ආර්ථිකයට ශක්තියක් දෙන නව මූල්‍ය ප්‍රතිපත්තියක්

    0
    8

    “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය කොවිඩ් 19 වසංගතය හමුවේ  බිඳ නොවැටී  සාර්ථකව නැඟී සිටීමට සමාජීය ආර්ථික වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත.  එය සෞභාග්‍යයේ දැක්ම වේ.”

    කොවිඩ් – 19 ගෝලීය වසංගතය ඇතුළු දෙස් විදෙස් අභියෝග රාශියක් ජයගනිමින් ‍ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියට රැගෙන යෑමට ශක්තිය සහ මඟපෙන්වීම් ලබාදෙන මූල්‍ය ප්‍රතිපත්තියක් මේ වසර සඳහා (2021) ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කරයි.

    වසර 2020 ශ්‍රී ලංකා ආර්ථික‍යේ මන්දගාමී වූ වර්ධනය පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරියේ එනම් 2021 සහ මැදිකාලීන කාල රාමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනයක් අත්කරගන්නා තැනට රැගෙන යෑමට ඉවහල්වන මූල්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා‍ දෙමින් අධිපතිවරයා මේ බව කියා සිටී.

    වසර 2021 මුදල් හා මූල්‍ය ප්‍රතිපත්තිය කොටස් 3ක් යටතේ මහබැංකු අධිපතිවරයා විසින් එළිදක්වන ලදී. එහිදී වසර 2020 ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දුන් අභියෝග සහ එය ජය ගැනීමට ක්‍රියා කළ ආකාරය ද වසර 2021 ඉදිරි මූල්‍ය ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික වැඩපිළිවෙළ ද එය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හා සහයෝගයෙන් වැඩ කළ යුතු ආයතනවල දායකත්වය පිළිබඳව ද කරුණු දක්වා තිබිණි.

    මෙහිදී වසර 2020 ශ්‍රී ලංකා ආර්ථිකය මුල් කාර්තුවේ සිට ඉදිරියට පැමිණි අනෙකුත් කාර්තු තුන පිළිබඳව සමස්ත විග්‍රහයක් ඉදිරිපත් කර ඇත. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ තුන්වැනි කාර්තුවේ සිට පෙර වසරට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් සිදු වේ යැයි සිතිය හැකිව තිබූ මොහොතක අනපේක්ෂිතව කොවිඩ් දෙවැනි රැල්ල නිසා එය යළිත් ආපස්සට තල්ලු වූ ආකාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් ද කර තිබේ. එතැනින් නොනැවතී ඉදිරි වසර 2021 සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව මූල්‍ය අංශයේ ප්‍රගමනයක් අත්පත් කර ගනිමින් ඉදිරියට යා යුත්තේ කෙසේදැයි විමසා බැලීම මේ මොහොතේ කාලෝචිතය.

     

    ඍජු විදේශ ආයෝජන

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජය කොවිඩ් වසංගතය හමුවේ බිඳ නොවැටී සාර්ථකව නැඟී සිටීමට සමාජීය ආර්ථික වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇත. එය සෞභාග්‍යයේ දැක්ම වේ. මෙම දැක්ම අපේකමට, ස්වදේශිකත්වයට මුල්තැන දෙමින් පාරම්පරික කෘෂිකර්මාන්තය, ස්වදේශික කර්මාන්ත නැවත වතාවක් වැඩි වේගයකින් බලගන්වා ‍ඒ මඟින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සමස්ත රටවැසි ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීම ඉලක්කකොට ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ අප 2021 සඳහා ඉදිරිපත් කරන මූල්‍ය ප්‍රතිපත්තියේ සහ උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණු ද ඉලක්කය ද රජයේ අපේක්ෂා සමඟ සමපාත වන අයුරින් හඳුන්වාදී ඇත.

    ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව ඕනෑම රටකට මේ මොහොතේ අත්‍යවශ්‍ය වන්නේ ඍජු විදේශ ආයෝජන හැකි තරම් දිනාගැනීම වන අතර, දේශීය ආයෝජන ද විශාල වශයෙන් ඉහළ නංවා ගැනීමය. ඒ සඳහා ආයෝජන මිත්‍රශීලී රාජ්‍ය පරිපාලන, යටිතල පහසුකම් සංවර්ධන, බදු හා මූල්‍ය සේවා පහසුකම් වැඩි දියුණු කළ යුතුය. ශ්‍රී ලංකාව මේ බව මනාව තේරුම් ගෙන මෙරටට පැමිණෙන දෙස් විදෙස් ආයෝජකයින්ගේ විශ්වාසය උපරිම ආකාරයෙන් දිනාගැනීමට හැකිවන ආකාරයෙන් වඩාත් විනිවිද පෙනෙන වසර 5ක් වත් නොවෙනස්ව පවතින සරල බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇත. එමෙන්ම රජයේ ආදායම වැඩි කර ගැනීමට කාර්යක්ෂම බදු පරිපාලනයක් සහ ඒ සඳහා වූ ප්‍රතිසංස්කරණ මාලාවක් යෝජනාකොට ඇත. මෙය ඉතා වැදගත් කරුණකි.

