අධික අවධානයක් යොමු කළ යුතු පදික මංතීරු

    0
    7
    Author(s): 
    අසේල කුරුළුවංශ

    පදිකයින් සඳහා ගමන් කිරීමට ස්ථාපිත කර තිබෙන පදික වේදිකාව පිළිබඳ කතා කළ යුත්තේ ඒවායේ පවතින අඩුපාඩු අනතුර බහුල කිරීමට හේතුවී තිබෙන නිසාය. නගරාසන්නයේ මෙන්ම නගරයෙන් පිටත ස්ථානවල ඇති පදික වේදිකා බොහෝ විට පදිකයින්ගේ ආරක්ෂාව තහවුරු නොකරයි. මේ සඳහා බලපාන කරුණු රාශියකි.පදික වේදිකා එකම උස් මට්ටමක නොමැති වීම නිසා පදිකයින්ට බොහෝ අපහසුතාවන්ට ලක්වීමට සිදුවෙයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව වසරකට රිය අනතුරුවලින් ලෝකයට අහිමිවන මිනිස් ජීවිත ප්‍රමාණය ලක්ෂ 13 කි. මේ අනුව දෛනිකව රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව තුන්දාස් පන්සියයක් ලෙස ගණනය කළ හැකිය.මෙම රිය අනතුරුවලින් 40%ට ආසන්න සංඛ්‍යාවක් මිය යන්නේත් තුවාල ලබන්නේත් පදිකයින්ය.මෙරට තත්ත්වයද එයට සමාන්තරව ගමන් ගන්නා බැවින් අපගේ විශේෂ අවධානයක් ඒ පිළිබඳව යොමු කළ යුතුව තිබේ.පොලිස් මූලස්ථානයට වාර්තාවන රිය අනතුරු වලට අදාළ දත්ත විශ්ලේෂණය කිරීමේදී දිනකට රිය අනතුරු නිසා මියයන සංඛ්‍යාව අටක් හෝ නවයක් වන අතර මින් සැලකිය යුතු ප්‍රමාණයක් පදිකයින්ය.

    විවිධ කාරණා නිසා ගමන් බිමන් යන පිරිස අතුරින් සියලුම දෙනා සුළු මොහොතකට හෝ පදිකයෙක් වෙයි. එම නිසා මහා මාර්ගයක් නිර්මාණය කරන විට අදාළ පහසුකම් වෙන් කිරීමේදී පදිකයින්ගේ අවශ්‍යතාව නොසලකා හැරිය නොහැකිය. මාර්ගයක් නිර්මාණය කිරීමේදී එකී නිර්මාණකරුවන් බොහෝ විට වාහන භාවිතය වැඩි හෙයින් පදිකයින්ගේ අවශ්‍යතාව අමතක කරන්නේද යන සැකය අප තුළ මතුවන අවස්ථා බොහෝය. වාහන ගමනාගමනයට සලසන පහසුකම් ප්‍රමාණයට සාපේක්ෂව පදිකයන්ගේ ගමනාගමනය පහසු කරවීම සඳහා පහසුකම් සැලසීම ඉතා අඩු මට්ටමක පවතින බව මෙරට මාර්ග නිර්මාණ ක්‍රියාවලිය තුළ පැහැදිලිව දක්නට ලැබේ. රිය අනතුරක් සිදුවූ අවස්ථාවක එක් පාර්ශ්වයක් පදිකයෙක් වුවහොත් සෑම විටම පදිකයාට සිදුවන අනතුර අනෙක් පාර්ශ්වයට සිදුවන අනතුරට වඩා බොහෝ වැඩිය. 

