සිනමාවෙන් අප කතා කළ යුත්තේ සමාජ යථාර්ථයයි

    0
    5

    අධික තිත්ත රසයකින් යුක්ත බොහෝ ඖෂධ වර්ග පැණි රස දැවටුමක ආවරණය කර දෙන්නේ එහි කර්කශභාවය වැසී යන්නටය. ඇතැම් නිර්මාණ ද සැබෑ මනෝභාවයන් සුන්දර ආවරණයක දවටා එහි ඇති කටුකභාවය මිහිරි රසයක් බවට හරවන්නට උත්සාහ කර තිබේ. එබඳු උත්සාහයන් අබිබවා ගිය වෙනස් කෙටි චිත්‍රපටයක් වන “එක්තරා ආදර කතාවක්” Agenda 14 කෙටි චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන කිහිපයක්ම ලබා ගන්නට සමත් විය. මේ කතාබහ එක්තරා ආදර කතාවක් නිර්මාණය කළ යශෝධරා කාරියවසම් සමඟය.

    ‘එක්තරා ආදර කතාවක්’ චිත්‍රපටයෙහි අන්තර්ගතය ගැන කතා කරමු. 

    සෑම චරිතයක්ම කළු හෝ සුදු චරිතයක් ලෙස නම් කරනවට වඩා එහි සැබෑ ස්වරූපය දිගහරින්නට මේ තුළ මම උත්සාහයක් දැරුවා. මෙහි ප්‍රධාන චරිතය ‘රොහාන්’. සමාජමය බලපෑම් මත ඒ චරිතය තුළ ඇති කළු ස්වභාවය ඉස්මතු වෙනවා මිස ඔහු මුළුමනින්ම කළු චරිතයක් නොවන බව පෙන්වන්නට උත්සාහ කර තිබෙනවා. ‘ආදර භාෂාව’ (love language) පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අපට ජීවිත කාලය පුරාම මුණගැසෙන බැඳීම් තුළ විවිධ ආකාරයෙන් ආදර භාෂාවන් ඉගෙන ගන්නවා. මෙතැනදී රොහාන් ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස්. ඔහුගේ ආදර භාෂාව නිර්මාණය වන්නේ ලෝකයාගේ බලපෑමත් සමඟ. මේ නිර්මාණයෙන් මම උත්සාහ කරන්නේ පිරිමියකුට ලෝකයෙන් සිදු වන බලපෑම් මත ඇතිවන පීඩනය ඔහු හරහා ගැහැනියකට අත්විඳින්නට සිදු වන ආකාරය පිළිබඳවයි. ඒ වගේම උමාගේ චරිතය වෙත සමාජය තුළ අත්විඳින්නට සිදු වන නරක සම්ප්‍රදාය බලපාන ආකාරය මෙහි ඉස්මතු වී තිබෙනවා. සමාජ සම්මතයන්ට අනුව තැළී පොඩි නොවී ගොඩනැඟුණු චරිතයක් ලෙස ඇය, අදහස් කරන්නේ ඕනෑම පීඩාවක් විඳ දරා ගනිමින් පවුල් ජීවිතය තුළ ජීවත් විය යුතුයි යනුවෙන්. එය ඇත්තටම එසේ විය යුතු ද? යන්න මේ තුළින් කතා කරන තවත් පැතිකඩක්.

    පවුල් සංස්ථාවේ පවතින ගැටුමක් වැනි මාතෘකාවක් මේ චිත්‍රපටයට තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවා ද?

    තාරුණ්‍යයෙන් ඔබ්බට ගමන් කරද්දී සමාජ වටපිටාවෙන් අහන්න දකින්න ලැබෙන බොහෝ අත්දැකීම් නිර්මාණකරුවන්ගේ නිර්මාණ හරහා එළි දැක්වෙනවා. එක්තරා ආදර කතාවක් තිර පිටපත රචනා කරන්නට මාත් එක්ක එකතු වෙන්නේ දීප්ති ජයසිංහ. ඇයත් මමත් දෙදෙනාම මේ සමාජ වටපිටාව තුළ දුටු ගැටලුකාරී තැනක් මේ තිර කතාවට එකතු වුණා.

