හිටපු වාරිමාර්ග ඉංජිනේරුවාගේ ගෙදර අවි ගබඩාවක්

0
8

72 හැවිරිදි සැකකරු අත්අඩංගුවට; ආයුධ එකතු කළේ ආශාවටලු

ගිනි අවි යොදාගෙන අපරාධ කළාදැයි පරීක්ෂණ

විවිධ වර්ගයේ ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් නිවෙසේ සඟවා සිටි බෙලිඅත්ත, තාරපේරිය, නිහිළුව ප්‍රදේශයේ පදිංචි හිටපු වාරිමාර්ග ඉංජිනේරුවරයකු තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (02) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, තාරපේරිය, නිහිළුව ප්‍රදේශයේ පදිංචි හිටපු වාරිමාර්ග ඉංජිනේරුවරයකු වූ 72 හැවිරිදි දෙදරු පියෙකි.

සැකකරුගේ නිවෙසේ සිදු කළ සෝදිසි කිරීමේ දී නිවෙසේ තැන තැන සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිණි අවි 02, මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක කොටස් කිහිපයක්, ගිනි අවිවල බැරලය සුද්ධ කිරීමට යොදා ගන්නා අඟල් 32ක් දිග යකඩ කූරක්, කඩු දෙකක්, උල් පිහි එකක්, බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 30ක්, ටී 56 වර්ගයේ ගිණි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 15ක්, 303 වර්ගයේ රයිෆල් සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 19ක්, මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 07ක් හා බෝර 12 වර්ගයේ ගිණි අවි සඳහා යොදන හිස් පතරොම් කොපු 12ක් තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු වැඩි කලක් වාරිමාර්ග ඉංජිනේරුවරයකු ලෙස අම්පාර, මහඔය ඇතුළු ප්‍රදේශවල රාජකාරි කළ බවත්, එම කාලයේදී විවිධ ස්ථානවල දී හමු වූ මෙම ගිනි අවි එකතු කරගත් බවත්, ගිනි අවිවලට ඇති ආශාව නිසා මෙලෙස රැගෙනවිත් නිවෙසේ තබාගත් බවත්, සැකකරු පවසා තිබේ. සැකකරු සන්තකයේ තිබී හමු වූ මෙම ගිනි අවි යොදාගෙන යම් අපරාධයක් සිදුකර ඇත් ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. ගිනි අවි හා ජීව පතරොම් ඇතුළු උපකරණ සමඟ අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බෙලිඅත්ත පොලිසියට බාර දී තිබේ.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය, තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති හිශාන්ත ලාල් යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන (84229) දෑසමන්, (90539) පවන්, (92733) දිසානායක, (71452) ඉන්දික, (70732) සුදාරක, (80445) සුරංග යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර මොහු අත්අඩංගුවට ගෙන ඇත.

නුවන් ජයසේකර – සූරියවැව විශේෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here