ඉන්දියාව නොසන්සුන්

0
10

සංචාරක ඉන්දීය පිල සහ ඔස්ට්‍රේලියාව අතර අනිද්දා (7) සිඩ්නි නුවරදී ආරම්භ වීමට නියමිත තුන්වැනි ටෙස්ට් තරගය නැරඹීමේ අවස්ථාව විසිදහසකට ආසන්න ප්‍රේක්ෂකයන් පිරිසකට විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කළත්, තම ක්‍රීඩකයන්ට හෝටල් කාමර තුළ නිරෝධායනය වීමට කටයුතු යොදා තිබීම පිළිබඳ ඉන්දීය පිල අප්‍රසාදය පළ කර ඇත.

ප්‍රේක්ෂකයන්ට තරගය නැරඹීමට අවස්ථාව තිබියදී තම කණ්ඩායම සත්වෝද්‍යානයක සිටින සතුන් මෙන් හෝටල් කාමර තුළ සිරවී සිටීමට සූදානම් නැතැයි ඉන්දීය පිල කියා සිටී.

මෙල්බර්න් නුවර සිට සිඩ්නි නුවර බලා පියාසර කිරීමට පෙර ඉන්දීය පිලේ ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණයට මුහුණදුන් අතර ඒ සියලු පරීක්ෂණ ‘නෙගටිව්‘ ප්‍රතිඵල පෙන්වා ඇතැයි වාර්තා වේ.

එවැනි තත්ත්වයක් තුළ සංචාරයේ ඉතිරි භාගයේදිත් හෝටල් කාමර තුළ කොටුවී සිටීම ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් වනු ඇතැයි ද ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.

ඔස්ට්‍රේලියානුවන්ට තරග නැරඹීමට අවස්ථාව දෙන්නේ නම් තම කණ්ඩායමටත් ඒ අයුරින්ම සළකන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

නොඑසේනම් ඔස්ට්‍රේලියානු රජයේ කොවිඩ් නීතිරෙගුලාසි එරට වැසියන්ටත් පොදු කාරණාවක් බවට පත්කරන්නැයි ද ඔවුහු ඉල්ලා සිටිති.

මේ අතර ඉන්දීය පිලේ අප්‍රසාදය පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ක්වීන්ස්ලන්ත රජයේ බලධාරීන් කියා සිටින්නේ රජයේ සෞඛ්‍ය නීතිරෙගුලාසිවලට අනුව කටයුතු කිරීමට ඉන්දීය පිල අකමැති නම් සිවුවැනි තරගය පැවැත්වෙන තම ප්‍රාන්තයට පැමිණීමෙන් වළකින ලෙසටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here