සැළමුතු දඬු­වම

    0
    12

    2020 ලෝකව්‍යාප්ත මානව ඉතිහාස කතාවේ අමුතුම ගමනක් ගිය වර්ෂයකි. සිදු වූයේ කුමක් ද, වෙන්නේ කුමක්ද අනාගතය කෙසේ වේවිද නොදැන කංසාව පිරි ආකූල සහගත වසරක් විය.

    මට ඒ පටන් ගැන්ම දැනෙන්නේ හරියටම කටුක කාලගුණික තත්ත්වයක අධිවේග මාර්ගයක ඉතා දිග අවශ්‍යම ගමනක් යද්දි දරුණු වාහන තදබදයකට අසු වූ ලෙසයි. වාහන පේළියට නතර වී ඇති අතර හරවා මාර්ගයෙන් ඉවත් කර ගැනීමට නොහැකියි. කටුක කාලගුණික තත්ත්වය නිසා වාහනයෙන් බසින්නට නොහැකියි. කවුළු පියන් අරිණු නොහැකියි. වාහන තදබදයට හේතුව අපහැදිලියි. වාහන තුළ සිටින අය ඔවුනොවුන්ගේ ක්‍රමයට තත්වය පහව යන තෙක් බලා සිටියි. උදව්වට උපකාරයට නිසි අය එනතුරු නිවැරදි තොරතුරු, ආරක්ෂාව නිසි බලධාරීන් විසින් සපයන තුරු සන්සුන්ව සහ නොසන්සුන්ව නැවතී සිටියි.

    ඒ අතර ඇතැම් විට යම් යම් අය වාහනවලින් බැස එකිනෙකා හා කතා කරයි. තොරතුරු හුවමාරු කර ගනියි. ඉවසීමට කරුණු සොයා ගනියි. තව අය බහින් බස් වෙයි. වාහන ඇතුළේ නොසන්සුන් වූ කුඩා දරුවන් හඬයි. දෙමාපියන් වෙහෙසට පත් වෙයි. පරුෂ අශිෂ්ට අය ඔවුන්ගේ ආතතිය තමන්ගේ පවුලෙ අය ගෙන් පිරිමහ ගැනීමට දුෂ්ට ලෙස හැසිරෙයි. සමහර ආදරණීය අය කුඩා ක්‍රීඩාවල යෙදෙයි. තමන්ගේ ශක්තිය උපශාන්තව පාවිච්චි කරයි. තව කෙනෙක් කෑම, බෙහෙත්, ඉන්ධන ලබා ගැනීම ගැන කණස්සල්ලට පත් වෙයි. ඇතම් අය විදුලි සන්දේශනය අන්තර්ජාල සංඥා නොමැති වීම ගැන මැසිවිලි නඟයි, තරහ ගනියි.

    විටෙක නැවත වාහන පෝළිම ඉදිරියට ඇදෙන්නට ගනී. කලබලයෙන් මිනිසුන් නැවත ගමන අරඹන්නට සැරසෙයි. ඒ දඩිබිඩිය ගමනට තවත් පටැලිලි එක් කරයි. එහෙන් මෙහෙන් යන්නට තැත් කරමින් වාහන හප්පා ගනීයි. අධිවේග මාර්ගයෙන් බැහැරවී වෙනත් මං සොයන්නට පොදි කා ඒවා අවහිර කරගනිමින් කුඩා මාර්ග අතුරු පාරවල් පාවිච්චි කරන අය පවා හිරිහැරයට අනතුරට ලක් කරයි. ඇතැම් අය සෙමින් ඉදිරියට ඇදී ගමනේ කෙළවරට එනතුරු බලාපොරුත්තු සහගත වෙයි, ඉවසිලිවන්ත වෙයි. තවම හරි විසඳුමක් නැති වෙයි. ඒ අතර ක්‍රමයෙන් පිරිස සිදු වූ දේ විමර්ශනයට, විසඳුම් සෙවීමට, උපදෙස් සහ තොරතුරු විසිරුවා හැරීමට සූදානම් වෙයි, වැඩ කටයුතු පටන් ගනියි. ඒ අතර වාහන තදබදය නිසා ඇති වූ නොයෙකුත් අපහසුතාවයන් වෙනුවෙන් ධනවත් බලවත් අයට විශේෂ පහසුකම් සැලැසෙයි. ඇතැම් අය මේ අවුල් සහගත තත්වය මුදල් සහ දේශපාලනික ලාබ ලැබිය හැකි මාර්ගයක් බවට පත් කරගැනීමට උත්සහ කරයි. කපටි කෛරාටිකයින් සෙමින් ඉදිරියට ඇදෙමින් ඇති වාහන පවා වළකමින් එහා මෙහ පනිමින් බඩු විකුණන්නට පටන් ගනියි. මෙවැනි පොහොසත්, දුප්පත් රැවටිලිකාරයින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනියි. නමුත් ගඟ දියේ ගසා යන්නා වාගේ බලාපොරොත්තු නැති කරගත් මොහොතක පිදුරු ගසක වුව එල්ලෙන්නට තැත් කරන්නා සේ ඇතැම් අය මේ මඟඩි ප්‍රෝඩාවලට අසුවෙයි. අනෙක් අය තත්වය පාලනය නොකිරීම ගැන පාලකයින්ට පරිභව කරයි. හෙමින් හෙමින් ගමන යන පැත්තට ඇදෙයි. නමුත් 2020 වසර ගමන 2021න් කෙළවර වීද?

