වේගයෙන් දියුණු වන ඉලෙක්ට්‍රික් කාර් වෙළෙඳපොළ

    0
    13

    ටෙස්ලා සමාගමේ කොටස් පසුගිය කාලයේ විදුලි වේගයෙන් ඉහළ ගියේය. ඊට එක් ප්‍රබල හේතුවක් වූයේ ටෙස්ලා සමාගම නිපදවන මෝටර් රථවල දක්නට තිබෙන දියුණු ලක්ෂණයි. ඇමරිකාවේ මෙතෙක් මහා විශාල ට්‍රක් වැනි නිමැවුම් කළ විශාල ජෙනරල් මෝටර්ස් සමාගමත් දැන් ඉලෙක්ට්‍රික් කැබ් රථ නිර්මාණයට නැඹුරු වී අවසන්ය. මෙතක් මෝටර් රථ නිෂ්පාදනයේ විශාල සමාගම් වූ වොක්ස්වැගන්, බී.එම් ඩබ්ලිව්, නිසාන් වැනි සමාගම් පවා මේ වන විට ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදනයට යොමුව තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ දී මහජනතාවට ගෙවීමට සිදු වන මාසික විදුලි බිල සමඟ සසඳා බැලූ බිට පෙට්‍රල් භාවිතයට වඩා විදුලිජනක මෝටර් රථ ලාබදායකදැයි කියා සාධාරණ ගැටලුවක් මතු වේ. බොහෝ රටවල ඉන්ධන මිල එන්න එන්නම වැඩි වීමත් සමඟ අනාගතයේ දී විදුලි මෝටර් රථවලට සිය අවධානය යොමු කර තිබෙන බවක් ද පෙනේ. ඉලෙක්ට්‍රික් මෝටර් රථ මඟින් විදුලි පද්ධතියේ අවශ්‍යතාව තවත් වැඩි වුවත් බොහෝ දියුණු රටවල් දැනටම අනාගත විදුලි රථ ලෝකයට දැන්ම සිටම සැරසෙයි.

     

    පරිසරයට ලැබෙන දායකත්වය

    ගල් අගුරු දහනය මඟින් විදුලිය නිපදවූවත් පෙට්‍රල් මෝටර් රථවලට වඩා මහා පරිමාණව ගත් විට විදුලි මෝටර් රථ ලාභදායීය. විදුලි මෝටර් රථවලින් පරිසරයට දුම හෝ දියර හෝ මොනම දෙයක් වත් නිකුත් නොවේ. එන්ජිමක් නොමැති නිසා අඩුම තරමින් එන්ජින් ශබ්දය පවා ඉලෙක්ට්‍රික් මෝටර් රථවල ඇත්තේ නැත. නාගරික රථ වාහන දුම ලොව පුරා නගර මුහුණ දෙන විශාල ගැටලුවකි. ඒත් අනාගත විදුලි රථ ලෝකයේ දී දුමක් කියා කිසිම දෙයක් නිකුත් නොවන විදුලි මෝටර් රථ විසින් මහා නගර මෙන්ම ලංකාවේ අපේ පුංචි නගරත් වායු දූෂණයෙන් ආරක්ෂා කරනු ඇත. විදුලි රථ වැඩි වන විට ඒ හා සමපාතව විදුලි ජාල නවීකරණය කිරීමටත් නව විදුලිය ජනනය කිරීමට සිදු වේ. එහෙත් පරිසරයට දුම් එකතු කරමින් යන පැ‍රැණි ඉන්ධන දහන එන්ජින් දහස් ගණනක් සලකන විට ඒ අලුතින් ඇති වන විදුලි බලාගාර පරිසරයට එතරම් බරක් ඇති නොකරනු ඇතැයි සිතිය හැකිය.

     

    ඉලෙක්ට්‍රික් මෝටර් රථවල වාසි

    මෝටර් රථයක සම්පූර්ණ සැකැස්ම සහ අභ්‍යන්තර ස්වභාවයම ඉලෙක්ට්‍රික් මෝටර් රථයට එන විට වෙනස්ය. ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මෝටරයෙන් රෝදයට බලය සපයන්නේ සාමාන්‍ය මෝටර් රථයක එන්ජිමට වඩා වෙනස් ආකාරයකටය. ගියර් පද්ධතිය ක්‍රියාත්මක නොවන මේ ඉලෙක්ට්‍රික් මෝටර් රථවල ඉන්ඩක්ෂන් මෝටර් මඟින් අවශ්‍ය වේගය සහ බලය මෝටර් රථයට සපයයි. එබැවින් සාම්ප්‍රදායික එන්ජිම සහ බලය බෙදා හැරීමේ ගියර් පද්ධති ආදිය ඉලෙක්ට්‍රික් මෝටර් රථයේදී වෙනස්කම් රාශියකට භාජනය වේ. පවර් ට්‍රාන්ස්මිෂන් යෙදීමක් නොමැති බැවින් ඉලෙක්ට්‍රික් මෝටර් රථයට ක්ලච් පැඩලයක් අනවශ්‍යය. එනම් මෝටර් රථය, ස්වභාවයෙන්ම ඔටෝ ගියර් තත්ත්වයේ පවතී. විදුලි මෝටර් රථයේ බැටරි ගබඩා කරන්නේ ආසනවලට යටිනි. මෝටර, ඉන්වර්ටර් ආදිය රෝද හා සම්බන්ධ වෙ පරිදි පිටුපසින් සකසා තිබේ.

