අපේ සතුට මෞර්යා ළඟ – ධනංජය සිරිවර්ධන

    0
    53

    ධනංජය සිරිවර්ධන රංගන ශිල්පියකු ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් චරිතයක්. තනිකඩ ජීවිතයෙන් විවාහ ජීවිතයට එළඹිලා මීට මාස හයකට කලින් ඔහු පිය භූමිකාවටත් අවතීර්ණ වුණා. ඒ ධනංජයගෙයි ශෂිනිගෙයි කැදැල්ලට එකතු වුණ මෞර්යා ශෛරී පුංචි දෝණි නිසා. ධනංජයගෙයි ශෂිනිගෙයි පුංචි කැදැල්ලේ තොරතුරු වගේම කලාව තුළ ධනංජයගේ භූමිකාවෙ අලුත් තොරතුරු කතා කරන්න ධනංජය එකතු වුණේ මේ විදිහට.

    මෞර්යා දෝණි ටික ටික ලොකු වෙලා. දැන් මාස හයකුත් ගත වෙලා. කොහොමද දෝණි එක්ක ගෙවන ජීවිතේ?

    දුව එක්ක ගෙවන කාලය වෙලාවකට හරිම සතුටුයි.වෙලාවකට දුකයි.මම මීට කලින් දරුවෙක්ගේ ක්‍රියේෂන් එක අහලා තිබ්බට දැකලා තිබ්බේ නැහැ. මෞර්යා කියන්නේ මගෙයි ශෂිනිගෙයි එකතුවෙන් වුණ නිර්මාණයක්. මගේ කොටසක් වගේම ශෂිනිගේ කොටසක් ඒ තුළ ඉන්නවා. ඒක හරිම විශේෂයි.අමුතු දෙයක් විදිහට දැනෙන්නේ. එයා එක්ක ගෙවන කාලය දැනෙන්නේ නැහැ. හැබැයි දුකට කාරණය තමයි මේ කොරෝනා ප්‍රශ්නය නිසා මම රූගත කිරීම්වලට එළියට ගිහින් ආවම ඉන්නෙ වෙනම. එතකොට මට දුවව හුරතල් කරන්න ළං වෙන්න බැරි වෙනවා. ඒ එයාගේ ආරක්ෂාව ගැන හිතලා. එයාට තවම ඒක තේරෙන්නේ නැහැ. එයාගේ ආරක්ෂාව ගැන හිතලම මම කරන දේවල් නිසා දුරස්ථකමක් දැනෙන්න එපා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.

    සාමාන්‍යයෙන් දුවෙක් ළගම තාත්තට කියලා කතාවට කියනවනේ. ඒක ධනංජයට දැනෙන්නෙ කොහොමද?

    පැය විසි හතරෙන් වැඩි කාලයක් දුව ඉන්නේ එයාගෙ අම්මා එක්ක.අම්මා නැතුව එයාට එක මොහොතක්වත් ඉන්න බැහැ. ශෂිනිත් දුව වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කරනවා. පිරිමි අපිට කරන්න බැරි කැප කිරීමක් ගැහැනියක් විදිහට ඇය කරනවා දකිනවා.සමහරු කියනවානේ තාත්තගෙ සෙනෙහස තියෙන්නෙ හදවතේ කියලා .ඊට වඩා සිය ගුණයකට එහා සෙනෙහසක් අම්මා ළග තියෙනවා.තාත්තා හැටියට අපි වැඩ කරන්න ඕනේ .මම දුවගේ අනාගතය හදන්න කැපවෙනවා.නමුත් දරුවෙක්ට මවක් දක්වන සෙනෙහස කියලා නිම කරන්න බෑ.දරුවාටත් ඒක දැනෙනවා.

    හැබැයි ඔබත් දෝණිගේ හුරතල් විඳින්න කාලය වෙන් කරගන්නවා ඇති?