    ගුවන් පාලම් සහ උමං මාර්ග

    මෙම කාරණාව නිසා මහා මාර්ගයක් නිර්මාණය කරන විට පදිකයන්ගේ ගමන් පහසුව සහ ආරක්ෂාව තහවුරු වන ආකාරයට පහසුකම් සැලසීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු වේ. මාර්ගය හරහා යෑමට පදිකමාරු, මාර්ගය දිගේ ගමන් කරන විට පදික වේදිකා තැනීම පදිකයන්ට අවම හිරිහැරයක් බාධාවක් ඇතිවන සේ සිදු කිරීමට මාර්ග සැලසුම්කරුවන් උනන්දු විය යුතුය. මාර්ගය හරහා යෑමට වාහන ගමන් කරන මාර්ගයේම පදික මාරු මාර්ගයට උඩින් යන ගුවන් පාලම් සහ මාර්ගයට යටින් යන උමං මාර්ග ඇති කිරීම පදිකයින් රිය අනතුරුවලට ලක්වීම වළක්වා ගැනීම සඳහා ඇති හොඳම ක්‍රමයකි. මෙවන් ගුවන් පාලම් සහ උමං මාර්ග නිසා පදිකයින් වාහන සමඟ එකම මාර්ගයක දී හමු වීමට ඇති අවස්ථාව මඟ හැරෙන නිසා පදිකයින්ගේ ආරක්ෂාව එමඟින් වඩාත් තහවුරු වෙයි. එහෙත් බොහෝ පර්‌යේෂණවලට අනුව පැහැදිලි වන ප්‍රධාන කරුණක් වන්නේ පදිකයන් වෙනත් උසක පිහිටා ඇති පදිකමාරු ගුවන් පාලම් සහ උමං මාර්ග භාවිත කිරීමට අක­ැමැත්තක් දක්වන බවකි. මෙයට හේතුව වන්නේ වාහන සමඟ එකම මාර්ගයක හමු නොවීමෙන් තම ආරක්ෂාව වැඩිවුවද ගුවන් පාලමක දී ඉතා ඉහළ උසක් නැගීමට සිදු වීමත්, උමං මාර්ගයක දී තමන් ගමන් කරන මාර්ගයට වඩා වැඩි දුරක් ගමන් කිරීමටත් බැසීමට සහ නැගීමටත් පදිකයන්ට සිදුවීමය.

    කෙසේ වෙතත් ගුවන් මාර්ගවලට වඩා උමං මාර්ග භාවිතයට පදිකයන් වැඩි කැමැත්තක් දක්වන බව ඒ සම්බන්ධයෙන් කළ මත විමසුම් වලින් පැහැදිලිවී ඇත. ආර්ථික වශයෙන් දියුණු රටවල තත්ත්වය තරමක් මෙයට වෙනස්ය. එම රටවල රථවාහන මාර්ග තලයෙන් ඉහළ ගුවන් මාර්ග හෝ මාර්ග තලයෙන් පහළ උමං මාර්ගවලට යොමුකර පදිකයන්ට සාමාන්‍ය මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙයි. එමෙන්ම ගුවන් මාර්ග සලසා ඇති ස්ථානවල විදුලියෙන් ක්‍රියාත්මක වන පඩිපෙළ සවිකර ඇති නිසා පදිකයන්ගේ ගමන් අපහසුව අවම වෙයි. එම නිසා පදිකයින්ගේ අවශ්‍යතා සෑම විටම සැලකිල්ලට ගැනීමෙන් පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු වීමත් මාර්ග භාවිත කරන සියලුම දෙනාගේ කාලයත් ඉතිරි වෙයි.