    ගෘහස්ථ හිංසනය ගැන නිර්මාණයක් කරන්න මෑතකාලීනව මගේ හිතේ අදහසක් තිබුණා. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී නිර්මාණය කළ ‘තේ කහට’ මගේ පළමු චිත්‍රපටය නිර්මාණය කරන කාලයේදී දීප්ති මට මේ වස්තු බීජය පිළිබඳ අදහසක් දුන්නා. මූලිකව ඇති වූ අදහස අප දෙදෙනාගේම සාමූහික ප්‍රයත්නයක් ලෙස තිර කතාවක් ලෙස නිර්මාණය කළා.

    බොහෝ නිර්මාණ හැඟීම් එළි දක්වද්දී ඒවා ආවරණය කර ප්‍රේක්ෂකයා වෙත දෙන්න උත්සාහ කරනවා. එහෙත් ඔබ මෙහි පුද්ගල මනෝභාවයන් නිරුවතින්ම එළි දක්වන්න තරම් නිර්භය වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් සඳහන් කළොත්?

    ප්‍රේක්ෂකයෙක් ලෙස නිර්මාණයක් රස විඳීමේදී නිර්මාණයෙහි යථාර්ථය යම් කිසි රසයක් සමඟ දෙනවා නම් සහ එය මට දැනෙන්නට දෙනවා නම් මම වඩාත් කැමැතියි. මම ප්‍රේක්ෂකයන්ට නිර්මාණයක් දීමේදී එහි යථාර්ථය සඟවා මතුපිට ආවරණයක් සහිතව දෙන්නට උත්සාහ කළොත් එයින් ප්‍රේක්ෂකයා වෙත නිවැරදි පණිවිඩයක් ගමන් කරාවි ද යන ගැටලුව ඇති වෙනවා. මෙය නරඹන ප්‍රේක්ෂකයන් එයින් යමක් ග්‍රහණය කර ගන්නවා නම්, තමා ජීවත් වන සමාජය තුළ සිදු වන දේවල් නිවැරදිව අවබෝධ කර ගන්නට අවශ්‍ය කරන දැනුමක් ලබා ගන්නවා නම් එවැනි නිර්මාණයක් වඩාත් සාර්ථක යැයි කියන්නට පුළුවන්. පෞද්ගලිකව එවන් අත්දැකීමක් ලැබෙන්නේ නැතත් තවත් කෙනකු ලබන අත්දැකීමක් වටහාගන්නට හැකි තරම් සංවේදී බවක් මගේ නිර්මාණ ඇසුරෙන් ප්‍රේක්ෂකයා තුළ ගොඩනැඟෙනවා නම්, මගේ බලාපොරොත්තුව එයයි. සෘජුව සහ ආවරණයකින් තොරව මේ නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ලබා දුන්නේ ඒ නිසයි.

    මෙහි ප්‍රධාන චරිත සඳහා අශාන් සහ ක්‍රිස්ටිනා තෝරා ගන්නට විශේෂ හේතුවක් තිබුණා ද?

    අශාන් සහ මම පෞද්ගලිකව මිතුරන්. නාට්‍ය කවවල දී අප මුණ ගැසී තිබෙනවා. ඔහු රංගනයෙන් දායක වූ නිර්මාණ බොහොමයක් මම දැක තිබෙනවා. නාට්‍ය කවවල දී ඔහු එළියට දමන හැඟීම් නිර්මාණ තුළින් නිවැරදිවම අල්ලාගෙන තිබෙනවා ද කියා සිතන තරමට ඔහු හැඟීම් ප්‍රකාශනයෙහි දක්ෂයෙක්. තිර පිටපත සකස් කරන කාලයේදීම මගේ සිතට ඔහු මේ චරිතයට ගැලපෙයි කියන අදහස ඇති වුණා. ඒ අනුව මම ඔහු මේ චරිතයට තෝරා ගත්තා.

    ඒ වගේම තමයි ක්‍රිස්ටිනාව චිත්‍රපටයක් සඳහා සම්බන්ධ කර ගන්නට ‘තේ කහට’ චිත්‍රපටය නිර්මාණය කරන දිනවල සිටම මගේ අදහසක් තිබුණා. ඇගේ මුහුණෙන් දිස්වන භාව ප්‍රකාශනයන් බොහොම ස්වාභාවිකයි. ඒවා මේ නිර්මාණය සමඟ අපූරුවට ගැළපුණා.

    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි තේමාවන්ට ශ්‍රී ලාංකේය සිනමාව තුළ තිබෙන ඉඩකඩ සහ පිළිගැනීම කොහොම ද?

