රත්තරන් පැරදවූ කොන්දොස්තරගේ මනුස්සකම!

0
37

ලක්ෂ දෙකහමාරක් පමණ වටිනාකමක් ඇති රන් භාණ්ඩ කිහිපයක් ලංගම බස් රථයක ආසනයක් යට තිබී එම බස් රථ කොන්දොස්තර විසින් එහි හිමිකාර යුවතියට හෙම්මාතගම බස් නැවතුමේදී පෙරේදා (02දා) භාරදීමට කටයුතු කළ අතර එය බොහෝ දෙනකුගේ පැසසුමට මෙන්ම කතාබහට ලක්විය.

හෙම්මාතගම, හරංකඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ක් වන අයි.එච්. ධනුෂ්කා සංජීවනී අවිවාහක තරුණියගේ මව විදේශගතව සේවය කරන අතර ඇය විසින් දියණියගේ උකස් තැබූ රන් භාණ්ඩ බේරා ගැනීමට මුදල් එවා ඇත. පසුව ධනුෂ්කා ජනවාරි 01 වැනිදා එම රන් භාණ්ඩ බැංකුවෙන් නිදහස් කරගෙන තමන්ගේ යෙහෙළියක හමුවීමට හෙම්මාතගම සිට ගම්පොළ බලා ධාවනය වන බස් රථයකින් යමින් සිටියදී ඇය සතුව තිබූ රන් භාණ්ඩ අතුරුදන් වී තිබුණි.

පසුව ඇය ගමන් කළ ගම්පොළ ඩිපෝවට අයත් ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා වන ජී.ජී. අනුර ප්‍රියන්ත කුමාර යන අයට දැනුම්දී තිබේ. ඔහු පවසා ඇත්තේ සවස බස් රථය අතුගා පිරිසුදු කරන විට රන් භාණ්ඩ වැටී තිබුණහොත් දුරකථන ඇමතුමක් ලබාදෙන බවය.

අවසන් ගමනාන්තයෙන් පසුව සුපුරුදු ලෙසින් බස් රථය පිරිසුදු කරමින් සිටියදී කොන්දොස්තරවරයාට පොලිතින් කවරයක බහා තිබූ රන් භාණ්ඩ හමුවී ඇති අතර ඔහු සැණෙකින් ඉහත තරුණියට ඒ බව දැනුම් දී ඇත. පසුව එම රන් භාණ්ඩ හෙම්මාතගම බස් නැවතුමේදී තරුණියට ලබාදීමට බස් කොන්දොස්තර අනුර ප්‍රියන්ත කටයුතු යොදා තිබිණි.

වර්තමාන සමාජයෙන් මෙවැනි පුවත් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපට අදහස් දැක්වූ කොන්දොස්තර වන ජී.ජී. අනුර ප්‍රියන්ත කුමාර පැවසුවේ තමන් වසර 13කට වැඩි කාලයක් ගම්පොළ-හෙම්මාතගම බස් රථයේ කොන්දොස්තරවරයෙක් ලෙස කටයුතු කරන බවත් මෙලෙස නැතිවූ භාණ්ඩ සහ මුදල් යනාදිය මීට පෙරත් හිමිකරුවන්ට භාරදීමට කටයුතු කර ඇති බවත්ය.

රන් භාණ්ඩවල හිමිකාරිනිය වන ධනුෂ්කා සංජීවනී මෙනවිය අදහස් දක්වමින් පැවසුවේ මෙවැන්නකි. ‘අද කාලයේ මේ වගේ දේවල් අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. බැංකුවෙන් බේරාගත්තු ලක්ෂ දෙකහමාරක රන් භාණ්ඩ නැති වුණ නිසා මම පසුවුණේ දැඩි මානසික පීඩනයකින්. කොන්දොස්තර මහත්තයාගේ ක්‍රියාකලාපය ගොඩක් අගය කරනවා.’

එම දිනයේ බස් රථයේ රියැදුරා ලෙස කටයුතු කර ඇත්තේ නිහාල් කැකුලන්දර මහතාය. කෙසේ වෙතත් මේ සද්ක්‍රියාව පිළිබඳ බොහෝ දෙනකු ප්‍රශංසාත්මකව කතාබහ කළ අයුරු දක්නට ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here