ජනතා වගකීම් වලින් මේ ආණ්ඩුව දැන් නිදහස් වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

0
33

ජනතා වගකීම් වලින් බැහැර වී වත්මන් ආණ්ඩුව මේ වනවිට ඒකාධිපති ගමනක් යෑමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙ‍ම මෙසේ ද කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනඥයෙක් නොවන හින්දා ඔහු ජනාධිපති වුණාට පසුව රටේ දැනෙන වෙනසක් ඇති වෙයි කියල රටේ ජනතාව හිතුවා. නමුත් වසරක් ගෙවෙන මේ පාලන කාලය දිහා බැලුවම මේ රටේ සුවිශේෂි කඳවුරු කිහිපයක් බිඳ වැටිල තියෙනවා. එදා 2015 ජනවාරි 08 ට පෙර නොතිබූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යහපාලනය තුළින් ලබා දුන්නා. නමුත් පහුගිය වසර අවසන් වනවිට එය ජනතාවගෙන් අහිමි වී ගියා. ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයක ආරම්භය වෙනුවෙන් 20 වැනි සංශෝධනය අරගෙන ආවා. ඒ තුළින් ජනතාවට වග නොකියන නායකයෙක් බිහිවන බව අද පෙනී යනවා.

දිස්ත්‍රික් ලේකම්වරු කියන්නේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්. අද දිස්ත්‍රික් ලේකම්වරයා වෙනුවට මේ තියෙන පරිපාලනය හමුදා නිලධාරීන් 25 දෙනකු ලබා දීමට තීන්දු කිරීම හරහා තමන්ගේ අණසක පතුරුවා ගැනීම මේ ආණ්ඩුවේ එක් ව්‍ය‍පෘතියක් වී තිබෙනවා. මෙතෙක් කල් අඩුපාඩුවක් තිබුණා නම් එය හදා ගන්නවා විනා දිස්ත්‍රික් ලේකම්ගේ තනතුරට පරිභාහිරව හමුදා නිලධාරීන් පත් කිරීම ඒකාධිපති ගමනක ආරම්භයක්. අපිට සැකයක් තියෙනවා ඉදිරියේ දී අති‍රේක මැතිවරණ කොමසාරිස්ගේ බලය වෙනුවට ඒ සඳහාත් හමුදා නිලධාරියෙක් පත් කරල ඔවුන්ගේ පරිපාලනය යටතට ගනීවිද කියල?

මේ 2015න් අවසන් කරපු දේශපාලන විනාශය නැවතත් රටට ගේන්න ද හදන්නේ? යහපාලන කියන සංකල්පයට ගරු කරන දේශපාලන ක්‍රමයකට අවතීර්ණ විය යුතු බව අපි මතක් කරනවා. මේ වසරේ තියෙන අභියෝග, ඉල්ලීම් වෙනුවෙන් එළියට බහින්න තියෙන අයිතිය නැති කරන්නද මේ හමුදා නිලධාරීන් පත් කරන්නේ? මොකද ජනතා වගකීම් දැරීම් වලින් මේ ආණ්ඩුව දැන් නිදහස් වෙලා ඉන්නේ. එතනින් ඔබ්බට යන විට ජනතා ඉල්ලීම් මැඩ පවත්වන්න හමුදා නිලධාරීන් යොදා ගන්න බව පේනවා. වහාම ඒක නතර කරන්න කියල අපි ආණ්ඩුවට මතක් කරනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා –

අපිට විශාල වශයෙන් විදේශ විනිමය උපයා දෙන්නේ මැද පෙරදිග වගේම අනිකුත් රටවල රැකියා වලට යන අපේ ජනතාව. මේ කොරෝනා වසංගතය හින්දා ඔවුන් දැන් දැඩි දුෂ්කරතාවයකට පත් වෙල ඉන්නේ. මේ රටවිරුවෝ ලංකාවට ගෙන්වීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්න කියල අපි නිරන්තරයෙන් ආණ්ඩුවට කිව්වා. නමුත් රජය මේ ගැන නිසි අවධානය යොමු කරන්නේ නැහැ. ඔවුන්ට තියෙන ප්‍රශ්නය සමාජ මාධ්‍ය ඔස්සේ තමයි කියන්න වෙල තියෙන්නේ.

පහන් විජේ‍සේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here