පාසල් කාලයේ අත්දැකීම් මගේ ඉදිරි ගමනට බොහෝ සෙයින් වැදගත් වුණා

    0
    9

    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දක්ෂතා පෙන්වන තරුණ කලාකරුවන් බොහොමයකි. ඒ ඇතැමුන් මෙරට පමණක් නොව පිටරට ද ජයකෙහෙළි නැංවූවෝය. මවුරටට ආඩම්බරයක් ගෙනෙනා ඔවුහු තමන්ගේ කැපවීමෙන් හා වියහියදමෙන් දුෂ්කරතා මැද කලා ලෝකයේ ඉදිරි ගමනක යෙදී සිටිති. විවිධ අත්හදා බැලීම් ඔස්සේ සංගීතයේ නවමං සොයා යෑම ඒ ඇතැමුන් කෙරෙන් දක්නට ලැබෙන ප්‍රවණතාවකි.

    එවැනි තවත් දක්ෂ ගායන සහ වාදන ශිල්පියෙක් පිළිබඳවයි මේ සටහන. කණ්ඩායම් සංගීතය ඔස්සේ කලා ලොවට පිවිසි දෙරණ රූපවාහිනී නාළිකාවේ බැට්ල් ඔෆ් ද බෑන්ඩ් හරහා ඔහු අපට මුණගැසිණ. සමූහයක් වශයෙන් එකකට එකක් දෙවැනි නොවන්නට ප්‍රසංග වේදිකාවේ ඔවුනොවුන් දැක්වූ හපන්කම් අදටත් බොහෝ දෙනකුගේ කතාබහට ලක්වේ. අද අපේ කතානායකයා වන තරුණයා ද ඒ අතිදක්ෂයන් අතර වූ අමරණීය මතක සටහන් තැබූවෙකි. ඒ එකොස්ටික් සංගීතය අතින් එහි කිරුළ දිනාගත් කණ්ඩායමේ ප්‍රබලයෙක් වශයෙනි.

    එහෙත් ජනමාධ්‍ය ඔස්සේ රටටම හපන්කම් පාන බොහෝ දෙනෙකු ඉන් එහාට ජනප්‍රිය නිර්මාණ හරහා අප හමුවට නොපැමිණීම ගැටලුවකි. රැයැලිටි වැඩසටහන් නිම වීමෙන් පසුව ඉන් ලද ජනප්‍රියත්වය උපයෝගි කර ගනිමින් කැපවීමෙන් නැඟී සිටින කලාකරුවන් අපට දක්නට ලැබෙන්නේ අඩුවෙනි. එහෙත් අද අප සමඟ කතාබහට එක්වන කඩවසම් තරුණයා එසේ නොවේ. රියැලිටි වේදිකාවෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට පය ගැසූ ඔහු සංගීත කලාව ඔස්සේ තව තවත් ඉදිරියට පැමිණෙන්නකු බවට සංගීතකාමීන්ගේ පැසසුමට ලක්ව සිටින්නෙකි.

    දිගින් දිගටම අප ඉදිරියේ කලාවේ හපන්කම් පාමින් සිටිනා හෙතෙම ඉඩක් ලද හැම විටකම රසික පර්ෂද වෙනුවෙන් වඩාත් හොඳ නිර්මාණයක් එළිදැක්වීමේ නොනිමි ආශාවෙන් පසුවන්නෙකි. එහෙත් ඔහු හතු පිපෙන්නාක් මෙන් නිතරම මොකක් හෝ ගීතයක් එළිදක්වන්නෙක් ද නොවේ. නිරන්තර පුහුණුව සහ අභ්‍යාස කිරීමෙන් ගොඩනඟා ගන්නා ඔහුගේම ආරකින් එකකට එකක් අලුත් නිර්මාණ අපට දායාද කිරීම නිසා ඔහු තරුණ පරපුරේ බොහෝ නිර්මාණකරුවන් අතරෙන් තමන්ගේම ලකුණක් සංගීත මඟෙහි සනිටුහන් කර ගත් සැටියකි.

