කේන් යළි වැඩට බසී

0
16

නායක කේන් විලියම්සන් නොදැවී රැස් කළ ශතකය මතින් ඉනිම ගොඩ නැගූ නවසීලන්ත පිල සංචාරක පාකිස්තානයට එරෙහිව ක්‍රයිස්චර්ච් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ නිමාවට පත් වන විට පාකිස්තාන පළමු ඉනිමට ලැබූ ලකුණු 297ට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 286ක් ලබා සිටියේය. ඒ අනුව නවසීලන්ත පිල කඩුලු 7ක් අතැතිව පාකිස්තාන පළමු ඉනිමට වඩා තවත් ලකුණු 11ක් පසුපසින් සිටී.

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන නවසීලන්ත නායකයා ඊයේ නොදැවී ලකුණු 112ක් රැස් කරමින් සිය ටෙස්ට් තරග දිවියේ 24 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් දුන් මැදපෙළ පිතිකරු හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 89ක් ලබා සිටින අතර, දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 215ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩ නැගූහ.

තරගයේ පළමු දිනය පෙරේදා නිමා වන විට සංචාරක පාකිස්තාන පිල ලකුණු 297කට දැවී ගියේය. ඊයේ උදෑසන සිය පළමු ඉනිම ආරම්භ කළ නවසීලන්ත පිලේ පළමු කඩුලු 2 ම බිඳ වැටුණේ ලකුණු 52 දීය. ටොම් බන්ඩල් ලකුණු 16කට දැවී ගියේ ෆාහිම් අෂ්රෆ්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. ශාහින් ෂා අෆ්රිඩි යැවූ ඊළඟ ඕවරයේදී ටොම් ලේතම් ලකුණු 33කට දැවී ගියේ හාරිස් සෝහේල් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. අනතුරුව රොස් ටේලර් ලකුණු 12කට දවාලීමට මොහොමඩ් අබ්බාස් සමත් විය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 2කට ලකුණු 66ක් ලබා සිටි නවසීලන්ත පිල පස්වරු තේ පානය වන විට කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව145කි.

ලකුණු අතරේ සිටින නවසීලන්ත පිලේ නායක විලියම්සන්ට ඊයේ දිනය නිමා වන විට සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 7000 සම්පූර්ණ කිරීමට අඩු වී තිබුණේ ලකුණු 11ක් පමණි. කෙසේ වෙතත් සිය ඉනිම අතරතුර ඔහු උඩපන්දු දෙකකින් සහ දුවද්දී දැවී යෑමකින් කඩුල්ල බේරා ගැනීමට වාසනාවන්ත වූයේ පාකිස්තාන පිලේ දුර්වල පන්දු රැකීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here