බෙලි­ලෙන

    0
    9

    සුදු වලාකුළු කුට්ටි සිහි ගන්වන සුදෝ සුදු මිහිදුම් සළු පහළ මිටියාවත අවුරාගෙන ය. එහි ඇති ගහ කොළ ,ගෙවල් දොරවල් සියල්ල මිහිදුම් තිර අතර ගිලී සැඟවීගෙන ය. එයනම් අතිශය අයස්කාන්ත දර්ශනයකි.

    අපි ගමන නවතා මොහොතකට පහළට එබී බලා සිටියෙමු. අප ඇවිද යමින් සිටියේ කඳු මුදුනට ආසන්නව කඳු වැටිය වට කොටගෙන වැටී ඇති පුළුල් ගුරු පාර දිගේ ය.

    ‘දැන් අපි ඉන්නෙ මුහුදු මට්ටමෙන් අඩි දෙදාහක් විතර

    ඉහළින්.’

    මිතුරෙක් කීවේය.

    පොහොය දිනයක් වූ එදින අපි යමින් සිටියේ කිතුල්ගල, මහබාගේ ‘බෙලිලෙන’ නොහොත් ‘ගිරිලෙන’ නම් වූ විහාරස්ථානයටය. බොහෝ පොහොය දිනයන්හි පාසලේ අපේ පංතියේ යහළු යෙහෙළියන් කිහිප දෙනෙක් එක්ව නිදහසේ සොඳුරු තැනකට ඇවිද යාම පුරුද්දක් කොටගෙන තිබුණි. එකල සාමාන්‍ය පෙළ පන්තියේ සිටියද අපි ටියුෂන් පංති නොගියෙමු. අපට යන්නට ටියුෂන් පංති තිබුණේ ද නැත.

    යොවුන් වියේ සිටි නමුදු අපේ කණ්ඩායමේ කිසිවකුටත් ඒ අවදියේ පෙම් සබඳතා තිබුණේ ද නැත. තොරතෝංචියක් නැති උසුළු විසුළු මැද සැතපුම් හය හතක දුරක් වුව අප ඇවිද ගියේ ඉතා සැහැල්ලුවෙනි.

    අතරමගදී මුණගැසෙන ඉංඔය වත්තේ වතු නිවාස ද, තේ දළු මඩු ද, රබර් කම්හල් ද පසු කරමින් යන අතරතුර අපි කෝවිලට ද ගොඩ වදිමු. කෝවිලේ පූසාරි නළල් තලය මත තබන අළු පොට්ටුවට අපි මහත් සේ ආශා කළෙමු.

    සැතපුම් පහක පා ගමන අපගේ දෙපාවලට වෙහෙසක් නොදේ. බෙලිලෙන කිට්ටු වන විට අපට ගාථා සෙත් පිරිත් හඬ ඇසෙන්නට පටන් ගනී. මල් සුවඳ හා මුසුව හඳුන් කූරු දැවෙන සුගන්ධය පවනට මුසුව පාව ඒ.

    මහ වැස්සක් ළඟ එන ලකුණු පවසමින් වැස්සක සිරි සිරි හඬ ද නුදුරින්ම ඇසේ.

    ‘ඒ වැස්ස නෙමෙයි. ගල්ලෙන වටේටම වැස්ස වගේ තිස්සේම වතුර වැටෙනවා.’

    තතු දන්නා අයෙක් නොදන්නාවුන් දැනුවත් කරති.

    පාවහන් පසෙක තබා අප ලෙන තුළට ඇතුළු වන්නේ ඉමහත් භක්තියෙනි; සට සට ගා වැටෙන දිය බිඳුවලට තෙමීගෙනය. සිල් සමාදන් වූවෝ විස්සක් විසිපහක් පමණ ලෙන තුළ ඇවතුම් පැවතුම් රකින්නේ සැබෑ නිදහසකිනි. පන්සලේ වැඩ හිඳින තරුණ සාමනේර හිමිනම ද ගමට ආශීර්වාදයකි.

