අපේ ශ්‍රමිකයන් බිය විය යුතු නැහැ

    0
    15

    විදේශ රැකියා නියුක්ති  කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී  මංගල රන්දෙනිය

     

    “මැද පෙරදිග රටවල්  මෙන්ම අලුතින් සොයා ගත්  රැකියා වෙ‍ළෙඳපොළක් වන  ජපානයේ තියෙන රැකියා  ක්ෂේත්‍ර ගණනාවක් සඳහා  අපි ශ්‍රමිකයන් පුහුණු කරවනවා.  ජපානය, මැදපෙරදිග රටවල්, පෝලන්තය හා රුමේනියාව,  රජයේ ගිවිසුම යටතේ  ඊශ්‍රායලයට සාත්තු සේවක  සේවිකාවන් යැවීම තමයි මේ වසරේදී කරන්නේ.”

    විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන මුදල රටේ ආර්ථික වර්ධනයට මහඟු උපකාරයකි. ගෝලීය වසංගත තත්ත්වය එම විනිමය ඉපැයීමේ මාර්ගයද පසුගිය වසරේ අඩාළ කළේය. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මඟින් විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිපුණතා පූර්වකයන් ලෙස පුහුණු කිරීම, සෞඛ්‍යාරක්ෂිතව සේවය කිරීමට දැනුම ලබා දීම, ගුණාත්මක වෘත්තිකයන් බිහි කිරීම, විදේශගත ශ්‍රමිකයන් රජයේ නිරෝධායනය යටතේ මෙරටට ගෙන්වීම ඇතුළු කාරණා රැසක් සම්බන්ධයෙන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සමඟ කළ සංවාදයකි.

     

    l විදේශ විනිමය ගලන ප්‍රධාන මාර්ගයක් වන විදේශ රැකියා ක්ෂේත්‍රය පසුගිය කාලයේ මඳක් පසුබෑමට ලක් වුණා. මේ වන විට එහි අලුත්ම තත්ත්වය?

    කොවිඩ් 19 වයිරස තත්ත්වය සමඟ විදේශ රැකියා ක්ෂේත්‍රය පවත්වාගෙන යෑම සඳහා නව පියවර ගැනීමයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අලුත්ම වගකීම. ඒ වගේම පවතින තත්ත්වය එක්ක ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කොහොමද පිටරටවල ආරක්ෂිත රැකියා ලබා දෙන්නේ කියන කාරණය වෙනුවෙන් තමයි අප දැඩි අවධානයක් යොමු කරලා තිබෙන්නේ. එහිදී ප්‍රධානතම කාරණාව තමයි මේ ක්ෂේත්‍රය පවත්වාගෙන ගිය බලපත්‍රලාභී විදේශ රැකියා නියුක්ති නියෝජිත ආයතන ව්‍යුහය බලගැන්වීම කියන එක. එම ආයතන බලගැන්වීම හා ඒවාට අවශ්‍ය කරන මාර්ගෝපදේශන හා යෙදවුම් ලබා දීලා විදේශ රැකියා ක්ෂෙත්‍රය නගා සිටුවීම වෙනුවෙන් 1985 අංක 21 පනතෙන් ප්‍රතිපාදන සපයනවා.

     

    l විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් විශේෂ කාර්ය භාරයක් ඉටු කරන බලපත්‍රලාභී ආයතනවල සේවාව විධිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද?

