පරණ අවු­රුද්දේ අලුත් වචන ජන ජීවි­තය කල­ඹයි

    0
    5

    පරණ අවුරුද්ද 2020 ගෙවී ගිහිං අදට දවස් පහයි. 2021 අලුත් අවුරුද්දෙ පළමුවන අඟහරුවාදා අද. අද දවස සොඳුරුමය ද එදා දවස සොඳුරුමය ද කියල ආපහු හිතල බලන්න ඕනෑ කියල කල්පනා වුණත් වෙලාවකට හිතෙනවා ඒකෙන් වැඩක් තියෙනව ද කියලා.

    පරණ අවුරුද්ද සොඳුරුමය වුණේ නැද්ද කියලද මට හිතෙන්නෙ? පරණ අවුරුද්දෙ දෙසැම්බර් 26 දා මට මතක් කරනවා අවුරුදු දහසයකට ඉස්සර එදා වගේ දවසක අපිට අපේ රටට අත් විඳින්න, මුහුණ දෙන්න වුණ ඛේදවාචකය. 2004 දෙසැම්බර් විසි හතරවෙනිදා අපිට අලුත් වචනයක් අහන්න ලැබුණා. ඒ වචනෙ අපිට ඊට පෙර කවදාවත්ම අහන්න ලැබුණෙ නැති වචනයක් ද කියල එදා වගේම අදත් කල්පනා වෙනවා. සුනාමි කියන වචනෙ ජීවිතේ පළමු වතාවට අපේ රට දැන ගත්ත වෙන්නැති කියලා මට හිතෙනවා. සුනාමියට නොයෙක් ආකාරයෙ පර්යාය පද එකතු වෙනවත් දකින්න ලැබුණා. උදම් රළ වගේ. සුනාමි නමින් මහ මුහුද ගොඩ ගලා විත් කළ හදිය, එදා අපේ රටේ ජන ජීවිතය කැලැඹූ අතිශය බිහිසුණුම ස්වභාවික ඛේදවාචකය වුණු බව ඉතිහාසයෙ ලියැවිලා හමාරයි.

    2004 දි අපේ කතාබහට එකතු වුණ අලුත් වචනය ‘සුනාමිය’ පිළිබඳ අපිට ඊට වඩා සාහිත්‍යමය භාෂාවකින් කියන්නෙ මහගම සේකර කවියා. ගීත රචකයා. ඒ අවුරුදු තිස් අටකට විතර ඉස්සර හරියට අනාවැකි කියන්නෙක් වගේ.

    සිංහල චිත්‍රපට වංශ කතාවෙ එකසිය හතළිස් හත්වන චිත්‍රපටය මහාචාර්ය සිරි ගුණසිංහගෙ ‘සත් සමුදුර’.1966 දී පළමුවරට තිර ගත වුණේ. සත්සමුදුරේ තේමා ගීතය ලිව්වෙ මහගම සේකර මහා කවියා, ගේය කාව්‍ය රචකයා. සිනමානුරූපී සංගීතය ඇතුළත් වූ සිංහල චිත්‍රපටයක් ලෙස සත් සමුදුර ඉතිහාසයට එක්වෙන්නෙ ඊට විශිෂ්ට සංගීත නිර්මාණ දායකත්වයක් එක් කළ සෝමදාස ඇල්විටිගල සංගීතඥයාගේ නමත් සමග. ‘සිනිඳු සුදු මුතු තලාවේ’ ගීතයේ එක් තැනක සේකර කවියා මෙහෙම කියනවා.

    ගැඹුරු සත් සමුදුර පතුල බිඳ

    ඇඹරි ඇඹරී වියරු දළ රළ

    තුමුල මහ මෙර දෙදරවයි

    බුර බුරා නැඟි

    කුරිරු ජල කඳ

    දෙරණ සම්පත ගිලගනියි…

    සුනාමි රකුසා සිදු කළේ මේ කුරිරු විනාශයම නොවේ ද? සුනාමි ජල කඳ සත් සමුදුරු පතුල බිඳ ගෙන ඇඹරි ඇඹරී වියරු වැටී සිදු කරන ලද්දේ සේකර කවියා දුටු මේ විනාශයම නොවේ ද? ඒ ජල කඳ දෙරණ සම්පත ගිල ගත්තා නොවේ ද? ‘සුනාමි’ අලුත් වචනය දහස් ගණනක් ජීවිත බිලි ගනිමින් දේපොළ විනාශ කරමින් ජන ජීවිතය කැලඹූ ආකාරය සිහියට නඟමින් අදත් කදුළු සලන්නෝ වියෝ වූ සමීපතමයින් වෙනුවෙන් දුක්වන්නෝ කොපමණක් ද?