    ඔව්. මම රූගත කිරීම්වලට යන්න කලින් දුව දිහා බලද්දි එයාගේ හිනාව දැකලා මාව එයා ළග ඉබේම නතර වෙනවා එතකොට එයා ළග විනාඩි දහයක් පහළොවක් හරි ඉදලා තමයි යන්නෙ.මෞර්යා දුවට දැන් මාස හයයි.තවම එයා ලෝකය හොයනවා.එයා මලක් දැක්කම වුණත් ඒ මල ඊට කලින් දැකලා තිබ්බත් දැන් දැක්කා වගේ ඒ මල එක්ක හිනා වෙනවා.එයා තවම හිස් කොලයක් වගෙ.එයාගේ හුරතල් ලෝකය අපි විදිනවා.මම තාත්තා විදිහට කරන්නෙ ජිවත්වෙන්න යටිතල පහසුකම් නිර්මාණය කරන එක.නමුත් දරුවා නිර්මාණය වෙන්නෙ අම්මගේ අතින්.දරුවා ඉගෙන ගන්නේ මගේ දේවල් නෙමෙයි අම්මගේ දේවල්.මම දරුවා වෙනුවෙන් සාමාන්‍ය වැඩ කොටස කරද්දි ශෂිනි අම්මා විදිහට අසීමිත වැඩ කොටසක් කරනවා.මට හිතෙන්නෙ තාත්තාගෙ සෙනෙහස මාරයි කිව්වට.ඇත්තටම අම්මගේ සෙනෙහස මාරයි.අම්මා දරුවෙක් වෙනුවෙන් කරන කැප කිරීම් එක්ක අපි මොනවද කරන කැප කිරීම කියලා හිතෙනවා.ඉතිං දුවට අම්මා එක්ක තමයි වැඩිපුරම හුරතල් වෙන්න වෙන්නෙ.මමත් උපරිම එයාට කාලය වෙන් කරන්න උත්සාහ කරනවා.

    ශෂිනි දැන් සියලු වැඩ රාජකාරිවලින් මිදිලා දෝණි වෙනුවෙන් කැපවෙලා ඇත්තේ?

    ඔව්. pink room කියලා එයා කරගෙන ගියපු යූ ටියුබ් චැනල් එකත් එයා කාලයක් නැවත්තුවා.එය අපි නැවත පටන් ගන්න ඉන්නේ.ශෂිනි දැන් මහත් වෙලා.පෙනුම වෙනස් වෙලා.එයා ඒ ගැන දුක් වුණත් පසුතැවෙන්නේ නැහැ.දරුවට මව් කිරි දෙන්න එයා උනන්දු වෙනවා.දරුවගේ හැම වැඩ රාජකාරියක්ම දේව කාරියක් විදිහට එයා කරන්නේ.එයා හොද බිරියක්.මවක්.මම ඒක දකිනවා.

    කලාව පැත්තෙන් අලුත් වැඩ කිහිපයක්ම කළා කියලා ආරංචියි?

    නාඩි නාට්‍යයේ වැඩ නිමයි.ඒ නාට්‍ය තුළ කරපු චරිතය සහෝදර භූමිකාව ඇතුළේ මාව තවත් ප්‍රසිද්ධ කළා.චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන චමත්කා පීරිස් නිෂ්පාදනය කරන තාදි නාට්‍ය 17 වැනිද ඉදන් ITN නාලිකාව ඔස්සේ සෑම සෙනසුරාදා, ඉරිදා දිනකම විකාශය වෙන්න නියමිතයි.ඒ වගේම සුදර්ශන බණ්ඩාර අධ්‍යක්ෂණය කරන චිලි පේස්ට් නාට්‍යයත් විකාශය වෙන්න නියමිතයි.ඒ වගේම රූකඩ පැංචි චිත්‍රපටයත් නැවැත සිනමා ශාලා විවෘතවීමත් එක්ක තිරගත කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

    කොරෝනා ප්‍රශ්නය නිසා ගෙදරට වෙලා හිටපු කාලේ ධනංජය කලාවේ තවත් විශේෂ පැත්තකට යොමු වෙලා තිබ්බා නේද?

    කොරෝනා නිසා ගෙදරට වෙලා හිටි කාලය අපරාදේ කිය කිය හිටියනේ සමහරු.හැබැයි මගේ ජිවිතයේ නම් විශේෂ දේවල් දෙකක් සිද්ධ වුණා.එකක් තමයි මෞර්යා ඉපදීම.අනෙක් දේ තමයි මම පිටපත් රචනයට යොමු වීම.මම ඒ කාලේ ටෙලි නාට්‍ය පිටපතක් රචනා කළා.ඒකේ නම number 9 .එහි රූගත කිරීම් පටන් ගත්තා.චරිත් තමයි එය අධ්‍යක්ෂණය කරන්නේ.සම්පත් තමයි එය නිෂ්පාදනය කරන්නේ.

    ඒ කියන්නෙ දැන් ධනංජය පිටපත් රචනයටත් කාලය වෙන් කරලා?

    ඔව්.මම සිනමා නිර්මාණයකටත් පිටපතක් රචනා කරලා තියෙනවා.තව ටෙලි නාට්‍යයක් ලියන්නත් මට කතා කරලා තියෙනවා.හොද අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදකවරයෙක් මුණගැහුණොත් ඒ නිර්මාණ එකින් එක එළියට ගේනවා.