    බලපත්‍රලාභී ආයතන තමයි විදේශ රටවල තියෙන ගෙන්වාගනු ලබන ආයතන සමඟ කටයුතු කරලා රැකියා අවස්ථා ලංකාවට ලබා දෙන්නේ. ඒ යටතේ අවුරුද්දකට රැකියා අවස්ථා ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ලබා දෙනවා. එම ප්‍රමාණය ඔවුන් ලබා දුන්නත් කොවිඩ් නිසා අපේ රටට ලැබුණු රැකියා අවස්ථා 50000කට පමණ සීමා වුණා. ඉස්සර නම් ප්‍රවර්ධන කාර්යයන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ සහ ස්වාධීනවත් බලපත්‍රලාභී ආයතන නියෝජිතයන් ගිහිල්ලා අපේ තානාපති කාර්යාලවල තියෙන කම්කරු අංශවල සහයෝගය අරගෙන ඒ රටවල්වල ව්‍යාපාරික ස්ථානවලට ගිහිල්ලා අපේ රටවල්වල ශ්‍රමික ශක්තිය පෙන්වල දීලා රැකියා ඇබෑර්තු ලබා ගන්නවා. 2020 දි එය සම්පූර්ණයෙන්ම අඩාළ වුණා. එහෙත්, මේ 2021 වර්ෂයේදී නැවත එවැනි ප්‍රවර්ධන වැඩකටයුතු කරන්න අවශ්‍ය උපරිම සහයෝගය මේ වන විට ලැබෙනවා. ඒ අනුව බලපත්‍රලාභීන්ගෙන් ඒ අය කාර්යාලවලට කැඳවලා විදෙස් රටවල් සමඟ සම්බන්ධ වෙලා ඒ රටවල්වලට අපේ ශ්‍රමිකයන්ගේ සහයෝගය දෙන්නේ කොහොමද යන කාරණය ගැන හොයන්න අපි උනන්දු වෙනවා. බලපත්‍රලාභීන්ට අවශ්‍ය කරන පහසුකම්, සහයෝගය ලබා දීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒ නිසා බලපත්‍රලාභීන් මේ වන විට අපි එක්ක එකතුවෙලා විදේශ රැකියා සඳහා අපේ ශ්‍රමිකයන් යැවීම වෙනුවෙන් උපරිම සේවාවක් ලබා දෙනවා.

     

    l කොවිඩ් 19 වසංගත තත්ත්වය එක්කම විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට පැවරුණු නවතම අභියෝගය නේද?

    කොවිඩ් තත්ත්වයට ඔරොත්තු දෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු කර පිටත් කිරීම කියන එක අපි ප්‍රතිපත්තියක් විදියට ගත් තීරණයක්. ඒ වගේම විගමනිකයන් පිටරට යවද්දි කුසලතා සහිත වෘත්තීය නිපුණතා ලබා ගත් සහ බලගැන්වුණු ශ්‍රමිකයන් තෝරා ගැනීම කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. කුසලතා සහිත කියන්නේ අදාළ වෘත්තියට ජාතික සහ අන්තර්ජාතික මට්ටමේ පිළිගත් නිපුණතා සහිත ශ්‍රමිකයින් තෝරා ගැනීම. අපි අලුතෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා තියෙනවා අපේ පුහුණු මධ්‍යස්ථානවලදී පුහුණුව ලබා දෙන අවස්ථාවලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව කොහොමද ඉදිරියේදී විදේශ ශ්‍රමිකයන් ක්‍රියා කළ යුත්තේ කියන කාරණාව ගැන. අපි කලිනුත් සෞඛ්‍ය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වපු ආයතනයක්. නමුත්, කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය සමඟ ඒ පුහුණුව සමඟ සෞඛ්‍ය දැනුම්වත් කිරීම් තවත් දැඩි අවධානයකින් යුතුව ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා. අපි පාඨමාලා ක්‍රියාත්මක කිරීමේදී පුද්ගල සංචරණ සීමාවන් සලකා බලමින් අවම ප්‍රමාණයෙන් සාමාජිකයන් ගෙන්වාගෙන පාඨමාලා පැවැත්වීම ගැන දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඕනෑම අවස්ථාවක මධ්‍යස්ථානවලට පැමිණෙන්න අවස්ථාව දීලා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය දැනුම දීමට පුහුණුකරුවන් යොදවලා තිබෙනවා. අදාළ වෘත්තීය කටයුතු කිරීමේදී ජාතික වෘත්තීය නිපුණතා සහිත අය ලෙස රැකියාවලට යන්න අවශ්‍ය සියලු මඟපෙන්වීම් අපි කරනවා.

     

    l ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ වන විට විවෘත වෙලා තිබෙන අලුත් රැකියා වෙළෙඳපොළ මොනව ද?

