ඒ දව­ස්වල

    0
    4

    “ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය

    කටුරොද ගම්මාන තරමක පිටිසරය.

    ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය

    කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය.”

    සාගර පලන්සූරිය; එහෙම නැත්තං කේයස් ගෙ සුදෝසුදු කවි පොතේ හුඟාක් කවි තාමත් මට කට පාඩම්. පුංචිම පුංචි කාලෙ පුෂ්පා අක්කයි මට සුදෝ සුදු පොත දුන්නේ. පුෂ්පා අක්කා කියන්නෙ දෙහිවල ගාලු පාරේ ගේක හිටපු මගෙ ලොකු අම්මගෙ ලොකුම දුව. මං ගමක අසිරිය විඳ ගත්තෙ සුදෝ සුදු කියවලා. කවි පොත පුරාම ගලා ගෙන ගිය ගමේකම, කුඹුර, වෙල් ඉපනැල්ල, නියර,කඩමණ්ඩිය ඇළ දොළ, බටනලා රාවය; මං මගෙ හිත ඇතුලෙන් විඳගත්තා.

    නොදුටු ගමක අපූරු ආශ්වාදය සොඳුරු චමත්කාරය, සුදෝසුදු කාව්‍යයේ පෙළ ගැස්ම ඔස්සේ රස වින්දා. දෙහිවල අපේ වෙද පාර මට පුංචි ගමක්. මං පුංචි දවස්වල ආදරය, ප්‍රේමය, විරහව, වියෝ දුක හතර පද කවියෙන් සමුද්‍ර ඝෝෂ විරිතෙන් තාලෙට ගායනා කෙරුවා.

    කවියෙන් ගලාගිය ආනන්දජනක චමත්කාරය අදටත් මගෙ හිතේ හතර දිග්බාගෙම පැලපදියං වෙලා. කටුරොද වනරොද, බඩවැටි, පුංචි කැලෑ මං හැබැහින් දැක්කා. ගේ ඉස්සරහ පාළුවට ගිය මහ මූකලානක් වගෙ පෙනුණ බිම්යාය එක්ක, හල්මිල්ල, රබර්, සාදික්කා, යකිනාරං වගේ මහ රූස්ස ගස් එමටයි. ඒ පැත්තෙ ඒ දවස්වල කිව්වෙ ජේ.ආර් ගෙ වත්ත කියල.

    ඒ දවස්වල තිවුනු විද්‍යාවර්ධන පන්සල ලඟිං ගලාගෙන ගිය ඇළ පාර ඇළ දෑල මැදිකරගෙනයි ගියෙ අපෙ පාර. දෙපැත්තතෙම පුංචි බෝක්කු. මහ වැස්සට ඇළේ වතුර ගලන්නෙ ගොජ ගොජ ගාලා ලූල්ලු, කාවයියො, ඇළේ ඕනෑ තරං. පාවෙන පුංචි පාන් කෑල්ලකට පොරකන මාලු, ලූල්ලු, කාවයියො ගොඩ ගහල හාමුදුරුවන්ට නොපෙනෙන්න කොල්ලෙක් දෙන්නෙක් හෙමිහිට තංගුස් දාලා මාලු අල්ලනවා. ඒ කාලෙ ආවාස වත්තෙ තාප්ප මායිං බිත්ති තිවුනෙත් නැති තරං.

    ඇළ ලඟින් ඔබ්බට ආයෙ අපේ පාර දිගේ යද්දි ඉස්සරහට දකුණත පැත්තෙන් පරණ වෙද පාර. මස්කඩේ තිවුනෙ ඒ පැත්තෙ. ඒ දවස්වලත් පැත්ත පළාතෙන්වත් යන්න කැමතිම නැති පාර. චුට්ටක් හැරුනම මහන ගෙදර. ඊටත් එහායින් නීල් අයි.පෙරේරා මහත්තෙය උන්නු නිවහන. තව චුට්ටක් යද්දි, සිංඤ්ඤො මහත්තයගෙ ඉමක් එතෙරක් පේන්නැති පොල් වත්ත. පොල් වත්ත මැද්දෙ පොඩි අඩිපාරක් දිගේ ගාටද්දි, ශ්‍රී මහා බෝධිය පන්සලයි. පේන්නෙ සුදු සෑය යන්තමට පෙනෙද්දි, දෑතින් නමස්කාර කරල, මං එනව ගිය පාර දිගේම ආපහු හැරිලා. ඊළඟට අපේ ගෙදරට එහා හාමුගෙ වත්තටත් එහා පාරෙ හිටිය ඒ දවස්වල නැවතිල ගේක, හෙන්රි ජයසේන මහත්තෙය. මහත්තෙයත් සුදුම සුදුයි. රෙන්ටන් අල්විස් හිටියෙත් ඒ පාරෙ.

