ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා වෙයි – කඩුලු 9ක් අතැති දකුණු අප්‍රිකාව ලකුණු 9ක් පසුපසින්

0
11

ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා හැර මුල් සහ මැද පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය හේතුවෙන් ජොහැනස්බර්ග්හී වොන්ඩරාස් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සීමා වෙයි.

ඊයේ පළමු දිනයට ක්‍රීඩාව නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක දකුණු අප්‍රිකාව කඩුලු 1ක් දැවී ලකුණු 148ක් රැස්කර තිබිණි. ඒ අනුව කඩුලු 9ක් අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 9ක් පසුපසින් සිටී.

ඩීන් එල්ගාර් ලකුණු 92ක් සහ රසී වැන්ඩර් ඩුසේන් ලකුණු 40ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැඟූ නොබිඳුණු සබඳතාව ලකුණු 114කි.

ශතකයට ලකුණු 8ක් පසුපසින් සිටින එල්ගාර් පන්දු 119කදී හතරේ 16ක් එල්ල කර තිබූ අතර, ඩුසේන් හතරේ පහර 6ක් සමඟින් පන්දු 82කට මුහුණදී තිබිණි.

එල්ගාර් සමඟින් දකුණු අප්‍රිකානු පිළිතුරු ඉනිම ඇරඹූ ඒඩ්න් මාක්‍රම් (5) සිය මංගල තරගයට එක් වූ අසිත ප්‍රනාන්දුට පළමු කඩුල්ල හිමිකර දෙමින් ලකුණු 5කට දැවී ගියේ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

දකුණු අප්‍රිකානු පිලේ ආරාධනයෙන් කුසල් පෙරේරා සමඟින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ නායක දිමුත් කරුණාරත්න යළිත් අසාර්ථක වෙමින් ඉනිමේ 10 වැනි ඕවරයේදී ලකුණු 2කට පිටියෙන් ඉවත්ව ගියේ ඇන්රිච් නෝර්ට්ජේගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් අතට උඩ පන්දුවක් පිරිනමමිනි.

මේ තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් අර්ධ ශතකයක් රැස් කරමින් එක්දින තරග ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පෙරේරා ඉනිම ගොඩනැඟීමට උත්සාහ කළ අතර, ලකුණු 13ක් තුළ කඩුලු 4ක් බිඳ දමමින් ශ්‍රී ලංකා පිලට ප්‍රබල පීඩනයක් එල්ල කිරීමට වියාන් මුල්ඩර් සහ ඇන්රිච් නොර්ට්ජේ සමත් වූහ.

දෙවැනි තරගයට කැඳවූ ළහිරු තිරිමාන්න සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 52ක් එක්කළ කුසල් පෙරේරා මුළු ලකුණු 71ක් වෙද්දී යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට මුල්ඩර් සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

ඊයේ සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ කුසල් පෙරේරා ලකුණු 60කට දැවී ගියේ පන්දු 67කදී හතරේ පහර 11කින් ඉනිම වර්ණත් කර ගනිමිනි.

කුසල් මෙන්ඩිස් අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසිය ද ඔහු යළිත් වරක් අසාර්ථක වෙමින් ලකුණු රැස් කිරීමට පෙරම දැවී ගිය අතර, තිරිමාන්නට රැස් කළ හැකි වූයේ ලකුණු 17ක් පමණි. ඔවුන් දෙදෙනා ද මුල්ඩර්ගේ ගොදුරු බවට පත් විය.

ඊයේ අන්තර්ජාතික ටෙස්ට් වරම් ලැබූ මිනෝද් භානුකගේ මංගල ඉනිම ලකුණු 5කට සීමා කරමින් නොර්ට්ජේගේ දෙවැනි කඩුල්ල ලෙස ඔහු පිටියෙන් ඉවත් වූ අතර, ඒ සමඟ දිවා විවේකය සඳහා තරගය නතර කෙරිණි. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වූයේ ලකුණු 84කට කඩුලු 5ක් ලෙසිනි. දිවා විවේකයන් අනතුරුව ලකුණු 73ක් තුළ බිඳ වැටුණු කඩුලු පහෙන් 4කට හිමිකම් කී නොර්ට්ජේ තම ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම ලෙස ද (56/6) මෙය සටහන් කර ගත්තේය.

දිවා විවේකයෙන් සුළු මොහොතකට පසු නිරෝෂන් දික්වැල්ල (7) දවාගත් නොර්ට්ජේ ඉන් අනතුරුව යැවූ දෙවැනි ඕවරයෙන් දසුන් ශානක (4) ද නරඹන්නකු බවට පත් කළේය.

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර 8 වැනි කඩුල්ලට ලකුණු 39ක් එක් කරමින් ශ්‍රී ලංකා පිල ලකුණු 150 ආසන්නට රැගෙන ගිය අතර, ලුතෝ සිපම්ලා හමුවේ ලකුණු 29ක් රැස්කර සිටි හසරංග දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටිණි. තවත් ලකුණු 2ක් එක්වෙද්දී චමීරගේ ඉනිම ලකුණු 22කින් නතර කළ නොර්ට්ජේට 6 වැනි කඩුල්ල අත්කර දෙමින් මංගල ඉනිම ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දු (4) දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 157කට සීමා විය.

ශ්‍රී ලංකා පිල මේ තරගයේදී වෙනසක් 4ක් සිදු කර තිබුණේ පළමු තරගයට එක් වූ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර, කසුන් රාජිතට ආබාධ නිසා මේ තරගය අහිමි වීම හේතුවෙනි. ඔවුන් වෙනුවට ළහිරු තිරිමාන්න සහ දුෂ්මන්ත චමීර සමඟ 25 හැවිරිදි පිතිකරුවකු වන මිනෝද් භානුකට සහ 23 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ජගත් ටෙස්ට් වරම් හිමි කර දී තිබිණි. ඕෂධ ප්‍රනාන්දු සහ සුරංග ලක්මාල්ට ද මේ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි නොවිණි.

දකුණු අප්‍රිකාව පළමු තරගයට එක් වූ කණ්ඩායම වෙනසකින් තොරව මේ තරගයට ද යොමු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here