කොවිඩ් එන්නත් ගෙන්වූ වහාම ලබාදීමට ආරක්ෂිත ස්ථාන 350ක්

0
15
Author(s): 
සන්ධ්‍යා කරුණාරත්න

කොවිඩ් – 19 මර්දනය සඳහා වූ එන්නත් මෙරටට ගෙන් වූ වහාම එන්නත් ලබාදීම සිදු කරන ආරක්ෂිත ස්ථාන 350 ක් මේ වන විටත් හඳුනාගෙන ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ‘දිනමිණ‘ට ඊයේ (04) ප්‍රකාශ කළේය.

එන්නත් ලබාදෙන ස්ථාන මෙන්ම එන්නත් ලබාදීම සිදු කළ යුතු කණ්ඩායම් සම්බන්ධයෙන් ද හඳුනාගෙන ඇති බවත් කොවිඩ් අවදානම පවතින ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ඉදිරි පෙළ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය, ඉදිරි පෙළ වයස්ගත පිරිස සහ නිදන්ගත රෝග පවතින වයස්ගත පිරිස, නගර සභාවන්හි කම්කරුවන්, විදෙස් රටවලට නිතර යන එන පිරිස ලෙස එන්නත් ලබාදීම සිදු කළ යුතු කණ්ඩායම් හඳුනාගත් බවත් ඒ මහතා පැවසුවේය.

කොවිඩ් මර්දනය සඳහා මෙරටට ගෙන්විය යුතු එන්නත් 5 ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ නිෂ්පාදිත ෆයිසර් එන්නත, එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෂෙනිකා එන්නත, ඉන්දියාවේ නිෂ්පාදිත බාරත් බයෝටෙක් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆ්‍යු එන්නත, චීනයේ නිෂ්පාදිත සයිනොවැක් එන්නත යනාදිය ඒ අතර වන බවත් ෆයිසර් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෂෙනිකා එන්නත් කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බවත් ඒ මහතා කීය.

මෙම එන්නත් නිෂ්පාදනය කරන සමාගම්වලින් NDA වාර්තාවන් ඉල්ලා ඇති බවත් එම වාර්තාවන් ලැබුණු පසුව එන්නත් ගෙන්වීම හැකි ඉක්මණින් සිදු කරන අතර එන්නත් ගෙන්වා ගැනීම සඳහා ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුවේ, යුනිසෙෆ් ආයතනයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබෙන බවත් හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here