     

    ජගත් මූල්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයක්

    ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට අතිරේකව තවත් විශාල භූමියක් කොළඹ වරාය නගරය ලෙස ඉදිවෙමින් පවතී. එය ශ්‍රී ලංකාව අන්තර්ජාතික තලයේ පහසුකම් සහ ආකර්ෂණය දිනාගන්නා ජගත් මූල්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමට ඉලක්කකොට ඇත. අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවේ ස්වර්ණමය යුගය සනිටුහන් වනුයේ මෙම අන්තර්ජාතික මූල්‍ය නගර මධ්‍යස්ථානය මුල්කොටගෙන බව අමුතුවන් කිව යුතු නොවේ. ඒ අනුව එය වඩාත් වේගයෙන් දියුණු කිරීමට බලපාන සහ ශක්තිය සපයන මූල්‍ය ප්‍රතිපත්තියක් අද පටන් කෙටිකාලීන, මැදි කාලීන පමණක් නොව දිගු කාලීනව ද ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව සූදානම් බව කිව යුතුය.

    අනාගත ගෝලීය මූල්‍ය අවශ්‍යතා අනිවාර්යයෙන්ම නූතන තාක්ෂණය පදනම් කරගෙන බිහිවනු ඇත. එය ඩිජිටල් කරණය වූ ලෝක තත්ත්වයකි. මෙම තත්ත්වයට ශ්‍රී ලංකාවේ අප ද පත් කර ලීමට අවශ්‍ය මගපෙන්වීම් ඩිජිටල් මුදල් භාවිතය යන තැන පටන් ඉන් ඔබ්බට සූදානම් කිරීමට මහ බැංකුව වගබලා ගනී.

    ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරන අංශයක් වනුයේ සුරැකුම් වෙළෙඳ පොළයි. මෙරට සුරැකුම් වෙළෙඳ පොළ හරහා රජයට අවශ්‍ය මුදල් ලබාගැනීමට මහ බැංකුව කටයුතු කරයි. එහිදී වඩාත් කාර්යක්ෂම අඩු පිරිවැය සහ විනිවිද භාවයෙන් යුතු ගනුදෙනු හරහා එහි කටයුතු ඉටු කිරීමට නව තාක්ෂණය එක් කිරීම කෙරෙහි මහ බැංකුව අවධානය යොමුකොට ඇත. අන්තර්ජාලය පදනම් කර ගනිමින් භාණ්ඩාගර බිල්පත් වෙන්දේසි ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගනිමින් සිටී.

     

    සංවර්ධන ණය

    මෙරට බැංකු පද්ධතියෙන් වැඩි වැඩියෙන් සංවර්ධන ණය ලබාදීම සඳහා කටයුතු කිරීම අනිවාර්යය තත්ත්වයක් බවට පත්ව ඇත. කොවිඩ් වසංගතය ඇතුළු ආර්ථිකයේ බිඳ වැටුණු හේතු ගණනාවකින් පෙළෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා සහ ඉන් ඉදිරි ව්‍යවසායක තීරයන් නැවත නඟාසිටුවීම සඳහා අත දීම් සිදු කළ යුතුය. ඒ අනුව වඩාත් ශක්තිමත් වූ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීමේ යෝජනාව රජය ඉදිරිපත් කර ඇත. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ජාතික නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඉක්මනින්ම ඒකාබද්ධ කොට ජාතික සංවර්ධන බැංකු සංස්ථාව ලෙස නව ආයතනයක් ගොඩනැගෙනු ඇත. මෙය මෙරට සංවර්ධන බැංකුකරණයේ අලුත් යුගයක උදාවක් ලෙස නම් කළ හැකිය.

    මෙම බැංකු සංස්ථාවට අමතරව ප්‍රාදේශීය සංවර්ධනය වඩාත් වේගවත් කිරීම සඳහා මූල්‍ය විනය සහ මූල්‍ය සාක්ෂරතාව ග්‍රාමීය ජනතාවගේ වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත. එහිදී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

    ප්‍රාදේශීය සංවර්ධනය හරිත ගම්මාන සංකල්පය ඔස්සේ වඩාත් පරිසර හිතකාමීව ජනතාවගේ ආර්ථිකය නංවන තත්ත්වයකට යොමු කෙරේ. ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීම මඟින් ඉතිරිකිරීම් හා ආයෝජන වැඩි කිරීම සිදුකෙරේ. එපමණක් නොව ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ක්‍රියාකාරීව කටයුතු කරන මූල්‍ය ආයතන දැඩි අධීක්ෂණයකට ලක් කළ හැකි අයුරින් නව අණ පනත් ඉදිරිපත් කරමින් මෙම අංශ‍ෙය් පවතින අවිධිමත් භාවය දුරු කිරීමට කටයුතු කරනු ඇත.

