දේශ­පා­ලන පාර්සල්

    0
    10

    ටොම්සන් මහත්තයා පාර අයිනට වී පාර දෙස බලා ගෙන සිටියේය. පාරේ යන සෙනඟද අඩුය. මූණ බාගෙට වසා ගත්ත අය එකා දෙන්නා යන්නේ මොකක්දෝ බයකිනි.

    “මේ ආදාහන ප්‍රශ්නේ කොහොම වෙයිද ටොම්සන් මහත්තයා…” කියා අසමින් උන්නැහේද එතැනට ආවේය.

    “මං නං ඉතින් ආදාහනේටත් නෑ භූමදානෙටත් නෑ… දැන් මේ තියෙන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවෙයිනේ… මේක ඇත්තටම වෙන ප්‍රශ්නයක්…” කියා ටොම්සන් මහත්තයා කීවේය.

    “මට තේරෙන්නේ නෑ… වෙන මොන ප්‍රශ්නද? මේවා රටේ ප්‍රශ්නම තමයි… දැන් හැමෝම මේකේ එල්ලිලා ඉන්නේ… සෞඛ්‍ය බලධාරීන්ට වෙලා තියෙන්නේ උත්තර බඳින්න විතරයි…” කියා උන්නැහේ කීවේය.

    ඒ අතර ඇම්බන් මහත්තයා පාර දිගේ ආවේය.

    “මොකද ඇම්බන් මහත්තයා… මොකද ප්‍රශ්නේ…?” කියා ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයාගෙන් ඇසුවේය.

    “අන්න ටවුන් එකේ එක කලබැගෑනියයි…” කියා ඇම්බන් මහත්තයා කීවේය.

    “ඒ මොකද ඇම්බන් මහත්තයා…?”

    “වෙන මුකුත් නෙවෙයි… අර ආදාහන ප්‍රශ්නෙම තමයි… අර මුස්ලිම් සහෝදරවරු එක පෙළට හිටගෙන බෝඩ් එල්ලා ගෙන… ඒක මෙහෙයවන්නේ අඩු ගණනේ මවුලවිවරුන්වත් නෙවෙයි… මවුලවිවරුන් නිස්සද්දයි… පේළියට ඉන්නේ දේශපාලන මහත්තුරු… ඒ අස්සේ මානව හිමිකම් ගැන කතා කරන දේශපාලන මහත්තුරු..” උන්නැහේ ඇසුවේය.

    “ඒ ගොල්ලොත් මුස්ලිම් සහෝදරවරුද?” ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයාගෙන් ඇසුවේය.

    “මොන පිස්සුද ටොම්සන් මහත්තයා…. ඒ ඉන්නේ අපේ මේ සිංහල දේශපාලනඥයෝ… ඒ ගොල්ලොත් දැන් මේ රටේ නීතිය අනිත් පැත්තට හරවන්නයි හදන්නේ… එතකොට මේක අවුළුවන්න පුළුවන් නේ…”

    “අනේ මන්දා… අර පහුගිය දාක අර පාස්කු කොමිසමේ ප්‍රකාශයක් කළා නේද? අර මුස්ලිම් සංවිධානයක සභාපති කෙනෙක්… හැම නීතියකටම වඩා රටේ නීතිය ඉහළින් තියෙනවා… රටේ නීතිය ලොකුයි… අනික් පෞද්ගලික නීති ඔක්කොම තියෙන්නේ ඊට පහළින් කියලා… ඒවා ගැන කාටවත් ඇහෙන්නේවත් නෑ වාගේ නේද?” කියලා උන්නැහේ කීවේය.

    “මට නම් තේරෙන්නේ නෑ… ඇයි මේ මිනිස්සු මේ තරම් අන්තවාදී වෙන්නේ කියලා… රටක තියෙන ප්‍රශ්නවලට අනුකූල වෙන්න ඕනෑ නේද? එකම මතයක එල්ලිලා මේ සමාජයේ සහජීවනයට නේද පහර දෙන්නේ…. මේකේ අවසානය මොකක්ද? රටකට එක නීතියක් නේද තියෙන්න ඕනෑ… එක එක නීති එක එක අයට තියෙන්න පුළුවන්ද? එතකොට මේක මොන රටක්ද?” කියා ඇම්බන් මහත්තයා තරමක කෝපයෙන් කීවේය.

    තිදෙනාම ගෙට පැමිණ සාලයේ හිඳ ගත්හ. උන්නැහේ කුස්සියට ගොස් තේ කෝප්ප තුනක් සාදා ගෙන ආවේය. ඒ අතරේ රූපවාහිනියේ ප්‍රවෘත්ති පටන් ගත්තේය. ඒකෙත ප්‍රධාන ප්‍රවෘත්තිය ආදාහනය ගැනය.

    අපට මාලදිවයිනට යන්න බෑ… මේක අපි ඉපදුණු රට

    තමන් ඉපදුනු රටේ මිහිදන් වෙන්න කාටත් අයිතිය තියෙනවා…

    තමන්ගේ ආගමේ හැටියට අවසාන කටයුතු කරන්න අයිතියක් තියෙන්න ඕනෑ.

