ජන ජීවිතයේ මඟ වෙනස් කළ කොවිඩ් 19

    0
    10

    කොවිඩ් අපට ආර්ථික, දේශපාලන මෙන් ම සමාජීය වශයෙන්ද බලපෑම් එල්ල කළ බව අමුතුවෙන් කිව යුතු නැත. සමාජ දුරස්ථ භාවය රැකගැනීම, හැකිතාක් දුරට නිවෙසටම වී සිටීම, සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීම කෙතරම් අපහසුවෙන්, අකමැත්තෙන් වුවත් කළ යුතුමය.

    කොවිඩ් -19 ලෝක දේශපාලනයට, ආර්ථිකයට, සමාජ සංස්කෘතික හැසිරීම්වලට සිදු කළේ සුළුපටු බලපෑමක් නොවේ. කොවිඩ් හේතුවෙන් ඉතාලිය, අමෙරිකාව, ප්‍රංසය, එංගලන්තය වැනි සංවර්ධිත රටවල විශිල පිරිසක් මිය ගිය බව අමතක කළ නොහැකි ය. ගෝලීයකරණයෙන් පසු බොහෝ රටවල් සිය පැවැත්ම රඳා පවත්වා ගත්තේ සෙසු රටවල් සමඟ වූ සබඳතා මතිනි. වෙළෙඳපොළ ආර්ථිකයක් තුළ ආනයන අභිමුඛ සහ අපනයන අභිමුඛ ආර්ථිකයන් හඳුනාගත හැකි ය. ශ්‍රී ලංකාව හැමවිටම පාහේ අපනයනවලින් ලබන ආදායමට වඩා වැඩි මුදලක් ආනයනය සඳහා වැය කළ රටකි. එනම් ආනයන සඳහා වැඩි වියදමක් දැරුවා සේ ම අප ඒ මත රඳා පැවතුණ බව ද පැහැදිලි ය. රටේ මූලික අවශ්‍යතා පවා ඇතැම් විට අප සපුරා ගත්තේ විදේශ නිෂ්පාදන ආනයනය කරමිනි. එහෙත් කොවිඩ් 19 හේතුවෙන් ක්ෂණිකව අපේ අපනයන ආදායමත්, නිෂ්පාදන ආනයනයත්, ආනයනය සඳහා දරන වියදමත් අඩු විය. ආනයන සීමා වීමත් සමඟ මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවල විශාල හිඟයක් ද ඇති විය. පළමු කොවිඩ් රැල්ලෙන් පසු උදා වූයේ මේ සියලු කාරණා පිළිබඳව අමුතුවෙන් සිතා බැලිය යුතු කාලයකි.

    ශ්‍රී ලංකාව අපනයන ආදායම් ලබන ප්‍රධාන මූලාශ්‍රය 04කි. ඒ, ඇඟලුම්, සංචාරක කර්මාන්තය, වරාය සහ රේගුව ආශ්‍රිතව ලබන ආදායම් සහ විදෙස් සේවයේ නියැළෙමින් ලබන විදේශ ඉපයීම් වේ. මෙරට ආනයන වියදම්වලින් අඩක් පමණ සපුරා ගත්තේ එම මූලාශ්‍රයන්ගෙනි. කොවිඩ්-19 සමඟින් මේ අපනයන ආදායම බිඳවැටුණේ බලා සිටියදී ය. ඉන් පසු රට අප කිසිවෙකුත් අපේක්ෂා නොකළ තැනකට ගෙනැවිත් තැබූ කොවිඩ්, අලුත් ප්‍රවේශයකින් මේ පිළිබඳ සිතා බැලීමටත්, තීන්දු තීරණ ගැනීමටත් රජයට අනුබල දුන්නේය.