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් විට සේවක අර්ථසාධක අරමුදල් වැනි රජයේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට වැඩි වැඩියෙන් ආයෝජන සිදුවන තැන්හි වැඩි ප්‍රතිලාභ ඒවායේ සාමාජික සාමාජිකාවන්ට ලැබෙන පරිදි වඩාත් ඵලදායි සහ ලාබදායී ලෙස ඉටු කිරීමට මහ බැංකුවට උපදෙස් ලබාගැනීමට විශේෂ කමිටු සහ ක්‍රමවේද මාලාවක් ක්‍රියාවට නැංවීමට මුලපුරා ඇත.

    ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින පිරිස ඉන් ගලවා ගැනීමට කටයුතු යොදන අතර, බැංකු හා මූල්‍ය ආයතන මගින් ණය ලබාගැනීමේ දී විශේෂයෙන් අපහසුතාවට පත් වන පිරිසට සහාය වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් මූල්‍ය පාරිභෝගික සේවා කවුළුවක් ආරම්භ කොට ජනතාවට උදවු කිරීමට සැදී පැහැදී සිටී.

    මේ අනුව වඩාත් පහසුවෙන් බැංකු හා මූල්‍ය සේවා ලබාදීමට හවුල්කාරිත්ව ආයතනවල නියෝජිතයින්ගේ එකතුවකින් යුතු විසඳුම් සපයන තනි මධ්‍යස්ථානයක් බිහිවීම සිදු වේ. එය නව ආයෝජනයක් සිදු කරන හෝ පවත්නා ව්‍යාපාරයක් දියුණු කිරීමට මාන බලන ව්‍යවසායක පරපුරට ඉදිරියෙන් ඉදිරියට යෑමට ලබාදෙන විශාල ශක්තියක් වනු ඇත.

     

    ණය යෝජනා ක්‍රම‍

    මේ අවස්ථාවේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ තවත් සේවාවක් පිළිබඳව කෙටියෙන් හෝ සඳහන් කළ යුතුය. එය නම් කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ඉකුත් වසරේ මුල් කාර්තුවෙන් පසුව බිඳ වැටුණු ව්‍යාපාර යළි ශක්තිමත්ව ගොඩනැගීමට රජය ලබාදුන් සෞභාග්‍යා ණය යෝජනා ක්‍රම‍ය අදියර තුනක් යටතේ රුපියල් බිලියන 180ක මුදලක් ණයලාභීන් 62000ක් සඳහා ලබාදීමට කටයුතු කර ඇත.

    මෙලෙස හැකි තරම් වේගවත්ව අඩු පොලී අනුපාතයක් යටතේ ව්‍යවසායකයන්ට අත දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව, විශේෂිත බලපත්‍රලාභී වානිජ බැංකු සහ සංවර්ධන බැංකු කටයුතු කර ඇත. එය තවදුරටත් ජනතාවගේ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීමට හැකිවන අයුරින් ඉදිරියේදී කටයුතු කළ යුතුව ඇත. මෙය අනිවාර්යෙන්ම කළ යුතු ක්‍රියාවකි. ඊට ද අවශ්‍ය ශක්තිය සහ මඟපෙන්වීම 2021 මූල්‍ය ප්‍රතිපත්ති පෙර දැක්ම තුළින් ජාතියට හඳුන්වාදීමට මහ බැංකුව කටයුතු කොට ඇත. මේ සියලු බලගැන්වීම්, දිරිදීම් ඔස්සේ අවසානයේ අප සියලු දෙනා බලාපො‍ෙරාත්තු වනුයේ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක්, ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැඟීමය. ඊට අවශ්‍ය කැපවීම සහ අවංකකම පෙරදැරිව පෙරදාටත් වඩා උනන්දුවෙන් වගවීමෙන් ක්‍රියා කිරීම සියලුදෙනාගේ අධිෂ්ඨානය විය යුතුය. එවැනි අධිෂ්ඨානයක් සහිත ජාතියක් ඕනෑම අභියෝගයක් හමුවේ පසු නොබසින බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජයග්‍රහණ‍ය නොව එවන් පිරිසකගේ කැපවීම විජයග්‍රහණයකින් වුව නිම නොවේ.

     

    ජයසිරි මුණසිංහ

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here