    කුඩා ලෙන් තුනකින් ද සුවිසල් වූ ප්‍රධාන ලෙනකින් ද සමන්විත වූ ඒ දැවැන්ත ලෙන් රාජයා සැබැවින් ම සොබා දහමේ අසිරිමත් නිර්මාණයකි. සිත සන්සුන් කරන භාවනාවට සුදුසුම ස්ථානයකි.

    ‘අපි ආපහු යනකොට වෙන පාරකින් යමු.’

    ගම්වාසියකු වූ අපගේ ගමන් සගයෙක් යෝජනා කරයි. සියල්ලෝ ඒ යෝජනාව එක හඬින් අනුමත කරති.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ බටහිර මායිමෙන් බෙලිලෙන බලා පිටත්වන අප ආපසු පැමිණෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මායිම් ගමක් වූ පිටවල ප්‍රදේශයෙනි. යාමට සහ ඒමට සැතපුම් හත අටක් වන මුළු දුරම පා ගමනිනි.

    සිහිලැති රබර් හේඩෑවත් , හරිත වර්ණ තේ යායත් හරහා හමා ගිය සුවදායී මඳ පවන අපගේ වෙහෙස කොහේදෝ ගෙන ගොස් දැමුවේය.

    1978 වර්ෂයේ දී බෙලිලෙන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතට පත්වීමත් සමග ගිරිලෙන විහාරස්ථානය වසා දැමිණි. එහි වැඩ සිටි ස්වාමින්වහන්සේ වෙනත් දන්නාඳුනන පන්සලකට වැඩම කොට සිටියහ.

    බෙලිලෙන ආසන්නයට වාහනයකින් පැම්ණිය හැකි වන සේ ගුරු පාර පුළුල් කෙරුණි. විස්සක විසිපහක ආගන්තුක නෝනා මහත්වරුන් කණ්ඩායමක් නිතර එහි සේවයෙහි යෙදී සිටි බැවින් අවට ගම්වැසියන් ද කාර්‍ය බහුල විය. සමහර වැසියනට වැඩබිමෙහි රැකියාද ලැබුණි.

    ‘මේ අපේ බෙලිලෙනින් අවුරුදු තිස් හය දාහක් පරණ ජනාවාසෙක නටබුන් හම්බවෙලාලු. අවුරුදු දාසය දාහක් පරණ ඇටසැකිල්ලකුත් හම්බවුණාය කියන්නෙ.’

    රූපවාහිනිය නොමැති ඒ යුගයේදී ඉඳ හිට කවුරුන් හෝ ගමට ගෙනා පුවත් පත ගම පුරා අතින් අත ගියේය.

    කෙමෙන් එහි පැමිණෙන මාධ්‍යවේදීන් සහ සංචාරකයන් සංඛ්‍යාව ද වැඩිවෙමින් තිබුණි. අතරමග කුඩා කඩ කිහිපයක් ම ඉදි වී තිබුණි . ගැමියන් හැසිරුණේ කිසියම් ආඩම්බරයකිනි.

    පරිසරයේ සිදුවු බරපතල වෙනස්වීම් අතර ගම්වැසියන්ට පන්සල කෙමෙන් අමතකව ගියේය .

    පාසලේ ගුරු සිසු දෙපිරිස සමග අප එවර එහි ගියේ පන්සලට නොව බෙලිලෙන පුරාවිද්‍යා වැඩබිම නරඹන්නටය.

    පෙර දිනයන්හි වවුලන් සිය දහස් ගණනින් අරක් ගෙන සිටි ලෙන තුළ ගැඹුරු වළවල් දෙකක් හාරා තිබුණි. ඉතා සියුම් උපකරණ භාවිත කරමින් මනා ශික්ෂණයකින් සහ ඉවසීමෙකින් යුක්තව කැනීම් කටයුතු කෙරෙන අයුරු සිසු සිසුවියන් ලෙස අප බලා සිටියේ මහා කුතුහලයෙකිනි.

    අස්ථි කොටසක් , වළංකටුවක් හෝ අඟුරු කැබැල්ලක් වැනි පුරා විද්‍යාත්මක වශයෙන් වැදගත් යමක් මේ දැන් හමුවේයැයි යන බලාපොරොත්තු සහගත හැඟීම කොයි කාගේත් නෙත්, සිත් තුළ නලියමින් තිබුණි.