    අද ඊයේ රංගනයට එකතු වුණ අයත් ටෙලි අධ්‍යක්ෂණයට අතගහනවා.ඇයි ඔබ අධ්‍යක්ෂණයට නොඑන්නෙ?

    මම හිතනවා මට අධ්‍යක්ෂණයට එන්න කල් තියෙනවා කියලා. තව කෙනෙක් කරන නිසා මට අධ්‍යක්ෂණයට එන්න අවශ්‍ය නැහැ. මම අධ්‍යයන කාර්යක් කරන්නේ. පිටපතක් හරියට ලියන එකත් දැනගෙන කරන්න ඕන දෙයක්. මම ලියපු දැනට රූගත කිරීම් කරගෙන යන නාට්‍යයත් කොටස් 45ක නාට්‍යයක්. මම, මහේන්ද්‍ර පෙරේරා, උදාරි, දෙව්නක එක්ක විශාල පිරිසක් මේ නාට්‍යයට සම්බන්ධ වෙනවා. අපි කරන හැම වැඩක්ම අධ්‍යයනයක්. මේ කරගෙන යන වැඩ කොටසේ අවසානයේ අධ්‍යක්ෂකවරයා බිහි වෙයි. ඒකට මට හදිසියක් නැහැ. මම රංගනයට ඇවිත් අවුරුදු 20ක්. මටත් අධ්‍යක්ෂණයට එකතු වෙන බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම බලාපොරොත්තුවක් තියෙන එක සාධාරණයි.මම ක්ෂේත්‍රයේ වගකීම් සහගතව වැඩ කරන විදිහ හැමෝම දන්නවා. මමත් මේ කරගෙන යන වැඩ කොටස ඇතුළේ අධ්‍යක්ෂකවරයෙකු වීමේ බලාපොරොත්තුව රැකගෙන වැඩ කරන්නෙ.

    අධ්‍යක්ෂණයට එන්න සුදුසු කාලය බලාගෙනයි ඔබ වැඩ කරන්නෙ?

    සමහරු අහනවානේ කෙනෙක්ගෙන් දේශපාලනයට එන්නේ නැද්ද කියලා.ඇත්තටම දේශපාලනයට එන්න ඕනේ මිනිසුන් ඒ කෙනාව ඉල්ලනවානම්.ඒ වගේමයි ක්ෂේත්‍රයේ අය මගෙන් අහනවා අධ්‍යක්ෂණයට එන්නෙ නැද්ද කියලා.මිනිසුන් මාව අධ්‍යක්ෂකවරයෙක් ලෙස විශ්වාස කරන දාක මම අධ්‍යක්ෂණයට එනඑක වටිනවා.මම ඊට අවශ්‍ය පියවර තමයි මේ දාගෙන යන්නේ.

    රංගන ශිල්පියකු විදිහට ඔබට මේ තාක් කරන්න ලැබුණ දේවල් ගැන තෘප්තියක් තියෙනවද?

    තෘප්තිමත් විය හැකි නිර්මාණ මට ලැබිලා තියෙනවා.රතු අහස වගේ සම්මානනීය වුණ නිර්මාණ මාව හොයාගෙන ආපු නිර්මාණ.

    රතු අහස සහ සිල්ලර සමනල්ලු කියන නිර්මාණ ගත්තොත් ඒ නිර්මාණ දෙකම එකම නිෂ්පාදකවරයාගේ නිර්මාණ. රතු අහස වගේ ගැඹුරු නිර්මාණයකත් සිල්ලර සමනල්ලු වගේ වාණිජ ධාරාවේ අතිශය ජනප්‍රිය නිර්මාණයකත් මට රගපාන්න ලැබුණා.ඔය අන්ත දෙකටම මාව ගැලපුණා. සද්ධා මංගල වැනි වානිජ තලයේ හොද නිර්මාණ බිහි කරන්නෙකුගේ නිර්මාණයකට වගේම සම්භාව්‍ය මට්ටමේ ගැඹුරු දේශපාලන කාරණා සාකච්චා කරන නාමල් ජයසිංහ වගේ රචකයෙකුගේ නිර්මාණවලටත් මාව ගැලපුණා. මම මගේ රංගන ධාරිතාවය ඒ නිර්මාණ තුළින් පෙන්නුවා. රංගනයට ඇවිත් මේ තාක් මම නිර්මාණ 300 කට වඩා රගපාලා තියෙනවා. මම රගපාපු නාට්‍ය නොබලපු කෙනෙක් වුණත් මම ධනංජය සිරිවර්ධන කියලා දන්නවා. මම නළුවෙක් කියලා ඔවුන් විශ්වාස කරනවා. මට නළුවෙක් විදිහට ජනප්‍රිය තලයේ හිණි පෙත්තේ ඉන්න ඕන වුණේ නැහැ. මට යම් කිසි ජනප්‍රියත්වයක් තියෙනවා. මම ඒ තත්ත්වය පවත්වගෙන ගියා. මට මං කරන දේවල් ගැන තෘප්තියක් තියෙනවා සහ මට ලැබුණ දේවල් ගැනත් තෘප්තියක් තියෙනවා.

