එකෝ­මත් එක කාලෙක

    0
    4

    ‘එකෝමත් එක කාලෙක’… අපි පුංචි දවස්වල අහපු හැම කතන්දරයක්ම පටන්ගත්තෙ එහෙම. කතන්දර ඇහෙන සහ අහන නානාවිද විදි හැම පුංචි

    දරුවෙක්ටම තියෙනවා. රතු හැට්ටකාරී වගේ ඇත්ත ජීවිතෙන් පෙත්තක් පෙන්වන කතන්දර වගේම, සින්ඩරෙල්ලා වගේ සුරංගනා කතන්දරත් මීට දශක ගනනාවකට කලින් පොඩි දරුවො විදිහට උස්මහත් වෙච්ච අපේ හිත්වල තාමත් ජීවමාන වෙලා තියෙනවා.

    සමහර පොඩි දරුවො එකම කතාව ආයෙ ආයෙත් හැමදාම අහන්න ආසවෙන අතරෙ, තවත් සමහර දරුවො දවස ගානෙ අලුත් කතන්දර අහන්න ආස වෙනවා.

    ඒ කාලෙ අපි වගේම දැන් කාලේ අපේ දූ දරුවෝ කතන්දර එක්කලා උස් මහත් වෙනවා. ඒත් ඒ කාලෙ කතන්දරවලට වැඩිය දැන් කාලෙ කතන්දර යථාර්තයෙන් එහෙම නැත්නම් ඇත්ත ලෝකෙන් ඈතට ගිහින් කියලා මට හිතෙනවා.

    නිදි කුමාරිගේ කතාවේ හැටියට සුරංගනාවියො අතරෙ වුණත් නපුරු සුරංගනාවියෝ ඉන්නවය, එයාලා සාප කළොත් ඒක ජීවිත කාලෙටම බලපාන්න පුළුවන්ය, ඒ හන්දා නපුරු උදවිය එක්කලා වුණත් තරහා වෙන්නේ නැතුව හොඳ හිත තියාගන්න පුළුවන් නම් අපූරුය, වගේ සාමාන්‍ය ජීවිතේට ගැලපෙන ආදර්ශ බොහොමයක් තියෙනවා.

    සින්ඩරෙල්ලා කතාවේ තියෙන්නේ නපුරුකම කරුණාවන්තකමෙන් ජය ගන්න විදිහ ගැන, දාරක ස්නේහය ගැන, දුටුවනම ඇති වෙන ආදරය ගැන. රජ කුමාරයෙක් වුණත් ආදරේ වෙනුවෙන් අශවයෙක්ගේ පිටේ නැගලා, ආදරවන්තියව හොයන්න රටපුරාම ඇවිදින්න පුළුවන්ය කියන එක ගැන. ඒ වගේම ඉන්දියානු උප මහද්වීපයට හුඟාක් ගැලපෙන ආදර්ශයක් වෙච්ච දොළහේ කණිසමේ, ඒ කියන්නේ වෙලාවට වැඩ කිරීමේ වැදගත්කම ගැන.

    අසූවේ දශකයේ අග භාගයේ පුංචි සන්දිය ගත කරපු අපේ පරම්පරාවේ උදවිය ඇහුවේ ඒ පන්නේ සුරංගනා කතන්දර. අද කාලේ ජනප්‍රිය සුරංගනා කතන්දර වෙච්චි ෆ්‍රෝසන් (Frozen),සම්පූර්ණයෙන්ම කල්පිත සත්වයෙක් වෙච්චි කඟවේනා (Unicorn) ගැන නිපදවෙච්චි කතන්දර ජීවිතේ ගැන සම්පූර්ණ සුරංගනා ලෝකයක් මවනවා මිසක ජීවිතේට වැදගත් පාඩම් අමුණනන්නේ නැතිම තරම්.

    සම්පූර්ණ කල්පිතයක් වෙච්චි, ඇත්ත ජීවිතේට අසම්බන්ධ සුන්දරත්වයෙන් විතරක් පිරිච්චි අලුත් කාලෙ සුරංගනා කතන්දරවලට පොඩි දරුවො ආස වෙන්නෙ ඒ අයට අහන්න දකින්න ලැබෙන්නෙ ඒ කතන්දර විතරක් හන්දයි.

    අද දවස වෙනකොට සුරංගනා කතන්දරවලිනුත් උපරිමෙන්ම සල්ලි උපද්දන වෙළෙඳපොළක් හැදිලා හමාරයි. කතාවකට ජනප්‍රියත්වය ලැබෙද්දි ළමයි ඉස්කෝලේ ගෙනියන පොත් මල්ලේ ඉඳලා, දත් බුරුසුව වෙනකල් හැමදේම ඒ කතාවේ චරිත ඇසුරින් නිමවෙලා වෙළෙඳපොළට ඇතුලු වෙන්න අද කාලෙ ගත වෙන්නේ බොහොම පොඩි දවසක් විතරයි. ඊට පස්සෙ සුරංගනා කතන්දර නොතේරෙන පොඩි වයසේ ඉඳලාම දරුවො අර කතන්දරවල රූපවලට හුරු වෙනවා. කතාවෙන් ගන්න ආදර්ශෙකට වැඩිය පුංචි හිත්වල ඉතිරි වෙන්නෙ අර රූපවලට ඇතිවෙන කැමැත්තක් සහ වෙළෙඳපොළ භාණ්ඩවලට වෙන ඇබ්බැහියක් විතරයි.

