ඉඩම් ලියාපදිංචිය ඩිජිටල් සේවාවක් වෙයි e-land මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාවට

0
29

 

ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත් කරමින් ඊ-ඉඩම් ( e-land) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම පෙරේදා (4) කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම පියවර ලෙස ආරම්භ කළ මෙම ක්‍රියාවලිය මේ වසර අවසන් වන විට රට පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45ක ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සඳහන් කරයි.

මෙම සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, රෙජිස්ට්‍රාර් ජනරාල් කේ. ජී. ධර්මතිලක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු මහින්ද බී හේරත්, අධ්‍යක්ෂ – වැඩසටහන් කාංචන තුඩුගල, අධ්‍යක්ෂ -නීති ජයන්ත ප්‍රනාන්දු , ප්‍රධානි – අධ්‍යක්ෂ වැඩසටහන් ගවෂ් සුබ්‍රමනියම් යන මහත්වරුන් ඇතුඑ පිරිසක් සහභාගී වුහ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණික සහාය ඇතිව සකස් කර තිබෙන මෙම නව මෘදුකාංගයෙන් ඉඩම් හා දේපළ ලේඛන අතින් ලියාපදිංචි ක්‍රමවේදය වෙනුවට මෘදුකාංගයක් මඟින් ලේඛන ගත කිරීම ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීම සිදු කෙරේ.

මෙම නව පරිගණක ක්‍රියාවලියෙන් උක්ත සේවාවන් හි කාර්යක්ෂමතාව මෙන්ම සුරක්ෂිතතාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ. මෙමඟින් මහජනතාව වෙත පහසුකම් රැසක් හිමි වීමට නියමිතය.

තවද පැවති ක්‍රමයේ අඩුපාඩුකම් අවම කර ගත හැකි අතර, අනාගතයේදී ඩිජිටල් පත්ඉරු ලබා ගැනීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ඉහළ නංවා දේස් විදෙස් ආයෝජන දිරිගැන්වීමෙන් සමස්ත ආර්ථිකය ශක්තිමත් කිරීමද මෙහි ප්‍රමුඛ අරමුණක් බව එම නියෝජිතායතනය පැවසීය.

පහන් විජේ‍සේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here