     

    කාර් හදන ගිගා ෆැක්ටරි

    ඉලොන් මස්ක් ගේ ටෙස්ලා සමාගම මේ නවතම ටෙස්ලා ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිපදවීමටම වෙනම කර්මාන්තශාලා කිහිපයක් සැකසුවේය. ඒවා ජර්මනිය, චීනය සහ අ‍ෙමරිකාවේ ඉතා ඉක්මනින් ගොඩනැංවුණි. ඒ ගිගා ෆැක්ටරිවල මෙතෙක් සාමාන්‍ය වාහන නිමවනවාට වඩා ඉක්මනින් බැටරි සහ බැටරියෙන් දුවන කාර් නිෂ්පාදනය සිදු කරයි. දැනට ටෙස්ලා සමාගමට තිබෙන ඉල්ලුමේ ප්‍රමාණයට මෝටර් රථ නිෂ්පාදනය කර ගැනීම විසාල ගැටලුවක්ව තිබේ. මෙතෙක් නිමැවුම් ජාල (ප්‍රඩක්ෂන් චේන්) තිබෙන්නේ පෙට්‍රල් සහ ඩීසල් වාහන නිෂ්පාදනය කිරීමටය. ඒ නිමැවුම් ජාල ඉලෙක්ට්‍රික් මෝටර් රථ වෙනුවෙන් යාවත්කාලීන කර, යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වඩාත් ඉක්මනින් මෝටර් රථ නිපදවා ගැනීමට ටෙස්ලා සමාගම මෙන්ම වොක්ස්වැගන්, නිසාන්, ජෙනරල් මෝටර්ස් වගේ ආයතනත් ක්‍රියා කරනු ලබයි.

     

    ඉලෙක්ට්‍රික් කාර් අභියෝග

    ඉලෙක්ට්‍රික් මෝටර් රථ චාජ් කිරීම ඉලෙක්ට්‍රික් කාර් ලෝකය මුහුණ පාන එක් අභියෝගයකි. අප හැමෝම දන්න ‘නිසාන් ලීෆ්’ වුවත් ගෙදර තිබෙන සම්බන්ධතාවක් හරහා ආරෝපණය කර ගැනීමට ගියහොත් ඒ සඳහා විශාල කාලයක් ගත වේ. ඒ සඳහා තිබෙන විශේෂිත ෆාස්ට් චාජින් ක්‍රම යටතේ මෝටර් රථය විනාඩි තිහකට අඩු කාලයකින් සම්පුර්ණ චාජ් කර ගැනීමට හැකිය. නමුත් ඒ සඳහාම විශේෂිත චාර්ජින් ස්ටේෂන් ආදිය සැකසීමට සිදු වේ. දැනට ඉලෙක්ට්‍රික් කාර් සහ වාහන අඩු බැවින් ලොකු ගැටලුවක් මතු නොවේ. එහෙත් මෝටර් රථ ප්‍රමාණය වැඩි වුවහොත් චාජ් කිරීමට යොදා ගන්නා අධික විදුලි ධාරා හැසිරවීම බරපතල ගැටලුවක් වනු ඇත. එක් පසෙකින් සෑම නිවසකම කාර් චාජ් කිරීම ආරම්භ කළ හොත් එය සාමාන්‍ය විදුලි ජාලයට බරක් වනු නියතය. ඊට අමතරව චාජින් ස්ටේෂන් තැන-තැන ඇති කළහොත් ඒ සඳහාත් වෙනමම විදුලි ජාලයක් සැකසීමට සිදු වේ.

     

    දුර ගමන් සහ චාජින්

    දැනට ලංකාවේ අප, සාමාන්‍යයෙන් මෝටර් රථයක් භාවිත කර දවසකට ගමන් යන්නේ කිලෝමීටර හැට හැත්තෑවකට අඩුවෙනි. ඒත් ඔස්ට්‍රේලියාව, ජර්මනිය, අමරිකාව වැනි විශාල රටවල කිලෝමීටර දහස් ගණනින් දුර ගමන් කරයි. එවැනි අවස්ථාවල දී අමරිකාවේ බොහොම දුර බැහැර පළාත්වල දැනට නම් ගෑස් ස්ටේෂන් මඟින් පෙට්‍රල්, ඩීසල් සැපයීම කරයි. ඒත් දැනට තිබෙන විදුලි මෝටර් රථවලින් ගමන් කළ හැකි උපරිම දුර සම්පූර්ණ චාර්ජ් එකකින් කිලෝමීටර් 200-300 අතර දුර ප්‍රමාණයකි. එබැවින් දුර ගමන්වල දී යළි යළිත් චාජ් කර ගැනීමට චාර්ජින් පොයින්ට් තිබීම ඉලෙක්ට්‍රික් කාර්වලට අවශ්‍ය සාධකයකි.

    විදුලි දුම්රිය සහ විදුලියෙන් දුවන බස් වැනි ට්‍රෑම් රිය දැනටත් වෙනත් රටවල භාවිතයේ ඇත. විදුලි දුම්රිය නිසා සාමාන්‍ය දුම්රියවලට වඩා ශබ්දයෙන් අඩු කාර්යක්ෂම දුම්රිය සේවයක් ඒ රටවලට ලැබී තිබේ. කෙසේ වෙතත් විදුලි මෝටර් රථ නම් ලංකාවට අලුත්ම දෙයක් ද නොවේ. දැනටත් නිසාන් ලීෆ් වැනි මෝටර් රථ ලංකා‍ෙව්ත් යම් පමණකට ජනප්‍රියය. අනාගතයේ දී ඉන්ධන මිල කොතරම් ඉහළ ගියත්, විදුලි මෝටර් රථ තිබුණහොත් අපට ඉන්ධන මිල ගැන තවත් දුක්වීමට වුවමනා නොවේ.

     

    අමිල චතුරංග

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here