    අනතුරු අවම කර ගැනීම

    ශ්‍රී ලංකාවේ මහා මාර්ග පද්ධතිය ගොඩනැඟීමේදී බොහෝ ස්ථානවල පදිකයන්ගේ ආරක්ෂාව සහ අවශ්‍යතා පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නැති බව පැහැදිලිය. බස් නැවතුම් පළක් ඇති ස්ථානයක පදික මාරුවක් දැමීමේදී එය ස්ථාපිත කළ යුත්තේ බස් නැවතුමට පිටුපසිනි. එවිට බස් රථයෙන් බහින මගියා ආරක්ෂා සහිතව බස් රථය පිටුපසින් මාර්ගය හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වීමට පුළුවන. මෙය පාසල් අසල පදික මාරු සඳහා විශේෂය. කුඩා ළමයින් බස් රථයක් ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථයේ රියදුරුට පදිකයා නොපෙනීමට ඇති ඉඩ වැඩි නිසා රිය අනතුරක් සිදුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. අනතුරු දායක අන්දමින් බස් නැවතුම් පොළවල් ඉදිරිපිට පදික මාරු ස්ථාපිත කෙරුණු ස්ථාන රැසක් අප රටේ දක්නට ලැබෙයි. මේවා ස්ථාපිත කිරීමේදී අනතුරු අවම කර ගැනීම යන සංකල්පය අමතක කර කටයුතු කිරීම කණගාටුවට කරුණකි.මාර්ග කීපයක් එකතු වන මංසන්ධියක් ඇතිවිට පදික මාරුව සෑම විටම මංසන්ධියට ආසන්නව සැකසීම මඟින් එක් දිශාවකින් පැමිණෙන මඟියකුට මාර්ගය හරහා තම අවශ්‍ය දිශාවට ගමන් කිරීමට අවස්ථාව ලැබෙන අතර එමඟින් අනවශ්‍ය දුරක් ගමන් කිරීමටද සිදු නොවෙයි.

    යාචකයෝ හා පදික වෙළෙන්දෝ

    පදිකයන් සඳහා ගමන් කිරීමට ස්ථාපිත කර තිබෙන පදික වේදිකාව පිළිබඳ කතා කළ යුත්තේ ඒවායේ පවතින අඩුපාඩු අනතුර බහුල කිරීමට හේතු වී තිබෙන නිසාය. නගරාසන්නයේ මෙන්ම නගරයෙන් පිටත ස්ථානවල ඇති පදික වේදිකා බොහෝ විට පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු නොකරයි. මේ සඳහා බලපාන කරුණු රාශියකි. පදික වේදිකා එකම උස් මට්ටමක නොමැති වීම නිසා පදිකයන්ට බොහෝ අපහසුතාවන්ට ලක්වීමට සිදුවෙයි. මේවායේ එක දිගට ගමන කිරීම අවහිර වන ආකාරයට විවිධ කණු, පෙට්ටි වැනි දෑ ස්ථාපිත කර ඇත. යාචකයන් හා පදික වෙළෙන්දන් පදික වේදිකා ආක්‍රමණය කර තිබෙන නිසා එවැනි ස්ථාන වලදී පදිකයින්ට ගමන් කිරීමට සිදුවන්නේ මාර්ගය ඔස්සේය. වාහන නැවැත්වීම, වාහන නඩත්තුව පදික වේදිකාවල බොහෝ විට සිදුවෙයි. මේ නිසා පදිකයෝ ඔවුන්ට වෙන්කර තිබෙන පදික වේදිකාවේ ගමන් කරනු වෙනුවට මහාමාර්ගයේ ගමන් කිරීමට පෙලඹෙති. ඔවුන් අනතුරට ලක්වීමටත් වාහන ගමනාගමනයට බාධා ඇති වීමටත් මේ නිසා වැඩි ඉඩක් නිර්මාණය වෙයි. මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම මඟින් වසරකට මිනිස් ජීවිත සිය ගණනක් බේරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී පදිකයන් අධික වශයෙන් ගැවසෙන මාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්ය.පාසල්, ආරෝග්‍ය ශාලා, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, ආගමික ස්ථාන, උපකාරක පංති පවත්වන ස්ථාන, රජයේ කාර්යාල වැනි පදිකයන් අධික වශයෙන් ගැවසෙන ස්ථානවල පදිකයන්ට ප්‍රමාණවත් සහ ආරක්ෂාකාරී පහසුකම් සැලසුම් නොකිරීමෙන් රිය අනතුරු මෙන්ම වාහන තදබදයද ඉහළ යාමට හේතුවන බව තර්කයක් නොමැතිව පිළිගත හැකි කාරණයකි. අපේ රටේ පාසල්, උපකාරක පංති හා ආරෝග්‍ය ශාලා පවතින ස්ථාන අසල අනවසර වාහන නැවතුම් පොළවල් බහුලය. මේවා පවත්වාගෙන යනු ලබන පුද්ගලයෝ පදිකයන්ගේ ආරක්ෂාවට ඇති සියලු ඉඩ සහ පහසුකම් අනවසරෙන් නීති විරෝධීව බුක්ති විඳිති. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

