නාඳු­නන්නී

    0
    5

    උඳුවප් වැස්ස නගරයේ ශෝභමානත්වය දියකර හරින්නාක් බඳුය. කොරෝනා වසංගතය කොතෙක් රුදුරු වුවද, වැස්ස කොතෙක් දැඩි වුවද අත්‍යවශ්‍ය කාර්යයක් උදෙසා නගරයට යාමට සිදුවෙයි. මා ආ කාරිය හමාර වුවද, බසයක් බලාපොරොත්තුවෙන් බොහෝ වේලා කල් මරන්නට සිදුවිය.

    මගී ආවරණය මුළුමනින්ම තෙමී තිබිණ. ඒ තුළ සිටීම හා පිටත වැස්ස එක්ක ජල්ලි ඇල්ලීම අතරේ වැඩි වෙනසක් නැතැයි මට සිතිණ. මගී ආවරණයෙන් පිටත සිටියදී වැස්සෙන් මඳකට හෝ බේරෙන්නට කුඩයේ පිහිට පැතිය හැක. එහෙත් විනිවිද පෙනෙන වහලයක් සහිත මේ අපූරු මගී ආවරණය මගියා අවුවෙන් ද, වැස්සෙන් ද ගලවා ගන්න සමත් නොවේ.

    මුළුමනින්ම තෙමී තිබූ බංකුව මත මා හිඳගත්තේ මගී ආවරණය ඉදිකළ සැමට ශාප කරමිනි. පලක් නොවන මෙවන් කටයුතු උදෙසා වැය වන මහජන මුදල පිළිබඳව සංවේගය මගේ හද දවයි.

    කුඩා දරුවන් දෙදෙනකු සමග මගී ආවරණයේ සරණ සොයා පැමිණි තරුණ මවකගේ අපේක්ෂා භංගත්වය, මගේ කෝපය ද ශෝකය ද තීව්‍ර කරවයි.

    ‘අයියෝ.. හොඳටම තෙමිලා නේ. කොහොමද ඉතින් වාඩි වෙන්නේ? බස් එකක් එනකල් කොච්චර වෙලා බලා ඉන්න වෙයිද මන්දා.’

    ‘දැන් බස් එකක් එයි.’යි මා කීවේ, හුදෙක් ඇය සනසනු පිණිස මිස බසයක් පැමිණිය හැකි කාල වේලාව දැන ගෙන නොවේ.

    ‘බසුත් අඩුයිනේ මේ කොරොනාව හින්දා. අනේ චුට්ටක් වාඩිවෙන්න තිබ්බනං.’

    ‘තෙමුණට කමක් නෑ. අනේ මං නං ඔහේ වාඩි වුණා.’ යි කී මම වාඩිවෙන්නට ඇරියුම් කළෙමි. ඇයට ඒ ඇරයුම පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරන්නට ඉඩක් නොලැබිණ. ඒ ඇගේ දරුවන් හේතුකොටගෙනය. දුවන පනින දරුවන් රැක ගන්නට ඇය වෙහෙසුනාය.

    ‘ලිස්සලා වැටෙයි ළමයො.’ ඇය දිගින් දිගටම දරුවන්ට තරවටු කළාය.

    ‘ඔහොම තමා පොඩි ළමයි. අපි එකතැන හිටියට එයාලට එහෙම ඉන්න බෑනේ.’

    ‘ඒ වුණාට වැටුණත් එහෙම.’ යි ඇය බිය ද සැකය ද පළ කළාය.

    ‘බලන්ඩකෝ අනේ ඔච්චර වාහන යනවා පාරේ. නිකමට කිසි කෙනෙක් අහන්නේ නෑනේ, කොහාටද යන්නේ එන්න අපිත් එක්ක යන්ඩ පුළුවන් කියලා.’

    මම හඬනගා හිනැහුණෙමි.

    ‘ඇයි ඇත්තටම වාහනවල යන අය වාහන නැති අය ගැන චුට්ටක්වත් හිතන්නෙ නැත්තෙ?’

    ඇය පිළිතුරක් පතා මා දෙස බලාගත් වනම සිටියාය.

    ‘මේ කාලේ ඉතින් ගොඩක් අය එහෙම තමා. තව කෙනකුට උදව් කරන්න ටිකක් අදි මදි කරනවා.’

    වැස්ස මඳක් තුරල් වූ හැටියේ ඇය නුදුරෙහි වඩේ කඩයට දිව ගියාය.