    විධිමත් යන්ත්‍රණය

    වත්මන් ආණ්ඩුව සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන අදහසින් බලයට පත්වුව ද සිදු වූයේ එය පසෙකලා කොවිඩ් 19 වලින් බැට කන ආර්ථිකය සහ එදිනෙදා ජීවිතය හසුරුවා ගන්නා ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීමට ය. අපේ සමාජ ජාලය බිඳවැටී නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය ජන සමාජය අඩුවැඩි වශයෙන් ව්‍යසනයන්ට ලක් විය. එය වූකලී කොවිඩ් සමඟ ලෝකයම පාහේ මුහුණදුන් පොදු තත්ත්වයයි. පළමු කොවිඩ් රැල්ලේදී සෙසු රටවලට සාපේක්ෂව මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලත් රාජ්‍ය සේවයේත් පැවති විධිමත් යන්ත්‍රණය සහ ආණ්ඩුවේ විධිමත් ක්‍රියා පිළිවෙළ හේතුවෙන්, ඉතා අවම මරණ සංඛ්‍යාවකට සීමා වීමටත් ලෝකයේ සෙසු බොහෝ රටවලට යා ගත නොහැකි වූ කොවිඩ් මර්දන ඉලක්කවලට ගමන් කිරීමටත් අපට හැකියාව ලැබිණි.

    අපට මේ කොවිඩ් -19 අභියෝගයට මුහුණ දීමට සිදු වූයේ මෙරට සමස්ත ආර්ථිකය තුළ ගොඩනැඟී තිබුණු ගැටලු හඳුනා ගනිමින් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටි අවධියක ය. අලුත් තත්ත්වයන්ට හැඩ ගැසිය යුතු ආකාරය සහ ග්‍රාමීය, නාගරික ජනතාවගේ ජීවිතවලට කොවිඩ් එල්ල කළ බලපෑම පිළිබඳ සොයා බැලීමේදී, කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් පිරිසක් විසින් හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්ක අලලා සමීක්ෂණයක් පවත්වන ලදී. ඒ, කොවිඩ්, ජන ජීවිතයට සිදු කළ බලපෑම සහ ග්‍රාමීය රාජ්‍ය යාන්ත්‍රණය එහිදී ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සොයා බැලීමට ය.

    මෙම දිස්ත්‍රික්ක ද්විත්වයම සංවර්ධන නිර්ණායක අනුව පහළ මට්ටමක පැවැති සේම අති බහුතරයක් දෙනා කෘෂිකර්මය මත යැපුණු දිස්ත්‍රික්කයන්ය. පළමු වන කොවිඩ් රැල්ලේදී එම දිස්ත්‍රික්කයවල නිෂ්පාදනය කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳපොළට සපයාගත නොහැකිව අනේක දුක්පීඩාවන්ට මුහුණ පාන්නට ගොවීන්ට සිදු විය. කෘෂිකර්මය මත පදනම් වූ ඔවුන්ගේ ග්‍රාමීය ආර්ථිකය කඩා වැටෙන්නට වූ නමුත්; ආහාරපාන පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමෙහිලා අතිරික්කයක් ඇති වන තරමට භවබෝග නිෂ්පාදන ඔවුන් සතු විය. එබැවින් වෙනත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව මෙම දිස්ත්‍රික්කවල ජන ජීවිතයට කොවිඩ් -19 බලපෑම එල්ල වූයේ අල්ප වශයෙනි. එයට හේතුව වූයේ එම දිස්ත්‍රිකවල ජනතාවගෙන් බහුතරයක් කෘෂිකර්මය මත යැපෙමින් තමන්ට අවශ්‍ය සහල්, එළවළු, කුළුබඩු ඇතුළු සියලු දේ තමන් විසින්ම නිෂ්පාදනය කරගෙන තිබීම ය.