    මෑතකදී මුළු ලෝකයම බිලිගත් කොරෝනා වසංගතයේදී ඇති වූ ව්‍යාකූල තත්ත්වයක් වූයේ නිවෙස තුළ සිරවී සිටීම නිසා බොහෝ දෙනෙකු මානසික පීඩාවන්ට ගොදුරු වීමයි. කොරෝනා ඇඳිරි නීතිය නිමාවූ ක්ෂණයකින් ක්‍රීඩා කිරීමට මෙන්ම එළිපෙහෙළියට ගොස් ඇවිදීමට බොහෝ රටවල් අවකාශ ලබා දුන්නේය. නිවෙස තුළ සිරවී කාලයක් සිටින විට දැනෙන මානසික පීඩාව දුරුකර ගැනීමට නිවසින් පිටත පරිසරයට යෑම මඟින් දුරුවෙයි. 

    ආරක්ෂිත වැටවල්

    තිස් වසරක යුද්ධයක් තිබූ අප රටේ යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවන් විශාල පිරිසක් හට නිවෙස්වලට සිරවී සිටීමට සිදුවී ඇති එක් හේතුවක් වන්නේ අප මාර්ග පද්ධතිය විවිධ අපහසුතා ඇති අයට යෑමට සුදුසු පහසුකම්වලින් තොර වීමය. නගරාසන්නයේ මෙන්ම නගරයෙන් පිටත වුවද බොහෝ පදික වේදිකා පවතින්නේ විශේෂ ආබාධයක් නොමැති අයට වුවද ගමන් කිරීමට අපහසු තත්ත්වයකය. පදිකයන් සඳහා අවශ්‍ය ප්‍රමාණවත් පළලක් බොහෝ පදිකවේදිකාවල දක්නට නැත. ආරක්ෂිත වැටවල් නොමැති නිසා බොහෝ පදිකවේදිකා මාර්ගයට විවෘතව ඇත. මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව ඇදී ආවහොත් කෙලින්ම පදිකවේදිකාවට ප්‍රවිෂ්ට වීමේ අවදානමක් මේ නිසා ඇති වෙයි. බොහෝ ස්ථානවල පදික වේදිකාව සකස් කර තිබෙන්නේ කාණු වලට උඩින් කොන්ක්‍රීට් ලෑලි එළීමෙනි. එම ලෑලි ඒකාකාරී නොවීමත් එකම උසක නොතිබීමත් තැනින් තැන කොන්ක්‍රීට් තට්ටු නොමැති වීමත් නිසා අනතුරු බහුල වී තිබේ. කුඩා ළමයින් සිටින මව්පියන්ට දරුවන් ළමා කරත්තයක (Go Cart) තබා රැගෙන යෑමට පහසුකම් ඉතා සීමිතය.

    මහජනතාව පයින් ගමන් කිරීමට පෙලඹවීමෙන් ලැබෙන වාසි බොහෝය. ශරීර සෞඛ්‍ය දියුණුවීම ඉන් එකකි.කෙටි දුරක් වෙනුවෙන් වාහනයකින් යෑමට අවශ්‍ය නොවීමෙන් වාහන තදබදය අවම වෙයි. පදික පහසුකම් පිළිබඳව වැඩි අවධානය යොමු කිරීමෙන් පදිකයන්ගේ පහසුව සෞඛ්‍ය දියුණු වෙනවා මෙන්ම වාහන ධාවනයට ද පහසුවක් සැලසෙයි. මේ නිසා මාර්ග නිර්මාණය කරන සෑම අවස්ථාවකම පදිකයන්ගේ අවශ්‍යතාවට නිසි තැනක් ලබාදීම වැදගත්ය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here