ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා වෙයි

0
15

මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දුට ටෙස්ට් වරම්

කුසල් ජනිත් පෙරේරා හැර මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය හේතුවෙන් ජොහැනස්බර්ග්හී වොන්ඩරාස් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පිල සමත් විය. ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ නායක දිමුත් කරුණාරත්න යළිත් අසාර්ථක වෙමින් ලකුණු 2කට පිටියෙන් ඉවත්ව ගියේ ඇන්රිච් නෝර්ට්ජේගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් අතට උඩ පන්දුවක් පිරිනමමිනි.

මේ තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් අර්ධ ශතකයක් රැස් කරමින් ආරම්භ පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉනිම ගොඩනැඟීමට උත්සාහ කළ අතර, ලකුණු 13ක් තුළ කඩුලු 4ක් බිඳ දමමින් ශ්‍රී ලංකා පිලට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

ඊයේ තරගයට කැඳවූ ළහිරු තිරිමාන්න සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 52ක් එක්කළ කුසල් ජනිත් මුළු ලකුණු 71ක් වෙද්දී යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට වියාන් මුල්ඩර්ට හැකි විය. ඊයේ සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ ඔහු ලකුණු 60කට දැවී ගියේ පන්දු 67කදී හතරේ පහර 11කින් ඉනිම වර්ණත් කර ගනිමිනි.

මේ තරගාවලියේදී පිට පිට දෙවරක් අසාර්ථක වී සිටි කුසල් මෙන්ඩිස් අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසිය ද ඔහුට මුහුණ දිය හැකි වූයේ පන්දු 4කට පමණි. ඔහු ලකුණු රැස් කිරීමට පෙරම මුල්ඩර් හමුවේ දැවී ගියේය.

ඊයේ අන්තර්ජාතික ටෙස්ට් වරම් ලැබූ මිනෝද් භානුකගේ මංගල ඉනිම ලකුණු 5කට සීමා කරමින් නොර්ට්ජේගේ දෙවැනි කඩුල්ලට ලෙස ඔහු පිටියෙන් ඉවත් විය.

තරගය ඊයේ දිවා විවේකය සඳහා නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 84කට කඩුලු 5ක් ලෙසිනි.

දිවා විවේකයෙන් අනතුරුව යැවූ දෙවැනි ඕවරයෙන් නිරෝෂන් දික්වැල්ල (7) දවාගත් නොර්ට්ජේ තම සිවුවැනි ඕවරයෙන් දසුන් ශානක (4) ද නරඹන්නකු බවට පත් කළේය.

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර 8 වැනි කඩුල්ලට ලකුණු 39ක් එක් කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 150 ආසන්නට රැගෙන ගියහ.

ලුතෝ සිපම්ලා හමුවේ ලකුණු 29ක් රැස්කර සිටි හසරංග දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර, තවත් ලකුණු 2ක් එක්වෙද්දී නොර්ට්ජේ හමුවේ චමීරගේ ඉනිම ද ලකුණු 22කට සීමා විය. නොර්ට්ජේට 6 වැනි කඩුල්ල අත්කර දෙමින් මංගල ඉනිම ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු (4) දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 157කින් නතර විය.

ශ්‍රී ලංකා පිල මේ තරගයේදී වෙනසක් 4ක් සිදු කර තිබිණි. පළමු තරගයට එක් වූ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර, කසුන් රාජිතට ආබාධ හේතුවෙන් මේ තරගය අහිමි විය. ඔවුන් වෙනුවට ළහිරු තිරිමාන්න සහ දුෂ්මන්ත චමීර සමඟ 25 හැවිරිදි පිතිකරුවකු වන මිනෝද් භානුකට සහ 23 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ජගත් ටෙස්ට් වරම් හිමි කර දී තිබිණි. ඕෂධ ප්‍රනාන්දු සහ සුරංග ලක්මාල්ට ද මේ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවිණි.

දකුණු අප්‍රිකාව පළමු තරගයට එක් වූ කණ්ඩායම වෙනසකින් තොරව මේ තරගයට ද එක් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here