ශ්‍රී ලංකා පිල පරාජයෙන් බේරීමේ සටන අරඹයි

0
15

– දකුණු අප්‍රිකානු පිල 302කට දැවී යයි 
– දිමුත්ගෙන් සටන්කාමි ඉනිමක්

සටන්කාමී ඉනිමක නිරතව සිටින නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91ක් රැස් කරමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැනස්බර්ග් නුවර වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ නිමා වන විට ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම කඩුලු 4කට ලකුණු 150ක් දක්වා ඉහළ දමා ගෞරවය රැක ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට රැස් කළ ලකුණු 157ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකානු පිල ලකුණු 302ක් ලබා ගත් අතර, මේ වන විට ශ්‍රී ලංකා පිල කඩුලු 6ක් අතැතිව දකුණු අප්‍රිකානුවන්ට වඩා ලකුණු 5ක් ඉදිරියෙන් සිටී. කරුණාරත්න සමග නොදැවී කඩුල්ලේ රැඳී සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 18ක් ලබා සිටී.

පෙරේදා දිනය නිමා වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් ලබා සිටි දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ ඉතිරි කඩුලු 9 ම ලකුණු 84ක් ඇතුළත දවාලීමට ශ්‍රී ලංකා පිලේ වේගපන්දු යවන්නෝ ඊයේ සමත් වූහ. ඊයේ උදෑසන ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් සිය ටෙස්ට් තරග දිවියේ 13 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වූයේ පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 5කින් අහිමි කරගත් ශතකයේ වේදනාව මකා දමමිනි. තම 65 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන 33 හැවිරිදි මේ වමත් පිතිකරුවා සිය ශතකය වාර්තා කළේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට අලංකාර හතරේ පහරක් එල්ල කරමිනි. සිය ඉනිම අතරතුර ටෙස්ට් තරග බිමේ ලකුණු 4000 සීමාවත් පසු කිරීමට සමත් වූ එල්ගාර් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 218ක්ව තිබියදීය. රයන් වැන් ඩුසේන් සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 184ක අනගි සම්බන්ධතාවක් ගොඩනැගූ එල්ගාර්ගේ ඉනිම නිමාවට පත් වූයේ දුෂ්මන්ත චමීරගේ පන්දුවකට දෙවැනි ස්ලිප් හි සිටි ළහිරු තිරිමාන්න අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

ඩීන් එල්ගාර්ගේ ඉනිමට හතරේ පහර 22ක් ඇතුළත් වූ අතර, ඔහු මුහුණ දුන්නේ පන්දු 163කට පමණි. එල්ගාර්ට කදිම සහයෝගයක් ලබා දුන් ඩුසේන් මුළු ලකුණු සංඛ්‍යාව 218දීම දවාලීමට දසුන් ශානක සමත් විය. ඔහු ලකුණු 67කට දැවී ගියේ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දෙමිනි. කෙසේ වෙතත් ප්‍රධාන විනිසුරු මේරියස් ඉරස්මස් ප්‍රතික්ෂේප කළ එම දැවී යෑම ශ්‍රී ලංකා පිල තහවුරු කරගත්තේ රූපවාහිනි විනිසුරුට පින්සිදු වන්නටය.

අනතුරුව ලකුණු 33ක් ඇතුළත ප්‍රබල පිතිකරුවන් වන ෆෆ් ඩු ප්ලෙසි සහ නායක කුවින්ටන් ඩි කොක් අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් කළ ශ්‍රී ලංකා පිල දිවා ආහාරයට ගියේ යම් තරමක සැනසිල්ලක් ඇතිවය.

ඊයේ දිවා ආහාරය වනවිට කඩුලු 5කට ලකුණු 256ක් ලබා සිටි දකුණු අප්‍රිකානු පළමු ඉනිම දිවා ආහාරයෙන් පසු පැයක් ඇතුළත නිමා කිරීමට පෙරමුණ ගත් වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු ඔහුගේ ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 101කට කඩුලු 5ක් දවාලීමට සමත් විය.

ලකුණු 145ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට පළමු කඩුල්ල අහිමි වූයේ එක් ලකුණක් ලබා සිටියදීය. පළමු ටෙස්ට් තරගයේදී ඉනිම් 2දීම අර්ධ ශතක රැස් කළ කුසල් ජනිත් පෙරේරා එක් ලකුණකට දවාගත් ලුන්ගි එන්ගිඩි ඊයේ ශ්‍රී ලංකා පිලට වැඩිම තර්ජනය එල්ල කළ පන්දු යවන්නා බවට පත්වූයේ කඩුලු 3ක්ම දවා ගනිමිනි. කුසල්ගේ දැවීයෑමෙන් පසු පිටියට පිවිසි ළහිරු තිරිමාන්න දෙවැනි කඩුල්ලට දිමුත් සමග එක්ව ලකුණු 85ක් එකතු කළ අතර, එන්ගිඩිගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 31කටය. පළමු ඉනිමේදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේදිත් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිනෝද් භානුකට රැස් කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.

අද තරගයේ තුන්වැනි දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here