අත්අඩංගුවට ගන්නා මත්කුඩු මහජනතාව ඉදිරියේ විනාශ කිරීමට නීති හදනවා ඇමැති සරත් වීරසේකර

0
29

අත්අඩංගුවට ගන්නා මත්කුඩු වලින් සාම්පලයක් පමණක් නඩු කටයුතු සඳහා රස පරික්ෂකවරයාට යොමුකිරිමට ඉතිරිකර අනෙකුත් තොග ප‍්‍රසිද්ධියේ මහජනතාව ඉදිරියේදී විනාශ කිරීමට හැකිවන පරිදි නීති සම්පාදනය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ ක‍ළේය.

අත්අඩංගුවට ගන්නා හෙරොයින් ඇතුළු මත්කුඩු අධිකරණ ක‍්‍රියාවලිය අවසන් වන විට පිටි බවට පත් කෙරෙන බවට එල්ලවන චෝදනා සලකා බලා මෙසේ විනාශ කිරීමට තීරණය කළ බව ද ඇමැතිවරයා පැවැසීය.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සඳහන් කළේ 2020 වසර තුළ පමණක් ( දෙසැම්බර් 15 දක්වා) රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත මත්කුඩු කිලෝ ග‍්‍රෑම් 2740ක් ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම 2019 දී මත්කුඩු කිලෝ 1841 ක් රස පරික්ෂකවරයාට යවා ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

අත්අඩංගුවට ගත් මෙවැනි මත්කුඩු තොගයක් බාහිර පාර්ශවය අතට පත් වීම සම්බන්ධයෙන් මේ වන විටත් පුද්ගලයන් කිහිප දෙනෙකුට විරුදධව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇති අතර එවැනි වැරදි කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ස්වර්ණා විජේකෝන්,සන්ධ්‍යා කරුණාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here