    මැද පෙරදිග රටවල් මෙන්ම අලුතින් සොයා ගත් රැකියා වෙ‍ළෙඳපොළක් වන ජපානයේ තියෙන රැකියා ක්ෂේත්‍ර ගණනාවක් සඳහා අපි ශ්‍රමිකයන් පුහුණු කරවනවා. ජපානය, මැදපෙරදිග රටවල්, පෝලන්තය හා රුමේනියාව, රජයේ ගිවිසුම යටතේ ඊශ්‍රායලයට සාත්තු සේවක සේවිකාවන් යැවීම තමයි මේ වසරේදී කරන්නේ. ඒ රටවල්වල තිබෙන නව රැකියා වෙළෙඳපොළවල් අපි නිරීක්ෂණය කරලා තිබෙනවා. ඒවාට ගැළපෙන ශ්‍රමිකයන් අපි සූදානම් කරනවා. ඊශ්‍රායලය සහ අපේ රට ගිවිසුම ප්‍රකාරව අපි අපේ ශ්‍රමිකයන් යැවීම පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වනවා.ඒ වගේම ඔවුන්ට අවශ්‍ය භාෂා දැනුම ලබා දීමට අවශ්‍ය අධ්‍යන කටයුතු ලබා දෙමින් දැනට විවෘතව තිබෙන රැකියා වෙළෙඳපොළ ඇති ඒ ඒ රටවල අවශ්‍යතාවයට සහ නිර්ණායකයන්ට සරිලන ශ්‍රමිකයන් පුහුණු කිරීම සහ පිටත් කර හැරීම යන වගකීම් අපි නිසි අයුරින් ඉටු කරනවා.

     

    l ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම කොයි තරම් ප්‍රමාණයකට අඩු වුණා ද?

    කලින් වසරවලට වඩා 2020 වසරේදී අපි ශ්‍රමිකයන් යවපු ප්‍රමාණය අඩු වුණා. ඒ කියන්නේ 25%ක් පමණ තමයි ශ්‍රමිකයන් යවන්න පුළුවන් වු‍ණේ. එය ප්‍රමාණාත්මකව 30%ක් දක්වා මේ වසරේදී වැඩි කර ගැනීමයි අපේ ඉලක්කය. මුලින්ම කියන්න ඕනෑ බලපත්‍රලාභීන්ට අවශ්‍ය කරන පහසුකම්, සහයෝගය ලබා දීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සහ නිසි පුහුණු වෘත්තීය ශ්‍රමිකයන් පිටත් කර හැරීම යන කාරණා දෙක කෙරෙහි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අවධානය යොමුවෙලා තිබෙන බව. මෙතැනදි ඒ කාරණා දෙක ගුණාත්මකව වැඩි දියුණු කරලා ප්‍රමාණාත්මකව අවුරුද්දකට ලක්ෂ දෙකහමාරක ශ්‍රමිකයන් පිටත්ව ගිය එක මේ වසරේදී එකවර වැඩි කර ගන්න බැරි වුණත් අඩුම තරමේ සියයට පනහක් හැටක් අතර ප්‍රතිශතයටවත් ගෙන එන්න 2021 වසරේ දී රජය බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මේ වසරෙත් මේ වනවිටත් ශ්‍රමිකයන් විදේශ රටවලට යවනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම්, සෞඛ්‍යාරක්ෂණ දැනුම සපයලා අපේ ලියාපදිංචිය ඇතිව යවන්නත් අපි වගකීම අරගෙන තිබෙනවා. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක වුණත් විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට වත්මන් රජය මැදිහත් වෙනවා. ඒ වගකීම දරන නිසා අපේ ශ්‍රමිකයන්ට බියවිය යුතු කාරණයක් නැහැ.

     

    l විදේශ රැකියා හරහා මෙරටට ලැබුණු විදේශ විනිමයේ හදිසි අඩු වීම රටේ ආර්ථිකයට බලපෑවා?

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වසරකට ශ්‍රමිකයන් ලක්ෂ 10කට විතර ආසන්න ප්‍රමාණයක් ඔවුන් හම්බකරන මුදල් ලංකාවට එවනවා. කොවිඩ් තත්ත්වය නිසාම ශ්‍රමිකයන් ලංකාවට පැමිණියා කියන එක වැරදියි. හැම අවුරුද්දකම යම්කිසි ශ්‍රමිකයන් ප්‍රමාණයක් ඔවුන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් අවසන් වුණාම මවුරටට පැමිණෙනවා. ඒ එන ශ්‍රමිකයන් ප්‍රමාණයට සරිලන හෝ වැඩිපුර ශ්‍රමික පිරිසක් ලංකාවෙන් නැවත විදේශ රටවලට පිටත්කර හැරෙනවා. ඒ පිටත්වන ප්‍රමාණය තමයි ගිය වසරේ අඩු වුණේ. අපේ රටට ලැබුණු විනිමය ප්‍රමාණය තිබුණාට වඩා සියයට 2ක් විතර අඩු වුණා. එය බරපතළ අඩුවීමක් නොවෙයි. දැනට විදේශගතව සිටින ශ්‍රමිකයින් තමන්ගේ මුදල් ලංකාවට එවන නිසා ලොකු විනිමය පාඩුවක් වෙලා නැහැ. 2021 දී මේ අහිමි වුණු සියලුම දේවල් අපේ ඉදිරි වැඩ පිළිවෙළ හරහා නැවත ලබා ගන්නවා.

