතුයි. දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින්ගේ සන්නිවේදන උපකරණ සහ සාක්ෂරතා ප්‍රවර්ධන උපකරණ සකස් කිරීම පිළිබඳව පර්යේෂණ සිදු විය යුතුයි.

     

    l දෘශ්‍ය ආබාධිත ප්‍රජාවගේ කලා සහ අනිකුත් හැකියාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවාද?

    සංස්කෘතික දෙපාර්තමේන්තුව ඒ සඳහා යම් ආකාරයක වාර්ෂික කලා උළෙලවල් සංවිධානය කිරීම වැනි කටයුතුවලින් මැදිහත්වීමක් දක්වනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුවෙත් යම් මැදිහත් වීමක් තිබෙනවා. නමුත් හැකියාවන් ප්‍රවර්ධනය කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඇතැම් හැකියාවන් සාමාන්‍ය පුද්ගලයින් සමඟ එකට හැදෑරීමට හැදෑරීමෙනුත් දියුණු කර ගන්නටත් හැකියි. කළ යුත්තේ යම් යම් කුසලතා වර්ධනය කර ගැනීමේ දී ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නිසි අයුරින් ලබා දීම. වසරකට වරක් යම් කිසි තරගයක් ආදිය පවත්වා තමන්ගේ ව්‍යාපෘතියක් සාධනය කර ගැනීමට වඩා එයින් ඉදිරියට දිගුවක් ලෙස වෘත්තීය මට්ටමට ඔවුන්ට ගොඩනැගෙන්නට අවශ්‍ය කරන පහසුකම් සලස්වා දීම සිදු කරන්නට පුළුවන් නම් එය ආබාධ සහිත ප්‍රජාවට ලබා දෙන විශාල ශක්තියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. පවතින වෙළෙඳ පොළට ගැළපෙන ආකාරයට අනිත් සාමාන්‍ය පුද්ගලයන් සමග සම මට්ටමකින් තම කුසලතා මගින් ප්‍රයෝජන ගැනීමට හැකි ආකාරයේ පරිපූර්ණ පහසුකම් දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙතත් ලැබිය යුතුයි. තමන් නියැළෙන ඕනෑම කාර්යයක ප්‍රමිතිගත පුද්ගලයන් බවට පත්වන්නට ආබාධ පසෙකලා ආබාධිත පුද්ගලයන්ටත් හැකියාව තිබෙනවා. සිදු කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගය සකස් කර දීමයි.

     

    l දිගු කලක් මුළුල්ලේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් හඬක් නැඟූ පුද්ගලයෙක් ලෙස වර්තමාන රජයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවා ද?

    සෞභාග්‍යයේ දැක්ම 27 වන පිටුවෙහි ආබාධිත ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ කොටස මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රටේ උද්ගත වී ඇති තත්ත්වය මධ්‍යයේ වුවත් යම්තාක් දුරට එම කොටස සාක්ෂාත් වීම මඟින් ආබාධිත ජනතාවගේ ඉදිරිය යහපත් වනු ඇතැයි කියන සුබවාදී බලාපොරොත්තුව අප තුළ තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා පිළිබඳ දැඩි විශ්වාසයකුත් අප සතුයි. ඒ විශ්වාසය යථාර්ථයක් වනු ඇති බවට අපට සැකයක් නැහැ.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here