කොළඹ වරායේ නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයකට මුල්ගල

0
34
Author(s): 
චන්ද්‍රිකා පෙරේරා

බහලු මෙහෙයුම් මධ්‍යාස්ථානවල ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණෙන් නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථනායක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ (4) කොළඹ වරාය, සමඟි බහලු පර්යන්ත පරිශ්‍රයේදී යෝජිත නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට මුල්ගල තැබීය.

නවීන තාක්‍ෂණය සමඟ අනුගතව ඉදිකිරීමට යෝජිත මේ නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය, වසරක් තුළ ඉදිකිරීමට අපේක්ෂිත අතර ලබන වසරේ එනම් 2022 ජනවාරි මස දී එමඟින් ගුදම් පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපේක්ෂා කරයි. මුල්ගල් තැබූ යෝජිත බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය සාමාන්‍ය නැව් බඩු සඳහා වර්ග මීටර් 9,500ක ද, අන්තරායකර නැව් බඩු ගබඩා කිරීම සඳහා වර්ග මීටර් 1,060ක වපසරියකින් ද සමන්විත වෙයි.

කලාපීය කේන්ද්‍රිය වරායක් ලෙස කොළඹ වරාය, ගෝලීය සහ මෙරට ආර්ථිකයේ සැපයුම් දාමයේ සංවර්ධනය කඩිනම් කිරීම මූලික කර ගනිමින් මෙය ඉදිකිරීමට කටයුතු කරයි. ඒ අනුව ලෝකයේ බහලු වරායවල තරඟකාරීත්ත්වයට මුහුණ දීම මෙහි මූලික පරමාර්ථ අතර වේ. ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගතව වරාය සේවා පහසුකම් සංවර්ධනයට මේ අනුව පියවර ගෙන තිබේ.

එම අවස්ථාවට එක් වූ වරාය හා නාවික ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

“මේ මොහොත වරායේ උන්නතිය වෙනුවෙන් දායක වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ විශේෂිත පිටුවක් පෙරළන මොහොතක්. මේ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය නිසි කාල වකවානු තුළ ඉදිකරමින් වරාය සේවා සැපයුම් දාමය නවීන තාක්‍ෂණික පහසුකමින් සමන්විත විශිෂ්ට සේවා සැපයීමක් කරා යොමු කිරීමට ඉවහල් වන බව මා අපේක්‍ෂා කරනවා. වරාය භූමියේ ඉදිකිරීම් සිදුකිරීමේ දී ජාතික ප්‍රතිපත්ති සැළසුම්වලට අනුකූලව කටයුතු කරමින්, වරාය භූමිය ආරක්‍ෂා කර ගනිමින් කටයුතු කිරීමට මා නිරන්තරයෙන් අදාළ අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. වරාය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ දී එකී තීන්දු තීරණ රටේ අනාගතය ශක්තිමත් කිරීමට නිසැකයෙන්ම ඉවහල් විය යුතු යැයි මා විශ්වාස කරන අතර අකර්මණ්‍ය වී තිබූ වරාය නැවත පණ ගන්වන්න මා කටයුතු කරන බව අවධාරණය කරනවා.“

ගුදම් පහසුකම්, බහලු අංගණ වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නාවික කර්මාන්ත රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර එහිදී අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යළිත් ස්වර්ණමය දිශානතියකට ගමන් කරමින් සිටින අතර මෙදින වරාය සේවා සැපයුම් ක්‍ෂේත්‍රයේ නව පිටුවක් පෙරැළෙමින් ඇරඹෙන නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය, කොළඹ වරාය තරගකාරී වරායයන් අතර, ප්‍රමුඛතම තලයට රැගෙන එතැයි තමා විශ්වාස කරන බවය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා-

“සේවා සැපයුම් අවශ්‍යතා අදට ගැලපෙන ලෙසින් නවීකරණය කරමින්, නවීන තාක්‍ෂණය සමඟ අනුගතව ඉදිකිරීමට යෝජිත නව බහලු මෙහෙයුම් මධ්‍යස්ථානය, වසරක් තුළ ඉදිකිරීමට අපේක්‍ෂා කරනවා. 2022 ජනවාරි මස එළඹෙන විට මේ මධ්‍යස්ථානයේ ගුදම් පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අපේක්‍ෂා කරනවා.“

මේ අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ. ඩී. සී. ජයලාල්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ධම්මික මාතරආරච්චි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න, කළමනාකාර අධ්‍යක්ෂ එච්. ඩී. ඒ. එස්. ප්‍රේමචන්ද්‍ර, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ පරිපාලන හා මෙහෙයුම් උපුල් ජයතිස්ස, අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (තාක්‍ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අධ්‍යක්ෂ මානව සම්පත් හා සංවර්ධන නලින් අපොන්සු මහත්වරු ඇතුළු නිලධාරි මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here