    දැන් තවදුරටත් අද අපේ කතානායකයා පිළිබඳ හඳුන්වාදීමක් රසිකයන්ට වුවමනා නොවනු ඇත. දැනටමත් හෙතෙම ‘තෙරක්’ ගීයෙන් මුළු රටම ඔහුව හඳුනා ගෙන සිටියි. දැන් තරමටම තෙරක් ගීය ඔහු ජනප්‍රියත්වය නම් ගඟුලේ එතෙරටම රැගෙන ගිය සැටියකි. ඉන් ලද පන්නරය තුළින් තවත් අලුත් රස ආර ගීයෙන් රසික ජන පර්ෂද කරා රැගෙන යමින් ‘සීතය’ ගීයෙන් ද ඔහු මේ වන විට සංගීත රසකාමින්ගේ හදවත් තුළට සමීපව සිටියි. එවන් ඔහු අශාන් පෙරේරාය.

    කවදත් වෙනසක් සමඟ වේදිකාවට ගොඩ වදින අශාන් බෙර නද සමඟ සංකලනය කොට දෙනෝදාහක් සංගීත ලෝලින්ගේ දෙසවන් සැනසූ වාර අනන්තය. ඒ රූපරාමු විචිත්‍රය. යූ ටියුබ් හරහා දෙලක්ෂයකට වඩා වැඩි ශ්‍රාවක පිරිසක් ඉතා කෙටි කලෙකදී නරඹා ඉහළ ප්‍රතිචාර දිනන්නට තරම් අශාන් ඇතුළු proffesor සංගීත කණ්ඩායම දක්ෂ විය. ‘ pirates of the caribean – sri lankan මඟින් ද අද අපේ කථානායක අශාන් ඇතුළු කණ්ඩායමට ඉතා විශාල ජනප්‍රියත්වයක් ලැබිණ. දේශීය සංගීතයේ අපූර්වත්වය අපූරු සංගීත සංකලනයක් ඔස්සේ ගීතයේ තැවරී තිබීම එහි ආකර්ෂණීය බව වැඩිකරන්නක් වන වග වැඩිදෙනකුගේ කතාබහට ලක්ව ඇත්තකි.

    එසේම, ගායනයට මෙන්ම වාදනයට ද එක සේ දස්කම් පෙන්වන අද අපේ කථානායකයා වෘත්තියෙන් ගුවන්සේවා නිලධාරියකු වීම ද විශේෂයකි. අප දැන් හැරෙන්නේ මේ නැඟී එන දක්ෂ ගායන ශිල්පියාගේ සිතැඟි දෙසටය. කෙටියෙන් ඔහු ආ ගමන් මඟ පිළිබඳ අශාන් මතකාවර්ජනයක යෙදෙන්නේ මෙලෙසිනි.

    ‘මම සේවය කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තාක්ෂණ අංශයේ. අපේ ආයතනයෙන් කලා කටයුතුවලදී ලැබෙන සහාය මම ඉතා කෘතවේදිව සිහිපත් කරනවා. රූපවාහිනී වැඩසටහන්වලට සංගීත නිර්මාණයෙන් දායක වෙලා තියෙනවා. මගේ පදිංචිය මීගමුවේ. ඒ ප්‍රදේශය කලාවට ප්‍රසිද්ධයි. මම අධ්‍යාපනය ලැබුවේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන්. ඒ කාලයේ ඉඳන් මම සංගීතයට ළැදියි. පාසල් කාලයේ හුඟක් සංගීත කටයුතුවල යෙදුණා. එයින් ලැබූ අත්දැකීම් මගේ ඉදිරි ගමනට බොහෝ සෙයින් වැදගත් වුණා.’

    නුවන් ජයවික්‍රම

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here