    ‘බස් එකක් එයිද?’ යි ඇය ඔහුගෙන් අසන්නේ යුහුසුලුව ගලා එන අඳුරට බිය වූ කලෙක මෙනි.

    ‘ගල්නෑව එන්ඩ නං තව ටිකක් වෙලා යයි.’ ඒ උත්තරයෙන් මමද කනස්සල්ලට පත්වීමි.

    ‘අරයා එච්චර කැමැති වුණෙත් නෑ මේ හැන්දෑවේ ළමයිනුත් අරන් අමුණුගම යනවට.’

    ඇය යළි මගී ආවරණය තුළට එම සෙමෙන් කීවාය.

    ‘එයා විතරද අද ගෙදර? එතකොට කෑම?’

    ‘කඩෙන් කයි.’ ‘එයා මොකද කරන්නේ?’

    ‘වැඩපොළක වැඩ. එයාට පුළුවන් ඔය වෑල්ඩින් වැඩ එහෙම.’ ඇගේ කුඩා පුතු කණුවක් බදාගෙන කැරකෙන්නට වූයෙන් ඇගේ ඉවසීම බිඳ වැටුණි.

    ‘වැටෙනවා දැන්.’ කෑගැසූ ඇය ඔහුට පහරක් ද ගැසුවාය.

    ‘ගහන්න එපා. පොඩි දෙන්නටත් දැන් එපා වෙලා ඇත්තේ.’

    ‘කියන දේ අහන්න එපැයි අනේ ළමයෙක් වුණාම. මේ ළමයා ඔහොමම තමා.’

    ‘අක්කටනම් මල්ලියෙක් ඉන්නවා. මල්ලී ඉල්ලන්නේ නැද්ද නංගියෙක් හරි මල්ලියෙක් හරි?’

    ඇගේ කෝපයෙන් කොලුවා ගලවාගන්නට මම තැත් කළෙමි.

    ‘මොකද නැත්තෙ, තව ළමයි හදන්නේ කොහොමද මේ දෙන්නටත් වියදම් කරන්නේ කොච්චර අමාරුවෙන්ද? දැන් කාලේ ළමයෙක් හදන එක ලේසි නෑ. සල්ලි මහ ගොඩක් ඕන.’

    දරු සම්පත දැරිය නොහැකි දරු බරක් වී ඇත්දැයි මා කල්පනා කළේ කණස්සල්ලෙනි.

    වඩේ කඩය වසා දැමූ කඩහිමියා අප වෙත ආවේය. ඔහු අත වූයේ වඩේ කිහිපයකි. ඇය දිගු කළ මුදල ද අතින් ප්‍රතික්ෂේප කළ හෙතෙම ආපසු ගියේ ප්‍රමිතියක් හෝ ප්‍රයෝජනයක් නැති මගී ආවරණය ඉදි කළවුන්ට දොස් පවරමිනි.

    ‘එනවා. එනවා. ගල්නෑව බස් එකේ එනවා.’ ඇය මහත් ප්‍රමෝදයෙන් හඬ ගෑවාය.

    බසයට නැගගත් පසු ඇය සහ දෙදරුවන් වෙනුවෙන් මට කරන්නට ඉතිරිව තිබුණේ එකම එක සරල ක්‍රියාවකි.

    ‘අනේ ඇයි අපටත් එක්ක ටිකට් ගත්තෙ?’

    ඇය විමතියෙන් ප්‍රශ්න කළාය. සින­ාවක් පෑවා මිස මම කිසිත් නො පැවසුවෙමි.

    ගමනාන්තයේ දී බසයෙන් බසින්න පෙර මම ඇය දෙස බැලුවෙමි.

    ‘මං බහිනවා. පරිස්සමින් යන්න එහෙනම් පොඩි දෙන්නත් එක්ක.’

    ඇය තවම පහව නොගිය විමතියෙන් ද සොම්නසින් සහ සෙනෙහසින් ද හිස සැලුවාය. ඇය යළි කිසි කලෙකත් මුණ ගැසුණ ද නැත ද මේ වැහිබර හා අඳුරු හැන්දෑවෙ අප දෙදෙනාගේම සිත් සතන් උණුසුම් කළ සහෝදරාත්මක බැවින් මමද සැනසී ගියෙමි. නාඳුනන්නකු වෙත පාන දයාව වඩා සුපසන් නොවේදැයි මට සිතුණි.

    ශාන්ති දිසානායක

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here