    දරු පැටව් ගොඩක් එක්ක ළඟ පුංචි ගේක හිටියෙ උක්කුං අයියා. ඊටත් එහා ලන්සි ගෙයක්. ඒ එක්කම පේන්නෙ, ඉමක් එතෙරක් නොදකින මහා තණකොළ යාය. උක්කුං තණ කොළ කැපුවෙ, ඒ කොටුවෙ. අඩි තුන හතරක් උස තණ නිල්ල මං දැක්කෙ කිරි වැදිච්ච බණ්ඩි ගොයමක් විදිහට. කිරි පට්ටියේ වැඩ කරපු කන්දසාමි, තණ කොළ කැපුවෙ රුද්‍රා මහත්තෙයගෙ ඒ තණ යායෙමයි. කිරිම කිරි පාට කොක්කු පේළි පේළි ඉගිල්ලෙනව විඩෙන් විඩේ. තණ යාය අද්දරින් ගලං යන කාණුවලත් මැළු පැටව් එමටයි. ගප්පි, කාවයි, ලුල්ලු පිරෙන්නම. උන්ව නෙලන්නයි ඉන්නෙ ඇහැ ගහගෙන’ කොක්කු. දියබරියො පීනනව එපා නොකියන්නම. හවස් ජාමෙ වෙද්දි, තණ යාය පුරාම ගෙම්බන්ගෙ බක බකය… රැහැයි පළඟැටි වාදනය එකටම ගලනව; එක සීරුවට වගෙ. මීගස් අඹ,දං ගස් ඉහත්තාවෙන් කරුවල මෝදු වෙද්දි, මා වවුලො කිරි වවුලො රෑන් පිටින් කරලියේ. ඉස්කෝලෙ නැති නිවාඩු දවස්වල, මං සක්මන් කරන්නෙ තණ යාය නියර අද්දරින්. පාරෙන් යනවට වඩා සුබයි ඒ ගමන. කෙටියි. හීන් හුළඟත් සනීපයි. පාන්දර තණ ගස් අග්ගිසිවල කිරි පාට පෙණ කැටි පිරිල. පින්න නං නෙවේ ඒ. පෙණ කැටිය ඇඟිලි අගින් පොඩිකරද්දි, මතුවෙන්නෙ ඇතුලෙ අරක් ගෙන ඉන්න මැස්සෙක් නැත්තං මකුලුවෙක්. තණයායෙ, නියර දිගේ ගියෝතිං මතුවෙන්නෙ ලියනගේ පාරට වමතින්; දකුණතින් මල්වත්ත පාරට. වම් පැත්තෙන් ගිහින් සෙල්ලම් කරන්නෙ නිහාල්. මල්ලි, චුක්කා, ඉන්දරා, අජා එක්ක දාස මාමලෑ ගෙදර. දකුණු පැත්තෙන් ගියෝතිං ලොකු අම්මලැයි ගෙදර. ලොකු අම්මට ළමයිම අටක්. පාළු නැතුව පුලුවං සෙල්ලම් කරන්න. සරත් අය්යා, පද්මක්කා, සෝමෙ, මාලෙ, ඔලිවර්, සුද්දි අපි ඔක්කොමලාම මහ සියඹල ගහ යට සෙල්ලමේ. පුෂ්පා අක්ක නං නෑ එන්නෙ සෙල්ලමට.එයා ලොකු වැඩියිලු. ඒ ජීවිතේ රහම දවස්. මතකෙන් මකන්නම බැරි දවස්.

     

    ලක්ෂ්මි බෝඹුවල

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here