    සෞඛ්‍ය නීතිවලට වැඩ කරන්න ඕනෑ… අපෙත් ඉවසීමේ සීමාව ඉක්මවා යන්න පුළුවන්.

    මේ ගැන තීරණය ගැනීමේ අයිතිය තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ට විතරයි.

    මළ සිරුරුවල වයිරසය නොනැසී තියෙනවා… හොඳම දේ ආදාහනය විතරයි. නැතිව ඒවා විනාශ වෙන්නේ නෑ.

    ටොම්සන් මහත්තයා රූපවාහිනිය වසා දැම්මේය.

    “මේවා බලාපුවාම පිස්සු හැදෙනවා… අනික මේවා රටම පිස්සු වට්ටනවා… මෙතන දේශපාලන කතා බහ මොකටද? එක උත්තරයයි නේ තියෙන්නේ… මේ ගැන තීන්දුවක් ගන්න එකම අයිතිය තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ටනේ… මේ ප්‍රවෘත්තිවල සෞඛ්‍ය බලධාරීන් ඉන්නේ පැත්තක. ඔය මොකක්හරි දියාරු උත්තරයක් දෙනවා… ඒ විදිහට මේක විසඳන්න පුළුවන්ද”

    “ටොම්සන් මහත්තයා, ඇත්තටම මේ ලෝකෙට ආගම් ඇති වුණේ මිනිස්සු ඇති වෙන්න ඉස්සෙල්ලාද? නැතිනම් මිනිස්සු ඇති වුණාට පස්සේ ආගම් බිහි වුණාද?… මං මේ දන්නේ නැති හින්දා අහන්නේ…” කියා උන්නැහේ ඇසුවේය.

    “ආගම් නම් ඇති වුණේ මිනිස්සු බිහි වුණාට පස්සේ තමා… හැම ආගමක්ම මිනිස්සුන්ට උගන්නන්නේ යහපත් ජීවිතයක් ගත කරන්නයි… කා කොටා ගන්න නෙවෙයි… අනික අන්තවාදී විදිහට ආගම්වල එල්ලිලා ඉන්නත් කිසිම ආගමක උගන්නලා නෑ… එහෙම බැලුවාම මේවා මේ ආගම්වල ප්‍රශ්නත් නෙවෙයි… ආගම් අදහන අය ඇති කරන අලුත් ප්‍රශ්න..” ඇම්බන් මහත්තයා පිළිතුරු දුන්නේය.

    “එහෙමත් නෙවෙයි ඇම්බන් මහත්තයා…. මේක ආගම් ප්‍රශ්නයකුත් නෙවෙයි. මේක අර කැත දේශපාලන ප්‍රශ්නයක්… මේ ආදාහන ප්‍රශ්නේ පැක් කරලා තියෙන්නේ දේශපාලන ඇසුරුමක් ඇතුළේ… ඒකනේ මේ පෙළපාලි උද්ඝෝෂණවල දේශපාලනඥයෝ විතරක් ඉන්නේ… දේශපාලනඥයන්ට තව ඕනෑ තරම් මිනිස්සු එකතු කර ගන්න පුළුවන්… ඒක එච්චර අලුත් දෙයක් නෙවෙයිනේ.. ඔය තානාපති කාර්යාලය ඉස්සරහ.. ජනාධිපති කාර්යාලය ඉස්සරහ. එතකොට අරලිය ගහ මන්දිරය පැත්තේ.. එතකොට ඔය ලිප්ටන් වට රවුමේ.. ඔය හැම තැනම තියෙන්නේ දේශපාලන උද්ඝෝෂණ… දැන් මේකත් මේ ආණ්ඩුවත් එක්ක කරන දේශපාලන සෙල්ලමක්…”ටොම්සන් මහත්තයා කීවේය.

    “ඒක නම් හරියටම හරි… මේ රටේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව මේ වගේ හැසිරෙන්නේ නෑ… මේක දැන් දේශපාලනීය කරලා… ඒ නිසා තැන තැන තව කණ්ඩායම් සංවිධානය කරලා ඉස්සරහට රට පුරාම මේ වගේ උද්ඝෝෂණ පැවැත්වෙන්නත් පුළුවන්… ඒකේ අරමුණ තමයි දේශපාලනික වශයෙන් රට ගිනි තැබීම… මේ ඕනෑම දෙයක් දේශපාලන පාර්සලයක් කරන්න පුළුවන්… ඒක හරියට කළමනාකරණය කර ගැනීම තමයි මේ වෙලාවේ හපන්කම…. දේශපාලනඥයෝ කියන්නේ ආගමික නායකවරු නෙවෙයිනේ… අනික මං නං කියන්නේ ආගමික මැදිහත් වීමක් මේකට මොන පැත්තකින්වත් ඕනැ නෑ…” කියා උන්නැහේ කීවේය.

     

    බන්දුල පී. දයාරත්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here