    ඔබ නිවේදන භූමිකාව ඇතුළෙත් බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තිබෙනවා?

    ITN නාලිකාවේ සුදත් රෝහණ මහතා ඇතුළේ පිරිස මට chat and music වැඩසටහන කරන්න කතා කළේ මං ගැන යම් විශ්වාසයක් ඇතුව. අපිට ඕන වුණේ මිනිසුන්ගෙන් බැනුම් අහලා රේටින්ග්ස් වැඩි කරගන්න වැඩක් කරන්න නෙමෙයි.යම් තත්ත්වයක් රැකගත්ත වැඩසටහනක් කරන්න අපිට ඕන වුණේ. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මේ වැඩසටහන බලනවා. වැඩසටහන විකාශය වෙද්දි සජීවිව බොහෝ දෙනෙක් මට කෙටි පණිවුඩ එවනවා.ලැබෙන ප්‍රතිචාර හොදයි. chat and music, වැඩසටහන එක්ක මම තවත් ප්‍රේක්ෂක විශ්වාසය දිනාගත්තා.

    ඔබ සහ සම්පත් කලාව වෙනුවෙන් අලුත් පරපුරක් බිහි කරමින් හිටියා.ඒ කර්තව්‍යයට මොකද වුණේ?

    අවාසනාවකට කොරෝනා තත්ත්වය නිසා වැඩමුළුව නවත්තන්න වුණා.. නමුත් ලබන වසරේ මුලදිවත් එය නැවත පටන්ගන්න හිතාගෙන ඉන්නේ.කලාව ඉගෙන ගන්න එක වැදගත්. මොකද ගොඩක් අය රංගනය කියන්නේ රැකියාවක් නෙමෙයි විනෝදාංශයක් කියලා හිතන්නේ. කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉද්දි මිනිස්සු බලාගෙන හිටියේ බනිස්කාරයා එනකල් මිසක් නාට්‍යයක් එනකල් නෙමෙයි.කොරෝනා කාලේ කලාකරුවෝ සිංදු කියද්දි මිනිස්සු බැන්නා මෙච්චර දෙයක් වෙලා තියෙද්දි මෙයාල සින්දු කියනවා කියලා. මිනිස්සු හිතන්නේ සිංදුවක් වුණත් නිකන් ඇහෙන්න ඕන දෙයක් කියලා. සින්දුවකින් වුණත් අපේ ජිවිත කොයි තරම් වෙනස් වෙනවද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු බඩ ගැන විතරයි හිතන්නේ. ඔළුව ගැන හිතන්නේ නැහැ. බඩ ගැන හිතන්න ඕනේ. හැබැයි කලාව කියන්නේ අත්‍යවශ්‍ය සේවයක් කියලා මිනිසුන් හිතන්න ඕන. කලාව හරියට හොයා ගත්තොත් ගොඩක් ප්‍රශ්නවලට විසදුම හොයාගන්න පුළුවන්.ඒ නිසා බඩ පුරවා ගන්න ගමන් කලාවත් හොයන්න කියලා මතක් කරනවා.මාධ්‍ය වලින් වුණත් හරි මාධ්‍ය මොනවද කියලා හොයාගන්න.ඔවුන් සමාජ ගත කරන්නෙ මොනවද කියලා වටහ ගන්න.දැන් බිහිවෙන පරම්පරාවට කතා කරන්න ශක්තියක් නෑ. චැට් කරන්න විතරයි පුලුවන්. පෞර්ෂයක් හීන වුණ සමාජයක් බිහිවෙමින් තියෙන්නෙ. ඒ නිසා අනාගත පරම්පරාව වෙනුවෙන් දරුවන්ට හරි දේ පෙන්වන්න. හරි දේ තෝරලා දෙන්න.ජනමාධ්‍යවලින් වුණත් සමාජ ගත කරන හරි දේ විතරක් තෝරාගන්න මග පෙන්වන්න. නැත්නම් අනාගතයට ලොකු ප්‍රශ්නයක් වෙයි.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ 
    ඡායාරූප -Dark Room

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here