     

    l විදේශයේ සිට මව්රටට පැමිණෙන්න බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනව ද?

    ශ්‍රී ලංකාවට එන්න බලාපොරොත්තු වන අය කඩිනමින් ගෙන්වීමට අවශ්‍ය නිරෝධායන කටයුතු රජය සපයනවා. විදේශයේ සිට එන ශ්‍රමික පිරිස සෞඛ්‍යාරක්ෂිත නොවුණොත් අපේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක්. රජයක් විදියට වගකීමක් තිබෙනවා ඔවුන් පැමිණි පසු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට, සමාජයට කරදරයක් නොවන්නට වග බලා ගැනීම. නිරෝධායනය අනිවාර්ය නීතියක්. ඒ වගේම නිරෝධායනයට තිබෙන පහසුකම් ප්‍රමාණය අනුවයි ගෙන්වන පිරිස තීරණය කෙරෙන්නේ. ඒ පහසුකම් රජය උපරිමයෙන් යොදවලා තමයි ශ්‍රමිකයන් ගෙන්වන්නේ.ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම කියන කාරණයේදී රජය නොමිලේ ලබා දෙන නිරෝධායනය මඟින් විගමනික ශ්‍රමිකයින් වෙනුවෙන් දින 14ක නිරෝධායනයත් පීසීආර් පරීක්ෂණත් ලබා දෙනවා. එහිදී රජය ලබා දෙන නොමිලේ නිරෝධායනය ලබා ගැනීම කැමැත්තක් දක්වන ශ්‍රමිකයන් ඒ සඳහා අවශ්‍ය කරන පියවර සහ උපදෙස් අනුගමනය කරන්න කියලා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ඉදිරියේදී මෙරටට පැමිණෙන්න අපේක්ෂාවෙන් සිටින විදේශ ශ්‍රමිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. මෙහිදී ගෙවලා නිරෝධායනය වෙන්න කැමැති පිරිස අතරට එකතු වෙන්න එපා කියලා අපි විශේෂ ඉල්ලීමක් කරනවා. ඒකට හේතුව තමයි ගෙවලා නිරෝධායනය වෙන්න කැමැතියි කියන පිරිසට එකතුවෙලා ලංකාවට ඇවිත් ගෙවන්න බැහැයි කියලා කිව්වොත් ජාතික කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් අනුගමනය කරන විද්‍යාත්මක ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා. එය උල්ලංඝනය කරන්න සිද්ධ වීම සමාජයට බරපතල හානියක් සිද්ධ වෙනවා. වගකීමක් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලෙස සිතා බලා රජය නොමිලේ දෙන නිරෝධායන සේවාව ලබා ගන්නා ලෙස අප ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා. තමුන්ට ගෙවන්න බැරිනම් ගෙවා නිරෝධායනය ලබා ගන්නා බවට වැරදි තොරතුරු ඉදිරිපත් කරන්න එපා. යම් හෙයකින් එසේ පැමිණියහොත් තමා ඉල්ලා සිටි පරිදි නිරෝධායනය වෙනුවෙන් ගෙවීමට සිදුවෙනවා. ඒ නිසා තමන් පිටත්වන රටේදීම සත්‍ය තොරතුරු ලබා දීලා මව්රටට පැමිණෙන ලෙස අපි තරයේ ඉල්ලා සිටිනවා.

     

    l සහන පියස, කටුනායක සහ මත්තල ගුවන්තොටුපළෙහි සේවාවන් පෙර පරිදිම ක්‍රියාත්මක වෙනව ද?

    ඔව්. අපේ දෛනික රාජකාරි කොවිඩ් 19 තත්ත්වය නිසා අඩාල කරන්නේ නැහැ. පෙර ලෙසම ඒවා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මාර්ගගත ක්‍රමයට පැමිණිලි ලබා දීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මඟින් ජනතාවට අවස්ථාව සලසා දීලා තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් රට පුරා පිහිටි පළාත් කාර්යාල, දිස්ත්‍රික් කාර්යාල, පුහුණු මධ්‍යස්ථාන යන සියලුම කාර්යාලවල සේවාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රියාත්මක වෙනවා.

     

    චින්තා රණසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here