    සිවු වසරක් තිස්සේ පැවැති කැනීම් කටයුතු නිමා කරමින් 1983 පුරා විද්‍යා නිලධාරීන් ඇතුළු සේවක මණ්ඩලය බෙලිලෙනත්, මහබාගේ ගමත් අතැර ගියහ. ඔවුන්ගේ නික්ම යාමෙන් ගම්වැසියන්ට ඉමහත් ශෝකයක් හා පාළුවක් ඉතිරි වූ බවට කිසිදු සැකයක් නැත.

    පුවත්පත්, සඟරා පිටු පුරා ද ගුවන් විදුලිය ඔස්සේ ගුවනින්ද , රූපවාහිනී තිරයෙන්ද එපමණක් නොව දරුවන්ගේ පාඩම් පොත් තුළින්ද තම කුඩා ගම්මානය ගැන කියැවෙන විට ගැමියන්ට දැනුණේ මහත් ආඩම්බරයකි.

    ‘කිතුල්ගල, බෙලිලෙන කැනීම් කටයුතු ආශ්‍රයෙන් සොයාගනු ලැබූ අස්ථි කොටස් සහ පාෂාණ විශේෂයන්ගෙන් තනන ලද කුඩා අවි ආයුධ වසර තිස් දහසක් පමණ පැරැණි බව කාබන් පරීක්ෂණ තුළින් හෙළි වී තිබේ. තවද ඉන් සොයාගෙන ඇති බලංගොඩ මානවයාගේයැයි සැලකෙන ඇට සැකිල්ලෙහි කොටස් වසර දහසය දහසක් ඉපැරණි බවට කාල නිර්ණය වී ඇත.’

    ඒ ඉපැරණි යුගයේ ඔවුන් ගින්දර භාවිත කළ බවට ද සාක්ෂි හමු වී ඇත. එපමණක් නොව බෙලිලෙන කැනීම් තුළින් හමුවූ මුහුදු බෙලි කටු සහ ලුණු භාවිතයේ සලකුණු හෙළිදරව් කරනුයේ බලංගොඩ මානවයා කිලෝමීටර් 80ක් එපිටින් පිහිටි මුහුදුකරය සමග ගනුදෙනු කර ඇති බවය.’

    ඒ වාර්තා අසා කියවා අපි බලංගොඩ මානවයා සිතින් මවා ගත්තෙමු. මුක්කම් නාසා ද, පුළුල් හකුපාඩා ද, කෙටි ගෙල ද සහිත බලංගොඩ මානවයාගේ ඥාති සමූහයා නිරන්තරවම බෙලිලෙන තුළ සහ ඒ අවට ඔබ මොබ සැරි සරන්නට ඇත. මුහුදුකරයෙන් හිත මිතුරන් පැමිණි කල හූවක දුරින් ඇති කැලණි නදියට දිව ගොස් ඔවුන් රංචු පිටින් දිය කෙළින්නට ඇත. එකල කැලණි ගං කොමලිය ද දැනට වඩා දස ගුණයක්වත් වේගයෙන් සහ උද්දාමයෙන් දිව යන්නට ඇත.

    තරමක් නුදුරේ වූ මනහර හඳුන් ඇල්ල පාමුල ඔවුන් දරු ඇඹෙනියන් සමග නිදහසේ විනෝද වන්නට ඇත.

    බෙලිලෙන පිළිබඳව අවට ගම්වාසීන්ගේ ඒ ආඩම්බරය අද ද එලෙසම පවතී . එසේ වෙතත් ගමට පන්සලක් අහිමිව යාමේ අඩුව ඔවුනට අදටත් දැනේ.

    ‘පන්සල තිබුණානම් අපිටත් ආරක්ෂාවයි, ලෙනටත් ආරක්ෂාවයි. ලෙනට මුරකාරයෙක් පත් කළාට මාසෙ පඩිය රුපියල් දාහටත් අඩුයි. පඩිය ගන්ඩ කෑගල්ලට ගිහින් එන්ඩත් මදිලු හම්බවෙන ගාන.’

    එලෙස කීවේ මෑතකදී මට මුණ ගැසුණු බෙලිලෙනෙහි අසල්වැසියෙකි.

    සුනිලා විජේසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here