    ගොවියා සහ පාරිභෝගිකයා

    එහෙත් පළමු කොවිඩ් රැල්ලේදී ඔවුන්ගේ ඇතැම් කෘෂි නිෂ්පාදන මිලක් නැතිවම විනාශ වී ගිය අතර ඒවා අවම මිලකට හෝ මිලදී ගෙන සෙසු දිස්ත්‍රික්කවල ජනතාව අතර බෙදා දීමේ යන්ත්‍රණයක් විධිමත්ව ක්‍රියාත්මක නොවීය. ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට ආණ්ඩුව පෙරටු කරගත් ප්‍රාදේශීය යාන්ත්‍රණයට නොහැකි වූයේ මන්ද? ආණ්ඩුවට ඒ සඳහා පැවැති අභිලාෂය යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වූයේ මන්ද? යන කාරණා සොයා බලන විට පෙනී ගිය ප්‍රධාන සාධකයක් විය. එනම් ගොවියා සහ පාරිභෝගිකයා අතර මැද සිටින වෙළෙඳුන් නිර්මාණය කරන්නාවූ මාෆියාව විසින් මේ නිෂ්පාදන වෙනත් මාර්ගයකින් ජනතාව අතරට යෑමට ඇති යන්ත්‍රණයට අකුල් හෙළීමය.

    ඇතැම්විට රටට අනවශ්‍ය බරක් යැයි ඇතැමුන් අදහස් පළ කළ මෙරට ග්‍රාමීය පරිපාලන යන්ත්‍රණය, කොවිඩ් වසංගත තත්ත්වයේදී ජනතාව ආරක්ෂා කිරීමෙහිලා කැපවීමෙන්, අභියෝගවලට මුහුණදෙමින් ඉදිරියට පැමිණි බව මෙම සමීක්ෂණයෙන් පෙනී ගිය තවත් කරුණකි. එසේම මෙම දිස්ත්‍රිකවල ප්‍රාදේශීය දේශපාලන යන්ත්‍රණ ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වූ බව ද සත්‍යයකි. ඇතැමුන් එයට හේතුව ලෙස හුවා දැක්වූයේ මහ මැතිවරණය අත ළඟ තිබීම ය. කෙසේ වෙතත් එම කාලසීමාව තුළ හඳුනාගත හැකි වූ ප්‍රධාන කරුණක් වූයේ ප්‍රාදේශීයව ගොඩනැඟී පැවැති පරිපාලන යන්ත්‍රණය ඔස්සේ මෙරට බොහෝ ගැටලු නිරාකරණය කිරීමෙහිලා දායකත්වය ලැබුණු වග ය. මේ නිසා රට සංවර්ධනය කිරීමේදී මේ පවත්නා ප්‍රමාණවත් යන්ත්‍රණය, තව දුරටත් බලාත්මක කළ යුතු ය. එහි ක්‍රියාකාරීත්වය සාධනීය ලෙස කාර්යක්ෂම කළ යුතුය.

    ජන ජීවිතය

    කොවිඩ් අපට බොහෝ දේ අහිමි කළ සේ ම කොවිඩ් නිසාම අපට හිමි වූ දේ ද ඇත. ජීවන රටාවන් සහ සමාජ, ආර්ථික, දේශපාලන ආකල්පයන් වෙනස් කරගැනීමට කොවිඩ් -19 මේ ග්‍රාමීය ජනතාවට පාඩම් කියා දී අවසන් ය. කොවිඩ්, ආර්ථිකයටත් ජන ජීවිතයටත් කළ බලපෑම සමඟ සැබෑ ලෙසටම තමන්ගේ ජනතා නියෝජිතයන් කවුරුන්ද? යන වග හඳුනාගැනීමට ජනතාවට හැකියාව ලැබුණු අතර ජනතාවට සේවය නොකර තව දුරටත් ඉදිරියට යා නොහැකි වග බොහෝ දේශපාලනඥයන්ට ද ඒත්තු ගැන්විණි. හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක පිළිබඳ සලකා බලන විට වැඩි වශයෙන් මනාප ලබාගනිමින් පාර්ලිමේන්තුවට ගොඩ විය හැකිවූයේ වැඩි වශයෙන් ජනතාවට ළං‍ වෙමින්, සේවය කළ දේශපාලනඥයන්ටය.

