රත්නපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 50 ක් වටිනා PCR යන්ත්‍රයක්

0
40
රත්නපුර ශික්ෂණ රෝහලට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති PCR යන්ත්‍රයක අඩුව සපුරාලමින් එකවර කොවිඩ්-19 පරීක්ෂණ 91 පමණ සිදු කළ හැකි රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා PCR යන්ත්‍රයක් ලබාදීම අද දින (04) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර රෝහලේ දී සිදු කෙරිණි
 
 මෙම PCR යන්ත්‍රය ලැබීමත් සමග රත්නපුර ශික්ෂණ රෝහල තුලින් සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාවය ඉහළ නංවමින් පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය – “රත්නපුර රෝහලට PCR යන්ත්‍රය ලබාගැනීමට පළාත් ආණ්ඩුකාර තුමා ලබාදුන් නායකත්වය මම ඉතා අගය කරනවා. ඒ සදහා සහයෝගය ලබාදුන් පළාත් සභාව, ලංකා බැංකුව, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුලු සියළු දෙනාට ස්තූතිය පුද කරනවා.”
 
“රට විවෘත කරමින් කොවිඩ් වෛරසය මර්දනයට අවශ්‍ය තැන් වල දී අවශ්‍ය පියවර ගනිමින්, වෛරසය සමග ජීවත් වන ආකාරය ජනතාවට අවබෝධ කර දෙමින් කටයුතු කළ යුතුව තිබෙනවා. එහිදී සෞඛ්‍ය අංශ වලට විශාල පීඩනයක් එනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මටත් විශාල වගකීමක් තිබෙනවා.  සෞඛ්‍ය අංශයේ වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත් මෙම බර එනවා. එම බර සහ පීඩනය දරා ගන්නේ සෞඛ්‍ය අංශය. ඔවුන් ජාතික වීරවරයෝ. ඔවුන් විශාල කැපකිරීමක් සිදු කරනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සිදු කරන සේවය අපි අගය කරනවා. මම අමාත්‍යාංශයේ ලේකම් තුමාට උපදෙස් දුන්නා සමස්ත සෞඛ්‍ය කර්ය මණ්ඩලයේම පෞද්ගලික ලිපිගොනුවට ඔවුන් කළ සේවය අගයා  ලිපියක් යොමු කරන්න කියලා. ඔවුන් කළ සේවය අප සදාතනිකව අගය කරනවා.”
 
පසුගිය වසරේ මාර්තු මස සිට මේ වන තෙක් රත්නපුර රෝහල මගින් PCR පරීක්ෂණ සිදු කොට ඇත්තේ පහත රට තේ පර්යේෂණායතනයෙන් සහ සබරගමුව විශ්ව විද්‍යාලයෙන් ලබාගත් උපකරණ භාවිතා කරමින්ය. සබරගමුව පළාත් ආණ්ඩුකාර තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති රත්නපුර දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේ දි රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහලට PCR යන්ත්‍රයක අවශ්‍යතාවය පෙන්වා දිමෙන් පසු රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන බැංකුව ඇතුලු රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ධන පරිත්‍යාග අනුව මෙම PCR යන්ත්‍රය ලබාගැනීමට හැකිව ඇත.
 
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නංගර,  රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුජ රොද්‍රිගෝ, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලීන් පෙරේරා, පළාත් මාර්ග අමාත්‍යාංශයේ ලේකම් චාමර බමුණුආරච්චි, හිටපු පළාත් සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝටාගම මහත්මිය සහ විශේෂඥවරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
 
 
 
 
 
 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here