ලෙඩේ හොඳටම සනීපවෙලා නෑ

    0
    7

    පොඩි එකාට හොඳටම අසනීප වුණා. උණයි කැස්සයි හෙම්බිරිස්සාවයි. දවස් දෙකක් බලාගෙන හිටපු දේවිකා දරුවව බෙහෙත් ටිකක් ගන්න අරගෙන ගියේ ලෙඩේ අඩුවෙන පාටක් නොතිබුණු හින්දා. බබාව බලපු දොස්තර මහත්තයා සතියක් බොන්න කියලා බෙහෙත් වර්ග කීපයක්ම දුන්නා. දවස් තුනක් යනකොට ලෙඩේ හොඳටම හොඳ වුණා. දේවිකා ඉතුරු බෙහෙත් ටික දෙන එක නැවැත්තුවේ “ලෙඩෙත් හොඳ එකේ නිස්කාරනේ බබාගෙ ඇඟට බෙහෙත් ඔබන්නේ මොකටද ?” කියලා අල්ලපු ගෙදර අක්කත් කියපු නිසා.

    දරුවකුට හරි, වැඩිහිටියකුට හරි ලෙඩකට බෙහෙත් නියම කරනකොට දොස්තර කෙනෙක් කාරනා කීපයකට බෙහෙත් නියම කරනවා. එකක් තමයි ලෙඩාට තියෙන අමාරුකම් නැතිවෙන්න. ඒ කියන්නේ ඇඟේ පතේ වේදනාව නැතිවෙන්න. නහයෙ බර ගතිය නැති වෙන්න. කැස්ස අඩු වෙන්න. උණ අඩු කරලා තියාගන්න. බඩ වේළවලා තියෙනවා නම් බඩ බුරුල් වෙලා යන්න.

    බෙහෙත් දෙන අනිත් හේතුව තමයි ලෙඩේ හොඳ වෙන්න. උණ හැදිලා තියෙන්නේ ඇඟට විෂ බීජයක් ඇතුළු වෙලා කියලා තීරණය කළොත් ඒ විසබීජය මරලා දාන්න. ඔළුව කැක්කුම තියෙනේ ප්‍රෙෂර් එක වැඩිවෙලා නිසා නම් ප්‍රෙෂර් එක අඩු කරගන්න.

    අන්න ඒ නිසයි අපි බෙහෙත් ගන්නකොට පුළුවන් හැම වෙලාවකම තමන්ට දීල තියෙන බෙහෙත් මොනවද ඒව දීල තියෙන්නෙ මොන හේතුවටද කියලා දැනගන්න ඕන කියලා කියන්නේ.

    රෝග ලක්ෂණ අඩුවෙන්න දෙන බෙහෙත් නිසා බෙහෙත බොන කෙනාට ලෙඩේ හොඳ වෙනකල් පහසුවෙන් ඉන්න පුළුවන්. හැබැයි කැස්ස තියෙන කෙනකුට බෙහෙත් අරන් දවස් දෙකක් යනකොට කැස්ස නැති වුණා කියන්නේ බෙහෙත නිසා කැස්ස යටපත් වෙලා කියන එක මිසක්, කැස්ස හොඳ වුණා කියන එක නෙවෙයි. කැස්ස හොඳ වෙන්න නම් දීපු බෙහෙත් ඔක්කොම බොන්න නියම කරපු මුළු කාලෙම බොන්න වෙනවා.

    අපි හිතමු අපට මොකක් හරි විසබීජයක් නිසා ලෙඩක් හැදෙනවා, හැබැයි මේ විසබීජ එක්කෙනකුට බෑ අපිව ලෙඩ කරන්න. ඒකට විෂබීජ ගොඩක් ඇඟ ඇතුළේ ඉන්න ඕන. විෂබීජයක් ඇඟට ආවට පස්සේ අපිව එක පාරටම ලෙඩ වෙන්නේ නෑ. අපිව ලෙඩ වෙන්නේ විෂබීජය අපේ ඇඟ ඇතුලේ ඇති තරම් බෝ වුණාට පස්සේ.

    අන්න එහෙම විෂබීජයක් නිසා ලෙඩ වුණ කෙනෙක් දවස් දෙකක් විතර බෙහෙත් බොනකොට විසබීජ ටික ටික මැරිලා යන්න පටන් ගන්නවා. එතකොට තමයි ලෙඩාට පොඩි සුවයක් දැනෙන්නෙ.

    හැබයි හොඳින් දැනගන්න ඕනෑ, පළවෙනි දවසෙ මැරෙන්නෙ විෂබීජවලින් දුර්වලම කට්ටිය. බෙහෙත්වලට ඔරොත්තු දෙන විෂබීජ මැරෙන්න තව දවස් කීපයක් බෙහෙත් බොන්න වෙනවා.

    ඔන්න අපි හිතමු කෙනෙක් දවස් හතෙන් දවස් පහක් බෙහෙත් බිවුවා කියලා. දැන් එයාගෙ ඇඟේ ඉන්නේ විෂබීජ හරිම ටිකයි. හැබැයි හොඳින්ම මතක තියාගන්න වෙනවා ඒ ඉතුරු වෙලා ඉන්නේ බේත්වලට හොඳින්ම ඔරොත්තු දෙන විෂබීජ ටික. කීප දෙනෙක් වුණත් මරන්න අමාරුම විෂබීජ ටික. හැබැයි ඉන්නේ ටිකක් නිසා ලෙඩාට ලෙඩ ගතියක් දැනෙන්නේ නෑ.

    දැන් මේ ලෙඩා පස් වෙනි දවසේ බෙහෙත් ගන්න එක නතර කළොත් මොකද වෙන්නේ?

    බෙහෙත නිසා මැරි මැරී හිටිය විෂබීජ මැරෙන එක නැවතිලා ආයෙත් බෝ වෙන්න පටන් ගන්නවා. තේරුම් ගන්න ඕන වැදගත්ම දේ, මේ බෝ වෙන්නෙ විෂබීජ අතරින් නොමැරී ඉතුරු වුණු ශක්තිමත්ම විෂබීජ ටික. අපි කලින් දුන්න බෙහෙත්වලට මෙයාලව මරන්න අමාරුයි.

    ඔන්න සතියක් විතර යනකොට ආයෙමත් ඇඟේ විෂබීජ වැඩි වෙලා බෙහෙත් නවත්තපු කෙනා ආයෙමත් ලෙඩ වෙනවා. හැබැයි කලින් බෙහෙත්වලට බෑ එයාව හොඳ කරන්න. බැරි වෙලාවත් එයගෙන් ලෙඩේ තව කෙනෙකුට බෝ වුණොත් එයාටත් ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා. සතියෙන් හොඳ වෙන ලෙඩේට මාස ගණන් බෙහෙත් බොන්න වෙනවා.

    කතන්දරයක් වගේ වුණාට මේ තමයි අද ලෝකෙ දොස්තරලට තියෙන ලොකුම ප්‍රශ්නය. හරියට බෙහෙත් නොගන්න මිනිස්සු නිසා බෙහෙත්වලට ඔරොත්තු දෙන විෂබීජ ලෝකෙ හැම තැනම.

    අන්න ඒ නිසා තෙරුම් ගන්න, අපි හරියට කියපු දවස් ගාන බෙහෙත් නොබොන එක අපට විතරක් නෙවෙයි, ලෝකෙටම බලපානවා.

    නුවන් තොටවත්ත

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here