    සුනාමි මෙන් නොව 2020 ගෙවුණු අවුරුද්දේ මාර්තුවේ සිට අපගේ ජන ජීවිතයට එකතු වූ අලුත් වචන රාශියක් තියෙනවා. නිසැක වශයෙන්ම ඒ අලුත් වචන සමඟ සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ජීවිත අවිනිශ්චිත භාවයට පත් වී අපෙක්ෂා භංගත්වයට පත් වූ ජාතියක් බවට පත් කළා නේ ද කියල හිතෙනවා.

    පරණ අවුරුද්දෙ අපේ කතා බහට එකතු වුණු අලුත්ම වචන දෙක, කොරෝනා සහ කොවිඩ් 19. අපේ රටට, ජන ජීවිතයට කළ විනාශයට අදත් අපි රටක් හැටියටත්, ජාතියක් හැටියටත් මුහුණ දෙමින් ඉන්නව නේ ද? මේ විපතින් මිදෙන මඟක්, මිදෙන දිනයක් පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇතිව ජීවත් වුණත් කවදා මේ විපතින් අත් මිදෙන්න හැකිවේද කියල කාටවත් අනාවැකි කියන්න බෑ වගේ. කොරෝනා, කොවිඩ් 19 එක්ක එකතු වුණු අලුත් වචන විශාල ප්‍රමාණයක් රජයේ මාධ්‍ය ප්‍රකාශකයන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් ගෙන් ආරක්ෂක අංශවලින් අපිට අහන්න ලැබුණා. පී.සී.ආර් (PCR) පරීක්ෂණය, නිරෝධායනය නිරෝධායන මධ්‍යස්ථාන, විෂබීජහරණය (sanitizing) සැනිටයිසිං, මුඛවැසුම (අවරණය-Face mask), ලොක් ඩවුන් ප්‍රදේශ, ආසාදිතයන්, සංචරණ සීමා, සමාජ දුරස්ථභාවය (social distance), නෙගටිව්, පොසිටිව් වගේ වචන මාලාව විශේෂයි. මේ හුඟාක් වචන අපි දැන ගෙන හිටියත් ඒවා අලුත් වචන විදියට හිතෙන්නෙ එදිනෙදා ජීවිතේදි මීට ඉස්සර භාවිත නොවුණු නිසා. නැත්නම් අඩු භාවිතාවක් තිබුණු වචන නිසා.

    අලුත් වචන ජන ජීවිතයට එක් කළ ප්‍රධාන මාර්ග වුණේ මුද්‍රිත, විද්‍යුත්, ජනමාධ්‍ය. සමාජ මාධ්‍ය ජාලා, වෙබ් අඩවි. කටින් කට, ගමින් ගම, නගරයෙන් නගරයට පැතිරුණු කටකතා. ආසාදිතයන් විසාල පිරිසක් හමු වුණාම ඒක පොකුරක් වෙනවා. මුලින්ම පොකුර ආවෙ මිනුවන්ගොඩින්. ඒක බ්‍රැන්ඩික්ස් පොකුර. ඊට පස්සෙ පෑලියගොඩින්. මත්ස්‍ය වෙළෙඳපොළේ පෑලියගොඩ පොකුර. දැන් හැම තැනකම ආසාදිතයන් පිරිසක් හමු වුණු ගමන් ඒක පොකුරක් වෙනවා. මේ වර්ගයෙ පොකුරු රට පුරාම. නිරෝධායනයටත් වැඩිය හුරුවෙච්ච අලුත් වචනෙ තමයි කොරන්ටයින් (quarantine) වෙනව කියන එක.

    අලුත් වචන දෙක අපේ රට විතරක් නෙවෙයි ලෝකයම කැලඹුව හැටි අපි හැමදාම දැක්කා රූපවාහිනියෙන්. ඉතාලියෙ, අමෙරිකාවෙ, ඉන්දියාවෙ කොවිඩ් මරණ සංඛ්‍යාව; ඉතාලියෙ කොවිඩ් නිසා මියගිය අයගෙ අවසන් කටයුතු සිද්ධ වෙච්ච හැටි. අපේ රට ඒ තරම් අවාසනාවන්ත නොවුණත් කොවිඩ් – කොරෝනා වචන ඇති කළ භීතියෙන් ගැලවීමක් නම් තිබුණෙ නෑ අපට.