    කොවිඩ් නාගරික සමාජයට සාපේක්ෂ සලකා බලන විට ග්‍රාමීය ජන ජීවිතයට එල්ල කළ බලපෑම අල්ප ය. මෙම කාලසීමාව තුළ නිවෙස් තුළ සිරගත වීම, මානසික ආතතිය, ගෘහස්ථ හිංසනය, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු නාගරික පරිසරවලට සාපේක්ෂව මෙම ග්‍රාමීය පරිසරයන්ගේ දැකිය හැකි වූයේ අල්ප වශයෙනි.

    මේ කාලසීමාව තුළ ජනතාව ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය වැනි දේ භාවිත කිරීම ග්‍රාමීය පරිසරය තුළ වර්ධනය වූයේ ඉතා වේගයෙනි. ඒ සමඟ ද ග්‍රාමීය පරිසරයේ සමාජ ජීවිතයට දැඩි බලපෑම් එල්ල විය. කොවිඩ් පළමු රැල්ල විත් ජන ජීවිතයේ බොහෝ පරිවර්තන සිදු කොට තිබියදී රට දෙවැනි කොවිඩ් රැල්ලකට ද හසු වීම ඛේදජනක ය.

    කෙසේ වෙතත් රටක් ලෙස අප මින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් ඇති කරගත යුතුය. එහිදී අප ඉදිරියට යා යුත්තේ පළමු කොවිඩ් රැල්ලෙන් උගත් පාඩම්වලින් ප්‍රයෝජන ගනිමිනි. රට වසා දැමීම සම්බන්ධයෙන් කොතෙක් අදහස් මතු වුව ද අපට තව දුරටත් රට වසා තැබිය නොහැකි ය. එසේ කිරීමෙන් සිදුවන්නේ ජන ජීවිතය තව දුරටත් අඩාල වීම ය. නොසිතූ විරූ සමාජ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදු වීම ය. මන්ද යත් කුසගින්නේ සිටින මිනිසුන්ගෙන් විනයක්, ශික්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. මෙරට තුළ විධිමත්ව ආදායම් උපයන්නන් ඇත්තේ සීමිත පිරිසකි. අති බහුතරයකට තමන්ගේ කියා නිත්‍ය ආදායම් මාර්ගයක් නැත. ඒ ජනතාවගේ අවශ්‍යතා සපුරාගැනීමට ආදායම් මාර්ගයක් සොයා නොදී මේ රට තව දුරටත් වසා තැබිය හැකි ද? එසේ සිදු කරන්නේ නම් තව දුරටත් රජය විසින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සැපයීමේ හැකියාවෙන් සන්නද්ධ විය යුතු ය. එහෙත් එසේ කිරීමට තරම් රටේ ආර්ථිකය ශක්තිමත් නැත. එසේනම් කළ යුත්තේ කුමක්ද? දිනෙන් දින මෙම කොවිඩ් වසංගතයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගනිමින් තම තමන්ගේ ජීවිත සහ චර්යාවන් ඊට උචිත පරිදි සකසා ගැනීම නොවේද?

    ආගමික මත හා රාජ්‍ය නීති

    පාලකයන් ද තීන්දු තීරණ ගත යුත්තේ පවතින තත්ත්වයන් පිළිබඳ යථාවබෝධයෙනි. එසේ නොමැතිව මුළු රටම වසා දැමීම හෝ අකර්මණ්‍ය කිරීම නොකළ යුතු ය. ඊට අමතරව මෙරට පශ්චාත් කොරෝනා දේශපාලනයේ නිර්මාණය වී ඇති යම් යම් අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය. කොරෝනා මරණ ආදාහනය හා භූමදානය සම්බන්ධයෙන් පැන නැඟී ගැටලුව ඒ සඳහා එක් නිදසුනක් පමණි.