    ඊට පස්සෙ පොඩි දරුවන්ගේ උපන්දින සැමරුම්වල සැරසිලි නිමවෙන්නේ අර කියන වෙළෙඳපොළ වඩාත්ම සාර්ථක ලෙස ආක්‍රමණය කරලා තියෙන සුරංගනා කතන්දරවල චරිත ඇසුරෙන් විතරයි. වඩාත්ම හොඳින් වෙනස්කම්වලට අනුවර්තනය වෙන ජීවීන් පරිණාමයේදී ඉතිරි වෙනවා වගේම, වඩාත්ම හොඳින් වෙළෙඳපොළ ආක්‍රමණය කරන සුරංගනා චරිත, කතන්දරවල හරය ගැන නොසලකාම වැඩියෙන්ම විකිණෙන සහ වැඩිපුරම පුංචි හිත්වල ජීවමාන වෙන කතන්දර බවට පත් වෙනවා.

    ළඟදි දවසක පුතෙක් පුංචි ගෑනු ළමයින්ගේ ආසම සුරංගනා කතන්දර ගැන මෙහෙම කියනවා. ‘අපෝ එයාලා ආස ඇත්ත ලෝකේ සිද්ධ නොවෙන කතන්දරවලට නේ’. ටිකක් වැඩිපුර හිතලා බැලුවාම ඒ කතාවෙ ඇත්තක් තියෙනවා කියලා මට හිතෙනවා.

    සුරංගනා කතන්දරවලින් ඩිංගක් ඈතට ගියොත්, අවුරුදු තුන හතරෙ ඉඳලා පොඩි දරුවන්ට දෙමව්පියෝ රූපවාහිනියේ බලන කතන්දර තේරෙනවා. ඒ කතන්දර ඇසුරෙන් දරුවන්ගෙ සාමාන්‍ය ජීවිතේ වීර චරිත ගොඩ නැගෙනවා. සමහර වෙලාවට දරුවන්ට තාම වැඩිය තේරෙන්නෙ නෑ කියලා හිතාගෙන, එහෙම නැත්නම් තමන්ගෙ දවසෙ මහන්සිය නිවාගන්න දෙමව්පියො තුවක්කු අතින් ගත්ත වීර චරිත ජීවත්වෙන කතන්දර බලනවා.

    ළඟදි දවසක් ඉස්කෝලේ පුංචි පන්තියක ටීචර් කෙනෙක් ‘ඔයාලා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?’ කියන බොහොම සම්ප්‍රධායික ප්‍රශ්නෙ පන්තියේ ඉන්න දරුවන්ගෙන් අහනවා. හුඟාක් දරුවො දොස්තරලා, ඉංජිනේරුවො වෙන්න කැමතියි කියන අතරෙ, එක දරුවෙක් දෙන්නෙක් ටීචර් කෙනෙක්, රූපවාහිනී නිවේදකයෙක් වෙන්න කැමතියි කියනවා.

    ‘ඔයා කවුරු වෙන්නද පුතේ කැමති?’ වැඩිය කතා නොකරන, ඒත් නිතරෝම ඉස්සර පේළියේ ඉඳගන්න නිරෝෂ ගෙන් ටීචර් ආයෙමත් සැරයක් ඇහුවේ නිරෝෂ ඉඳගෙන ඉන්න පුටුව ගාවටම ගිහින්.

    ටිකක් වෙලා ටීචර් දිහා අවිනිශ්චිත බැල්මකින් බලාගෙන උන්නු නිරෝෂ ‘මං කැමති මිනීමරුවෙක් වෙන්න …’ කියලා ඇහෙන නෑහෙන හඬකින් ටීචර්ට කියනවා.

    නිරෝෂගේ උත්තරේ ටීචර් ගෙ හිත කලබල කලත්, කලබල බවක් නොපෙන්වා ‘ඇයි පුතේ එහෙම කියන්නේ?’ කියලා ටීචර් අහනවා.

    “අපේ තාත්තා හැමදාම හවසට වැඩ ඇරිලා ඇවිත් බලන කතන්දරවල ඉන්න අංකල්ලා නිතරෝම තුවක්කුවලින් වෙඩි තියනවා. එතකොට මිනිස්සු මැරිලා බිම වැටෙනවා. ඉතින් මාත් ලොකු වුණාම ඒ වගේ අංකල් කෙනෙක් වෙනවා…’ කියලා ටීචර් දිහා අහිංසක බැල්මක් හෙලලා නිරෝෂ කියනවා.

    පුංචි කාලේ අහන දකින කතන්දර, දරුවො ලොකු වුණාට පස්සෙත් ඒ ජීවිතවලට මහ විශාල බලපෑමක් කරනවා.

    ඒ හන්දා කතන්දර ඇසුරෙන් දරුවන්ගෙ ජීවිත කතාවල වීරයෝ වෙන චරිත ගැන බරසාර වගකීමක් අම්මලා තාත්තලාටත් තියෙනවා.

    දසුනි හෙට්ටිආරච්චි

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here