    මා කල්පිත රචනාවකින් ඉදිරිපත් කල අර දැඩි වාහන තදබදයට අපව ඇතුළු කර පසු දැක්මකින් ගත වූ 2020 වසර දෙස බලද්දී, එම ව්‍යාකූල තත්වයට අප තනි තනි ව සහ එකට මුහුණ දුන් ආකාරය පෙනේවි. ඔබට ඔබ ගැන ගත හැකි තීරණ මොනවාද?

    වඩා ඉවසිලිවන්ත, වඩා කාරුණික, වඩා මනුෂ්‍යත්වය අගය කරන, මා තේරුම් ගැනීමට හැකි, ලෝකයට බය නැති කෙනකු වීමට උත්සාහ කරන්නට ගත වූ වසර මට පාඩම් කියා දුණි. මම මගේ ආකල්ප වඩා ඉහළ යහපත් තැනකට සමර්ථ කරවීමට තීරණයක් ගතිමි.

    ඔබ 2020 දෙස බලා ඔබට කැමැති ලෙස විවිධාකාර තීරණ ගන්නවා විය හැකියි. ඒවා සියල්ලම විවිධ වෛවර්ණ, නා නා හැඩ පිරි අලංකාර අභිප්‍රායන් වෙනු ඇත. සමහර විට සිදු වූ සියල්ල අමතක කර 2020 දෙස නොබලා, නොතැවී ලැබු නව වසර නව ගමනක් සේ ගෙන මේ යන ගමනේ ඉතිරි ටික ගෙවා දැමීමට පවා කෙනකු තීරණය කරනවා විය හැකිය. තවත් අය වෙනත් සාමන්‍ය කලයට සාපේක්ෂකව 2020 දී දැනුණු අසාමන්‍ය සැලමුතු බව ස්වභාව ධර්මයාගෙන්, කර්මයෙන් හෝ දෙවියන්ගෙන් ලද දඬුවමක් සේ ගෙන වඩා යහපත් ජීවන ලීලාවකට එන්නට පාඩමක් කර ගනියි.

    අප වසරක කෙළවර ගන්නා තීරණ කවරාකර වූවත්, අප නව වසර වෙනුවෙන් බලාපොරොත්තු සහගත වී ඇති කරගන්නා අභිප්‍රායයන් කවරාකාර වූවත්, මේ සියල්ලේම එකතුව මානව ඉතිහාසයේ කතාව සටහන් කර තබනු ඇත.

    අප තනි තනිව සහ එකතුව හැසිරුණු අයුරු, අපට විඳින්න්ට වූ ගැහැට, අපට ලැබුණු ලාබ ප්‍රයෝජන මොනවා වී මුත් ඉදිරි කාලය ගැන අප මොනවා බලාපොරොත්තු වූවත් අපේ ගමන නොසිතූ විරූ ලෙස වෙනස් විය හැකි බව 2020න් අපට පාඩමක් කියා දුන් බව නිෂ්ප්‍රභකරන්නට නොහැකිය.

    2020 වසර වැනි වකවානු, ජිවිතය යනු අපට ඕනෑ දේ සිදුවීමෙන් සම්පූර්ණ වෙන ගමනක් නොව, සිදු වෙන දේ අප විසින් හසුරුවා ගැනීමෙන් වන ගමනක් බව නැවත නැවත මතක් කරයි. අපට ඇත්තේ වඩා හොඳ තීරණ ගැනීමයි. ඔබට සුබ නව වසරක් වේවා!

     

    හිමාලි එන්. ලියනගේ

     

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here