    ආණ්ඩුව විසින් රට අගාධයට යා නොදී, ජනතාවගේ විශ්වාසය ගොඩනැගෙන ආකාරයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුය. දිනෙන් දින වර්ධනය වන ආගමික මත හා රාජ්‍ය නීති අතර පවත්නා ගැටුම උඩු දිවීමට ඉඩ තැබිය යුතු නොවේ. අප පළමුකොට රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරගත යුතු අතර ආගමක් ඇදහීමේ නිදහස ලබාදිය යුත්තේ සමස්ත පොදු ජනතාවගේ ජන ජීවිතයට හානිදායි නොවන ආකාරයට ය. එසේ ම මෙරට දේශපාලනය තුළ හැමවිටම පැවැති කකුලෙන් ඇදීමේ සහ මිනී කරගහගෙන යෑමේ විපක්ෂ දේශපාලනය වෙනුවට රට වෙනුවෙන් සහාය විය යුතු තැන්වලදී රජයට සහය වන සහ අවශ්‍ය තැන්වලදී නොබියව විරුද්ධ වන ප්‍රතිපත්තියක් විපක්ෂය විසින් අනුගමනය කළ යුතුය. නැවත මේ ජන සමාජයට වාර්ගික අර්බුද හෝ ත්‍රස්තවාදී ගැටුම් වුවමනා නැති වග සිහි තබාගනිමින් දේශපාලන නායකයන් නිවැරදි සහ ශක්තිමත් තීන්දු ගැනීමට ක්‍රියා කරනු ඇතැයි අපි විශ්වාස කරමු. 

    යම් නිෂ්පාදනයක් ආනයනයට යොමු විය යුත්තේ ඒ සඳහා දේශීය වශයෙන් ප්‍රමාණවත් තරමේ විකල්පයන් සොයාගත නොහැකි විටකදී ය. හැකිතාක් දුරට දේශීය වශයෙන් නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා කෘෂිකර්ම, වෙළෙඳ, ඉඩම්, යටිතල පහසුකම්, ජල හා වාරිමාර්ග සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරමින් කාර්යක්ෂමව කටයුතු කළහොත් වර්මානයේදී අප මුහුණ පාමින් සිටින අර්බුදවලට කෙටි කාලයකින් ම විසඳුම් සොයාගත හැකි ය.

    මේ අවස්ථාවේ අප සිටිනුයේ 90%ක් පමණ ම බාහිර වෙළෙඳපොළ මත පදනම්වය. එහෙත් සාධනීය තීරණ ක්‍රියාත්මක කිරීම තුළ ඉදිරියේදී දේශීය අවශ්‍යතාවන් සපුරාලීමෙහිලා දේශීය නිෂ්පාදනවලින් 60%ක 70%ක පමණ දායකත්වය ලබාගත හැකි වනු ඇත. එම අරමුණ ඉටු කරගැනීමේ අභිලාෂයෙන් පාලන කටයුතු දියත් කළ යුතු ය. උපාය මාර්ග සකස් කළ යුතු ය. මෙහිදී ශ්‍රී ලංකාව තුළ කහ, ඉඟුරු, බඩඉරිඟු ඇතුළු බොහෝ දේ ආනයනයට සීමා පැනවීම දැකිය හැක්කේ සාධනීය පියවරක් වශයෙනි. මෙය වනාහි අප පරීක්ෂාවට ලක් කෙරෙන කාලසීමාවක් බඳු ය. මෙම කාලය තුළ අවශ්‍ය පරිදි කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සාධනීය ලෙස දියත් කළ හැකි වුවහොත් පවත්නා අර්බුදයන්ගෙන් අත්මිදීමට ශ්‍රී ලංකාවට වැඩි කලක් ගත නොවනු ඇත. කෙසේ වෙතත් එහිදී ආණ්ඩුවේ නායකත්වය, විපක්ෂයේ දායකත්වය, රාජ්‍ය සේවයේ කැපවීම, ජනතාවගේ විමසිලිමත් බව සැලකිය හැක්කේ ඉතා වැදගත් සහ තීරණාත්මක සාධකයන් ලෙස ය.

    කාංචනා සිරිවර්ධන

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here