සංචාරක සංවිධායකයන් කිසිවකුට කොවිඩ් නීතිවලට පිටුපාන්න බෑ – සංචාරක ඇමැති

0
10

සංචාරක නියෝජිත ආයතන හෝ සංචාරක සංවිධායකයන් කිසිවකුට කොවිඩ් – 19 වැළැක්වීමේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට පිටින් කටයුතු කිරීමට කිසිඳු ඉඩක් නොතබන ලෙසත්, සංචාරකයන්ගේ සියලු ගමන් සම්බන්ධීකරණය සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාවට නංවන ලෙසත්, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

යුක්රේන සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නිසි අනුමැතියකින් තොරව අපරීක්ෂාකාරී අයුරින් යාල වනෝද්‍යානයේ සහ මිරිස්ස තල් මසුන් නැරඹීමට රැගෙන යාම හේතුවෙන් පසුගිය දා උද්ගතවූ ආන්දෝළනාත්මක තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා ටුවරිසම් සභාපතිනී කිමාර්ලි ප්‍රනාන්දු මහත්මිය අමාත්‍යවරයාට කළ දැනුම් දීම මත මෙම තීරණය ගෙන ඇත.

ජනවාරි මස අගභාගයේ දී ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු මෙවැනි ගැටලු යළි උද්ගත නොවන අයුරින් විධිමත් ක්‍රමවේදයක් තුළ සංචාරකයන් හැසිරවීමට පියවර ගන්නා ලෙසත් ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

සංචාරකයන් සඳහා රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතියේ දී හඳුන්වා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු ඊට අදාළ ආයතන දැඩි අවධානය යොමු කළ යුතු බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතියේ මෙතෙක් හඳුනා ගත් ගැටලු සමාලෝචනය කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

ඇමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැති ඩී.වී චානක යන මහත්වරුන් ප්‍රමුඛ කොවිඩ් 19 පාලනය කිරීමේ කමිටු නියෝජිතයන්, සෞඛ්‍ය බලධාරීන්, යුක්රේන සංචාරය සංවිධාන කරන සංවිධාන, ඔවුන් රැඳී සිටින හෝටල්වල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව ඇත.

බුද්ධි කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here