    කඩ සාප්පු වැහුණා. කන බොන තැන්, සමාජ ශාලා, විතරක් නෙවෙයි පාසල් පවා වැහුණා. උත්සව සාද සම්භාෂණ, චිත්‍රපට නාට්‍ය සංගීත සංදර්ශන මෙකී නොකී හැම දෙයකටම තිතක් වැටුණා. නගර ගම් දනව් පාළු වුණා. කන බොන දේවල් ගෙදරට ගෙන්න ගන්න අලුත් වචන එකතු වුණා. ජංගම වෙළෙන්දෝ ගේ දොර ළඟට Home delivery එන්න පුරුදු වුණා. සුපර් මාර්කට්වල ඔන්ලයින් (online) ක්‍රමයට බඩු විකුණන්න පටන් ගත්තා. දිගටම වහගෙන ඉන්න බැරි තැන; පාසල්වල, විශ්වවිද්‍යාලවල උගන්නනන අලුත් තාක්ෂණ ක්‍රම පටන් ගත්තා. ඔන්ලයින්, සූම් (Online, Zoom) අධ්‍යාපන පද්ධතියට එකතු වුණා. කාර්යාල බාගෙට වැහුණා. ඒවයෙ රැකියාව කළ පිරිස් ගෙදර ඉඳගෙන වඩ කරන්න පුරුදු වුණා. රොස්ටර්, රොටේෂන් (Roster, Rotation) වචන සාමාන්‍ය වචන වෙලා. මේ එකක්වත් අලුත් වචන නොවුණට පරණ අවුරුද්දෙ අපට මතක් කරල දීපු අලුත් වචන බවට පත් වුණා.

    කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට ආණ්ඩුව පුළුවන් තරම් උත්සාහ ගන්නවා රටට පෙනුණා. සෞඛ්‍ය ඇම­ැතිනිය මේ උවදුරින් ජනතාව මුදා ගැනීමට උත්සාහ ගන්නවත් අපි දැක්කා. එතුමිය ගංගා, ඇළ දොළට ශුද්ධ වූ ජල මුට්ටිවලින් ජලය එකතු කිරීමත් ඒකෙ එක පියවරක්. වෛරසයට දේශීය ප්‍රතිකාරයක් විදියට හොයා ගත්ත කෑගල්ලේ ධම්මික පැණිය පරණ අවුරුද්දට එකතුවුණු තවත් අලුත් වචනයක්. ඒ පැණියට අභියෝග කරමින් එළිදක්වපු රාවණා පැණියත් තවත් අලුත් වචනයක්. අලුත් වචන ජන ජීවිතය අඩාල කළත් ජනතාව මේ ක්‍රමයට පුරුදු වෙලා වගේ ඔහේ විඳ ගෙන ඉන්නවා. එහෙම වුණත් ඡන්ද තිබ්බා, ක්‍රිකට් ගැහුවා, පුලු පුළුවන් වෙලාවට වේදිකා නාට්‍ය බැලුවා. ටෙලි පොකුරු හැදුණත් අලුත් ටෙලි හැදුණා. ඒව එනකල් අපේ පරණ ටෙලි බැලුවා.

    නිරෝධායනය වෙන දරුවකුට තමන්ගෙ අම්ම තාත්තගේ අවසාන මොහතටවත් සහභාගී වෙන්න ඉඩක් නැති අවාසනාවක් ගෙනාපු අලුත් වචන අපේ මතකයෙන් ඈත් වෙන්නෙ, අපේ රටින් තුරන් වෙන්නෙ කවදද කියල බලාගෙන ඉන්න ඕනෑ උදා වෙච්ච අලුත් අවුරුද්දෙ. අලුත් වචන වගේම අලුත් ආප්තෝපදේශත් පරණ අවුරුද්දෙ අහන්න ලැබුණා. Òධම්මික පැණි ගේන්න කෑගලු ගියා වගේ.Ó සමාජ මාධ්‍ය ජාලා, මුහුණු පොත; අලුත් වචන, අලුත් කතා හදල සරල විනෝදයක් ගන්නවා. ඒත් ඒ අලුත් වචනවල කතාවල යටින් තියෙන්නෙ සරල විනෝදයක්, හාස්‍යයක්, උපහාසයක් නෙවෙයි. විශාල වේදනාවක්. දුකක්.

     

    බුද්ධදාස ගලප්පත්ති

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here