එලෝ – මෙලෝ පොල්

    0
    15

    පොල් පිළිබඳ එලෝ පොල් පෙනෙන කතා මේ දිනවල ඇසේ. වෙළෙඳපොළේ මාළු පොල් හෙවත් ආහාර පිසීමේදී එක්කර ගන්නා පොල්වල මිල තරමක් වැඩිවීම ඊට හේතුවූ සැටියකි. ඒ අතර පොලුත් පිටරටින් ගෙන්වන්නට තතනන වගටද කසුකුසුවක් වේ. ඉන් පොල් වගාකරුවා කබලෙන් ළිපට වැටෙනු ඇතැයි ඇතැම්හු මැසිවිලි නඟති.

    මේ කයිවාරු ගසන හුඟ දෙනෙක් කප්රුක ලෙසින් සැලකෙන පොල් ගස ඉදිරි පරපුර වෙනුවෙන් රැක ගන්නට යන්තමින්වත් දායක වූවෝද? සැබැවින්ම බොහෝ දෙනකු එසේ නොවේ. බොහෝ ගෙවතුවල කේඩෑරි වූ කනාටු පොල් ගස් ඒ වගට සාක්ෂි දරයි. ඒ හුගක් ගස්වලට කිසිම සාත්තු සප්පායමක් නැත.

    එහෙත් හුඟ දෙනෙක් කුඩාවට පලදරන පොල් ගෙඩි කිහිපය හෝ කෙකි බලට්ටකින්වත් කඩා වඩා ගන්නට නම් අමතක නොකරති. ඒ අපේ ඇතැමුන් පොල් ගසට කළගුණ සලකන සැටිය. ඔහේ කැලෑ වැවී වල් බිහි වී ගිය වතු දෙස බලමින් ඇල්මැරුණු කම්මැලිකමෙන් කාලය ගෙවනා හුඟ දෙනකු සිටින්නේ අප අතරමය.

    ඉදින්, සංවර්ධනය එකකි. කප්රුක තවෙකකි. සංවර්ධනයට හා පුරා කියා මුලින්ම බිලි වන්නේ පොල් ගස නම් ඒ පිළිබද රටක් වශයෙන් අප දෙතුන් වරක් සිතා බැලිය යුතුව ඇත. ඇත්තෙන්ම පොල් ගස් මුලිනුපුටා දමමින් ඉඩකඩම් කට්ටි කර විකිණෙන ලෑන්ඩ් සේල් ව්‍යාපාරයදැඩි නීති රීති මැද වුවද තවම ගජරාමෙට පොල් බහුලව වැඩෙන ප්‍රදේශවලද සිදු වෙයි.

    ඒ ඒ මුදලාලිලාට නම් එය ධන නිධානයක් වනු ඇත. එහෙත් මතු පරපුරට ඉන් වන්නේ අවැඩකි. ඉනික්බිතිව පොල් ගෙඩියක්වත් අඩුවට මිලට ගන්නට නැතැයි ආඩපාලි කීමෙන් ඇති ඵලක්වේද?

    තවද, ශ්‍රී ලාංකිකයෝ තුන්වේල බත් අනුභවයට හුරු පුරුදුකම් ඇත්තෝය. ඊට මාළු පිනි ඕනෑය. ඒවා කිරෙන් රස ගැන්වෙන්නේ පොල්වලිනි. එසේම බත්පතට එන කෘමි නාශක, විෂ රසායනවල අගුණ බොහෝ සෙයින් අකාමකා දමන්නට පොල් කිරි බලවත් වග හෙළි වී ඇත.

    පොල් කුරුට්ටෙහි මව්කිරිවල අඩංගු ඇතැම් පෝෂණ ගුණ ඇතැයිද සොයාගෙන තිබේ. පොල් වතුරේ ගුණ කන්දරාව පිළිබඳද තවම හුඟ දෙනෙක් නොදනී. ඒ ගුණ කෘත්‍රිම පොල්කිරිවලින් නම් පිරිමැසෙන්නේ නැත. ඉවත දමන්නට කිසිම කොටසක් පොල් රුකේ නැත. ඒ තරමටම ඉන් මිනිසාට අත්වන සෙත සුවිශාලය. රුපියල් බිලියන 125ක් පමණ රට සල්ලි වාර්ෂිකව මෙරටට උපයා ගැනීමට පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිසා හැකියාව ලැබේ. සුළු හා මධ්‍ය පරිමාණ විවිධ කර්මාන්ත 4000ක් පමණ පණ ගැන්වෙන්නේ පොල් ගස නිසාය. ඉන් එදාවේල සරිකර ගන්නා ජනී ජනයා අතිබහුතරයකි.

    මෙරට ජනතාවට පරිභෝජනය සඳහා වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3000ක් පමණ ඕනෑය. එහෙත් පසුගිය වසරේ අස්වනු ලැබී තිබුණේ තරමක් අඩුවෙනි. සොබාවික හේතු ඊට මූලික වී තිබේ. එය පොල් ආශ්‍රිත කර්මාන්තවලට නරකට බලපායි. එහෙත් අගය එකතු කොට කෙරෙන අපනයනවලට ඉන් බාධා නොවිය යුතුය. වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 1000ක් ඒ සඳහා අවශ්‍ය වෙතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ සැකසුම් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ, පී. එදිරිමාන්න මහතා අවධාරණය කරයි.

    මේ අනුව, පොල් කඩ පොළෙන් මිලදී ගෙනා පලියට ඒවා අපතේ හරින්නට පුරවැසියන්ට යුතු නොවේ. පොල් කටු අඩු වියදමින් බලශක්ති උත්පාදනයට කදිම මඟකි. පොල් කුඩු ආදියෙන් රටට ගත හැකි වැඩ කන්දරාවද සුළු පටු නැත.

    එහෙත් ගම් – නගර මට්ටමෙන් ඒවා එක්රැස් කරගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඊට නිසි ක්‍රමවේදයක් සැකසීම ඉතා කාලෝචිත වනු ඇත. දැනටමත් ලාංකේය පොල් වතුර ඇබිත්තට මෙන්ම තැඹිලි ගෙඩියට පිටරටින් ලැබෙන ඉල්ලුම ඉතා ඉහළය.එවන් වැඩ පිළිවෙළ ඔස්සේ සීමිත පොල් සම්පතින් අපට රටක් වශයෙන් අසීමිත වැඩ ගත හැකිය.

     

    නුවන් ජයවික්‍රම

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here