    මේ මාතෘකාව මෙයට පෙරත් සිනමා නිර්මාණ තුළින් බොහෝ දෙනෙක් කතා කළ මාතෘකාවක්. එහෙත් මම එය කතා කළ ආකාරය ඇතැම් විට වෙනස් විය හැකියි. තවදුරටත් ඉදිරියටත් මෙවැනි මාතෘකා පිළිබඳව නිර්මාණ බිහි විය යුතුයි. එහෙත් ඒ නිර්මාණ පෙර සඳහන් කළාක් මෙන් ආවරණයකින් තොරව නිර්මාණය වනවා නම් වඩාත් සාර්ථක වෙයි කියා මම සිතනවා.

    චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොම ද?

    ඉතා විශාල පිරිසක් චිත්‍රපටය නරඹා තිබෙනවා. බොහෝ දෙනා ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කරනවා. සම්මානය හිමි වෙන්නට පෙර කොළඹ අවට පිරිස් අතරට ගොස් තිබූ චිත්‍රපටය මේ වන විට පිට ප්‍රදේශවල ප්‍රේක්ෂකයන් ද විශාල සංඛ්‍යාවකුත් නරඹා තිබෙනවා.

    මට අවශ්‍ය වුණෙත් ලාංකේය සංස්කෘතියට අනුගත සිංහල භාෂාව කතා කරන ප්‍රජාව වෙත මේ චිත්‍රපටය රැගෙන යන්නට. විශේෂයෙන්ම විදෙස් භාෂා කතා කරන පුද්ගලයන්ට වඩා මෙහි අන්තර්ගතය වඩාත් හොඳින් ග්‍රහණය කර ගත හැකි වෙන්නේ සහ වැදගත් වන්නේ ශ්‍රී ලාංකික ජනතාවට. මෙහි කතා කරන්නේ පොදු නමුත් වඩාත් තදින් අපේ සංස්කෘතියට ආවේණික වූ ගැටලුවක් පිළිබඳව. ඒ නිසා ඒ ඉලක්ක ප්‍රේක්ෂකයන් වෙත මේ නිර්මාණය තුළින් ගමන් කරවීමයි මගේ බලාපොරොත්තුව. මේ වන විට එය බොහෝ දුරට සාක්ෂාත් වී තිබෙනවා.

    Agenda 14 සම්මාන උලෙළේ සම්මාන කිහිපයක්ම ‘එක්තරා ආදර කතාවක්’ හිමි කර ගන්නවා. ඒ පිළිබඳවත් කතා කළොත්?

    Agenda 14 සංවිධානය කරන්නේ අනෝමා රාජකරුණා සහ ඇගේ කණ්ඩායම. මෙවර එය පැවැත්වුණේ 10වන වරට. ලංකාවේ සෑම තැනකින්ම චිත්‍රපට විශාල සංඛ්‍යාවක් මෙම සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කර තිබුණා. ඒ අතුරින් හොඳම චිත්‍රපටය, හොඳම තිර පිටපත, හොඳම සංස්කරණය, හොඳම නළුවා සහ හොඳම නිළිය යන සම්මාන සියල්ල එක්තරා ආදර කතාවක් චිත්‍රපටයට හිමි වුණා.

    සිනමාකාරිය කියන රාමුවෙන් මිදුණු විට යශෝධරා කවුද?

    මා තුළ ගොඩක් චරිත ජීවත් වෙනවා. කාලයක් අර්ධකාලීනව ගුරුවෘත්තියේ නියැළුණා. ඊට අමතරව මම මගේ නීති උපාධිය හදාරමින් සිටිනවා. දැනට සන්නිවේදන කළමනාකාරිනියක ලෙස රැකියාවක නිරත වෙනවා. එහි සන්නිවේදන සහ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු වන්නේ මගේ අතින්. ඊට අමතරව මගෙම කුඩා නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා.

    චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස ඉදිරි බලාපොරොත්තු මොනවා ද?

    මම තවමත් නවකයෙක්. ඉදිරියේදී සිනමාව තුළ බොහෝ දේවල් කරන්න බලාපොරොත්තු තිබෙනවා. ඒ සඳහා තවදුරටත් හැදෑරීම් කළ යුතුයි. ඉදිරියේදී තවත් කෙටි චිත්‍රපට කිහිපයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. කෙටි චිත්‍රපට නිර්මාණය කිරීම තුළින් තවදුරටත් සිනමාව පිළිබඳව ප්‍රායෝගිකව හදාරන්නට හැකි බව මම විශ්වාස කරනවා.

    දිල්රූ ජයසේකර

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here